විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සියුලර් අංශය ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විශිෂ්ටතා සම්මාන දිනාගනී

විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සියුලර් අංශය ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විශිෂ්ටතා සම්මාන දිනාගනී

B36A8842

2017 ඔක්තෝබර් මස 06 වැනි දින කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේ දී පැවති 19 වැනි ජාතික තොරතුරු හා සන්නිවේදන විශිෂ්ටතා තාක්ෂණ සම්මාන ප්‍රදානෝත්සවයේ දී විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සියුලර් (ප්‍රදූත) අංශය විසින් රාජ්‍ය අංශයේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය පිළිබඳ විශිෂ්ටතා සම්මානය සහ රාජ්‍ය අංශය සඳහා  ප්‍රදානය කෙරෙන ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය පිළිබඳ විශිෂ්ටතා රන් සම්මානය දිනා ගන්නා ලදී.

B36A8501

ශ්‍රී ලංකා පුරවැසියන්ට විශිෂ්ටතම සේවයක් සලසාදීමේ අරමුණෙන් නිර්මාණය කරනු ලැබූ, අන්තර්ජාලය ඔස්සේ ලේඛන සත්‍යාපනය කිරීමේ ක්‍රියාවලිය සැලකිල්ලට ගෙන එය අගය කිරීම සඳහාද, සේවාවන් වැඩි දියුණු කිරීම සඳහා කොන්සියුලර් අංශය තුළ තොරතුරු තාක්ෂණයෙන් සන්නද්ධ පරිසරයක් ඇතිකරමින්, සපයනු ලබන සේවාවේ ගුණාත්මකබව ඉහළ නැංවීම වෙනුවෙන්ද  මෙම සම්මාන ද්වය විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රදූත අංශය වෙත පිරිනමන ලදී.

අන්තර්ජාලය ඔස්සේ ලේඛන සත්‍යාපනය කිරීමේ ක්‍රියාවලිය මෙරට රාජ්‍ය අංශයේ විශිෂ්ටතම නවෝත්පාදන ඩිජිටල් භාවිතාව ලෙස පිළිගැනීමට ලක්ව තිබිණි. ප්‍රදූත අංශය විසින් අන්තර්ජාලය ඔස්සේ  ලේඛන සත්‍යාපනය කිරීමේ සේවාව හඳුන්වා දෙනු ලැබුවේ 2017 පෙබරවාරි 06 වැනිදාය. ලේඛන සත්‍යාපනය කිරීමේ ක්‍රියාවලිය සහ ඊට ගතවන කාලය නව්‍යකරණයට ලක්කරමින්, මෙකී සේවාවන් ලබාගැනීම වෙනුවෙන් අන්තර්ජාලය ඔස්සේ  වේලාවක් වෙන්කරගැනීමේ ක්‍රමවේදයක් ඇතිකිරීම මෙම ක්‍රියාවලියේ ඉලක්කය විය.

රාජ්‍ය අංශයේ කැපී පෙනෙන ජයග්‍රහණයන් ඇතුළුව ප්‍රභේද 19ක් යටතේ විශිෂ්ටතම තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ක්‍රම අගයකිරීම සඳහා ජාතික විශිෂ්ටතා සම්මාන පිරිනැමීමේ උත්සවය වර්ෂයක් පාසා පවත්වනු ලැබේ. තරගය සඳහා ඉදිරිපත් කරනු ලබන අයැදුම්පත් දේශීය හා ජාත්‍යන්තර ආයතන නියෝජනය කරන තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ කර්මාන්තයේ විශේෂ‍ඥයින් හා විද්වතුන් විසින් විනිශ්චය කරනු ලැබේ.

ශ්‍රී ලංකා තොරතුරු සන්නිවේදන තාක්ෂණ ආයතනයේ සහයෝගය ඇතිව බ්‍රිතාන්‍ය පරිගණක තාක්ෂණ සංගමයේ ශ්‍රී ලංකා අංශය සහ එක්සත් රාජධානියේ වරලත් තොරතුරු තාක්ෂණ ආයතනය විසින් මෙම සම්මාන ප්‍රදානෝත්සවය සංවිධානය කරන ලදී.

අන්තර්ජාලය ඔස්සේ ලේඛන සහතික කිරීමේ ක්‍රියාවලිය කළමනාකරණය කිරීම සඳහා අවශ්‍ය තාක්ෂණ සේවා ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සන්නිවේදන ආයතනය විසින් ලබාදෙන ලද අතර, සීමාසහිත එපික්  ලංකා පුද්ගලික සමාගම විසින් විද්‍යුත් ක්‍රමයට ලේඛන සහතික කිරීම සඳහා අවශ්‍ය මෘදුකාංග නිර්මාණය කරන ලදී.

විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ප්‍රසාද් කාරියවසම්, ප්‍රදූත අංශයේ ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂ ජනරාල් එස්.එස්. ගනේගම ආරච්චි යන මහත්වරුද පුදූත අංශයේ කාර්ය මණ්ඩලයේ නිලධාරීහුද සම්මාන ප්‍රදානෝත්සවයට සහභාගී වූහ.

විදේශ කටයුතු අමාත්‍යාංශය
කොළඹ

2017 ඔක්තෝබර් 16 වැනිදා

 

Print Friendly, PDF & Email
Please follow and like us:

Close