ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ කටාර් රාජ්‍ය සංචාරය

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ කටාර් රාජ්‍ය සංචාරය

Q

කටාර් රාජ්‍යයේ ෂෙයික් තමිම් හමාද් අල් තානි එමීර්වරයාගේ ආරාධනාව මත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා 2017 ඔක්තෝබර් 25 සිට 26 වැනිදා දක්වා එරට දෙදින රාජ්‍ය සංචාරයක නිරත විය.

එමීරි දිවාන් මන්දිරයේදී හමාද් අල් තානි එමීර්වරයා විසින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පිළිගනු ලැබිණි. එහිදී ශ්‍රී ලංකා ජනාධිපතිවරයාට හමුදා උත්තමාචාර පිරිනැමුණු අතර ඉන් අනතුරුව දෙරට අතර ද්විපාර්ශ්වීය සාකච්ඡා පැවැත්විණි. දීර්ඝ කාලයක් තිස්සේ දෙරට අතර පවතින මිත්‍ර සබඳතා සිහිපත් කළ නායකයෝ දෙපළ, දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා තවත් ශක්තිමත් කිරීමට දායක වූ, 2015 වසරේදී අල් තානි එමීර්වරයා ශ්‍රී ලංකාවේ යෙදුණු සංචාරයේදී ඔවුන් දෙදෙනා අතර සිදු වූ හමුවද, සෙසු ජාත්‍යන්තර සංසදවලදී නායකයන් දෙපළ අතර සිදුවූ හමුවීම්ද ආවර්ජනය කළහ. දෙරට අතර කෙරෙන මෙවැනි සංචාරවල වැදගත්කම අවධාරණය කළ රාජ්‍ය නායක දෙපළ, ජනාධිපති සිරිසේන මහතාගේ රාජ්‍ය සංචාරයෙන් දෙරට අතර දේශපාලන, ආර්ථික සහ වෙළෙඳ සබඳතා තවදුරටත් වර්ධනය වන බවට විශ්වාසය පළ කළහ.

කටාර් රාජ්‍යයේ ජීවත්වෙමින් රැකියාවල යෙදෙන 150,000 කට අධික ශ්‍රී ලාංකිකයන්   විසින් සපයනු ලබන දායකත්වය හමාද් අල් තානි එමීර්වරයා අගය කළේය. ශ්‍රී  ලාංකිකයන්ට රැකියා අවස්ථාවන් සැපයීම පිළිබඳව කටාර් රජයට ස්තූතිය පළකළ ජනාධිපති සිරිසේන මහතා ශ්‍රී ලාංකිකයන් කටාර් රාජ්‍යයේ ඉතා සතුටින් ජීවත්වන බව දැකීමෙන් තමන් දැඩි ප්‍රීතියට පත් වූ බව ප්‍රකාශ කළේය. ශ්‍රී ලාංකිකයන්ට  කටාර් රාජ්‍යයේ නිපුණතා සහ වෘත්තීමය අංශවල වැඩිපුර රැකියා අවස්ථා ලැබෙනු ඇතැයිද ඒ මහතා බලාපොරොත්තු පළ කළේය.

දෙරටෙහි ව්‍යාපාරිකයන් අතර අන්තර් සබඳතා වර්ධනය කිරීමේ අවශ්‍යතාව අවධාරණය කළ හමාද් අල් තානි එමීර්වරයා, ශ්‍රී ලංකාවේ ආයෝජන සිදු කිරීමට, විශේෂයෙන්ම කෘෂිකාර්මික අංශයේ සහ සාමුද්‍රීය සහ ගුවන්සේවා යටිතල පහසුකම් නිර්මාණය කිරීමේ ව්‍යාපෘතිවල ආයෝජනය කිරීමට කටාර් රාජ්‍ය තුළ ඇති අභිරුචිය ප්‍රකාශ කර සිටියේය. උපක්‍රමික ලෙස සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම, මැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත්‍රයේ ව්‍යාපාරික කටයුතු, බලශක්ති ක්ෂේත්‍රයේ, විශේෂයෙන්ම ස්වභාවික ද්‍රව වායු ක්ෂේත්‍රයේ සහයෝගීතාව මෙන්ම තාක්ෂණය සහ ධීවර කර්මාන්තයද මෙහිදී සාකච්ඡාවට බඳුන් විය.

ශ්‍රී ලංකාවේ නියඟයෙන් පීඩාවට පත් පෙදෙස්වල ජනතාව සඳහා කටාර් සංවර්ධන අරමුදලෙන් ලබා දුන් ඇමෙරිකානු ඩොලර් පන් ලක්ෂයක පරිත්‍යාගය සම්බන්ධයෙන් ජනාධිපති සිරිසේන මහතා සිය කෘතඥතාව පළ කළේය. දෙරට අතර පවතින සමීප මිත්‍ර සබඳතා සහ සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණෙන් කටාර් සංවර්ධන අරමුදල හරහා ශ්‍රී ලංකාවට තවදුරටත් සංවර්ධන සහයෝගය ලබාදීමට තමන් සූදානමින් සිටින බව හමාද් අල් තානි එමීර්වරයා ප්‍රකාශ කළේය.

දෙරටෙහි අද්‍යතන ප්‍රවණතා පිළිබඳව සාකච්ඡා කරමින්, කටාර් රාජ්‍යයේ නවතම තත්ත්වය පිළිබඳව හමාද් අල් තානි එමීර්වරයා ජනාධිපති සිරිසේන මහතා දැනුම්වත් කළ අතර       ශ්‍රී ලංකාවේ සාම සහ සංහිඳියා ප්‍රයත්නයන් පිළිබඳව ජනාධිපති සිරිසේන මහතාද කටාර් රාජ්‍යයේ එමීර්වරයා දැනුම්වත් කළේය.  දෙරටේ අන්‍යොන්‍ය යහපත පිණිස වඩාලාත් සහයෝගයෙන් ක්‍රියාකිරීම සඳහා දැඩි ලෙස ඇපකැපවීමටත්, මේ සංචාරයේදී ආරම්භ කරන ලද වැඩ පිළිවෙළ ඉදිරියට ගෙනයෑමේ කාර්ය සම්බන්ධීකරණය කිරීම සඳහා කමිටුවක් පිහිටුවීමටත් නායක දෙපළ සනිටුහන් කරගත්හ.

රාජ්‍ය තාන්ත්‍රිකයන් පුහුණු කිරීම සහ පර්යේෂණ, රාජ්‍ය තාන්ත්‍රික, විශේෂ සහ රාජකාරී ගුවන් ගමන් බලපත්‍ර හිමියන් වීසා අවශ්‍යතාවෙන් නිදහස් කිරීම, අපජලය කළමනාකරණය, සෞඛ්‍ය සහ වෛද්‍ය විද්‍යාව, බලශක්ති අංශය, මූල්‍යමය තොරතුරු හුවමාරු කරගැනීම, සහ කටාර් සංවර්ධන අරමුදලෙන් කරන ලද ඇ.ඩො. පන් ලක්ෂයක පරිත්‍යාගය ආදී ක්ෂේත්‍ර ආවරණය කරමින් අවබෝධතා ගිවිසුම්/ ගිවිසුම් හතක් (7) ක් මෙම සංචාරය අතරතුරදී දෙරට අතර අත්සන් තබන ලදී.

කටාර් රාජ්‍යයේ අග්‍රාමාත්‍ය සහ ස්වදේශ කටයුතු අමාත්‍ය ෂෙයික් අබ්දුල්ලා බින් නසර් බින් ඛලීෆා අල් තානි මහතාද, එරට විදේශ අමාත්‍ය ෂෙයික් මොහොමඩ් බින් අබ්දුල්රහ්මන් බින් ජසීම් අල් තානි මහතාද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා බැහැදැක සුහද සාකච්ඡා පැවැත්වූහ.

මෙම රාජ්‍ය සංචාරයට සමගාමීව ඔක්තෝබර් මස 25 වැනි දින ව්‍යාපාරික සහ ආයෝජන රැස්වීමක්ද පවත්වන ලදී. මෙම රැස්වීමට සහභාගී වූ දෙරටේ ව්‍යාපාරික නායකයෝ දෙරට අතර වෙළෙඳ සහ ආයෝජන පරිමාවන් ඉහළ නැංවීම සඳහා අවශ්‍ය පියවර ගැනීමට එකඟ වූහ. ව්‍යාපාර, සංචාරක ව්‍යාපාරය, ව්‍යවසායකයන්  සහ ජනමාධ්‍ය නියෝජනය කළ තුන්සියයකටත් අධික නියෝජිතයෝ පිරිසක් මෙම රැස්වීමට සහභාගී වූහ. ගෞරවනීය ආරාධිතයකු ලෙස මෙම රැස්වීමට සහභාගී වූ කටාර් රාජ්‍යයේ ආර්ථික කටයුතු සහ වෙළෙඳ අමාත්‍ය ෂෙයික් අහ්මඩ් බින් ජසීම් අල් තානි මහතා කටාර් පාර්ශ්වය නියෝජනය කළේය. රැස්වීමෙහි සම සත්කාරකත්වය දරන ලද්දේ වෙළෙඳාමට සහයෝගය දක්වන එරට ප්‍රමුඛතම සංවිධානය වන කටාර් වාණිජ මණ්ඩලය විසිනි. රැස්වීමෙහි නිල කටයුතු අවසන් වීමෙන් අනතුරුව, තව දුරටත් සහයෝගීතාවන් වර්ධනය කර ගැනීමේ අරමුණෙන් මෙරට අපනයන ක්ෂේත්‍රයේ විශේෂිත අංශ නියෝජනය කළ පෞද්ගලික ව්‍යාපාර 22 ක් කටාර් ජාතික ව්‍යාපාරිකයන් සමග ව්‍යාපාරික හමු පැවැත්වූහ. මෙම ප්‍රයත්නයන්ට තවදුරටත් පිටිවහලක් සපයමින් 2017 ඔක්තෝබර් 30-31 යන දිනවලදී ශ්‍රී ලංකා-කටාර් ඒකාබද්ධ ආර්ථික කොමිසම රැස්වීමට නියමිතය.

හමාද් අල් තානි එමීර්වරයාටත්, අග්‍රාමාත්‍ය සහ ස්වදේශ කටයුතු අමාත්‍ය ඛලීෆා අල් තානි මහතාටත්, විදේශ කටයුතු අමාත්‍ය ජසීම් අල් තානි මහතාටත් ශ්‍රී ලංකාවේ සංචාරය කරන ලෙසට ජනාධිපති සිරිසේන මහතා ඇරයුම් කළේය.

මෙම සංචාරය අතරතුරදී එරට පිහිටි ස්ටැෆර්ඩ් ශ්‍රී ලංකා විද්‍යාලයට ගිය ජනාධිපති සිරිසේන මහතා එහි සිටින ශ්‍රී ලාංකික දරු දැරියන් සහ විදුහලේ කාර්ය මණ්ඩලය හමුවිය. ඒ මහතා කටාරයේ ඉස්ලාමික කෞතුකාගාරය නැරඹීමටද ගියේය. මෙම සංචාරය අතරතුරදී ජනාධිපතිවරයා කටාරයේ වසන ශ්‍රී ලාංකික ප්‍රජාවද හමු විය.

1976 දී දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ඇරඹුණු දා සිට ශ්‍රී ලංකාව සහ කටාර් රාජ්‍යය ඉතා සමීප සහ මිත්‍රශීලී සබඳතා පවත්වයි. මෙම සංචාරය ශ්‍රී ලංකාවේ රාජ්‍ය නායකයකු එරට රාජ්‍ය සංචාරයක යෙදුණු පළමු අවස්ථාව වෙයි.

හමාද් අල් තානි එමීර්වරයාගේ නායකත්වයෙන් යුත් කටාර් නියෝජිත පිරිස, නියෝජ්‍ය එමීර් ෂෙයික් අබ්දුල්ලා බින් හමාද් බින් ඛලීෆා අල් තානි, විදේශ කටයුතු අමාත්‍ය ෂෙයික් මොහොමඩ් බින් අබ්දුල්රහ්මන් බින් ජසීම් අල් තානි, දිවාන් එමිරි හි සභාපති ෂෙයික් ඛාලිඩ් බින් ඛලීෆා බින් අබ්දුල් අසීස් අල් තානි, ආර්ථික කටයුතු සහ වෙළෙඳ අමාත්‍ය ෂෙයික් අහ්මඩ් බින් ජසීම් බින් මොහොමඩ් අල් තානි, මහජන සෞඛ්‍ය ඇමැතිනී ආචාර්ය හනාන් මොහොමඩ් අල් කුවරි සහ ශ්‍රී ලංකාවේ කටාර් තානාපති රෂීඩ් බින් ෂෆී අල් මාර්රි යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත විය.

සෞඛ්‍ය, පෝෂණ සහ දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න, කර්මාන්ත සහ වාණිජ අමාත්‍ය රිෂාඩ් බදියුද්දීන්, නගර සැලසුම් සහ ජල සම්පාදන අමාත්‍ය රවුෆ් හකීම්, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆා, විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක, විදුලිබල සහ පුනර්ජනනීය බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා, පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහමන්, පාර්ලිමේන්තු මන්ත්‍රී කේ. කාදර් මස්තාන් සහ කටාර් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති ඒ.එස්.පී. ලියනගේ යන මහත්වරු ශ්‍රී ලංකා නියෝජිත පිරිසට ඇතුළත් වූහ.

 

විදේශ කටයුතු අමාත්‍යාංශය
කොළඹ
 
2017 ඔක්තෝබර් 29

 

 

Q1 

Qatar-SL

A

PremierQatar

QatarFM2 

 

A1

A2

A3

A4

2

Delegation

QatarSL

SLCom

 

 

 

 

Print Friendly, PDF & Email
Please follow and like us:

Close