නූතන ගෝලීය අභියෝගවලින් ජය ගැනීම සඳහා සාමූහිකව කටයුතු කරන ලෙසට ශ්‍රී ලංකාව ඉල්ලා සිටියි

නූතන ගෝලීය අභියෝගවලින් ජය ගැනීම සඳහා සාමූහිකව කටයුතු කරන ලෙසට ශ්‍රී ලංකාව ඉල්ලා සිටියි

003_MG9125_P

 

2019 ඔක්තෝබර් 26 වැනි දින අසර්බයිජානයේ බාකු හි දී පැවති නොබැඳි ජාතීන්ගේ ව්‍යාපාරයේ (NAM) 18 වැනි සමුළුව අමතමින්, නොබැඳි ජාතීන්ගේ ව්‍යාපාරයේ ආරම්භක මූලධර්මවලට අනුව කටයුතු කිරීමට ශ්‍රී ලංකාවේ ඇති ඇප කැපවීම පිළිබඳව අවධාරණය කළ විදේශ අමාත්‍ය තිලක් මාරපන මැතිතුමා, විශේෂයෙන් ද්‍රරිද්‍රතාවය හා ත්‍රස්තවාදය හුවා දක්වමින් නූතන ගෝලීය අභියෝගවලට විසඳුම් සේවීමේ අවශ්‍යතාවය කෙරෙහි මෙම කණ්ඩායමේ සාමූහික අවධානය යොමු කරන ලෙස ඉල්ලා සිටියේ ය.

2030 සංවර්ධන න්‍යාය පත්‍රයේ අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා ද්‍රරිද්‍රතාවය බරපතල බාධකයක්ව  පවතින බව නිරීක්ෂණය කරන අතරවාරයේ, ශ්‍රී ලංකාවේ සංවර්ධන උපාය මාර්ගවල මූලික සමාජයීය විෂමතාව සඳහා විසඳුම් ලබා දීමට අප රට දරන ප්‍රයත්නවල දී, කාන්තාවන් සවිබල ගැන්වීමේ දී සහ වරප්‍රසාද නොලබන පිරිසට සහය ලබා දීම අරමුණු කර ගත් සුවිශාල සුභසාධන කටයුතුවල දී දිළිඳුභාවය තුරන් කිරීම සඳහා පියවර ගෙන ඇත්තේ කෙසේ ද යන්න පිළිබඳව අමාත්‍ය මාරපන මැතිතුමා පොදු රාජ්‍ය මණ්ඩලයීය රටවලට කරුණු පැහැදිලි කළේය. ත්‍රස්තවාදය ගැන ප්‍රකාශ කරමින්, එය ජාත්‍යන්තර සාමය සහ ආරක්ෂාව සඳහා එල්ල වන ඉතා බරපතල තර්ජනයක්ව පවතින බවත්, ත්‍රස්තවාදයේ සියලු ආකාර සහ සියලු විද්‍යමානවීම් ශ්‍රී ලංකාව දැඩි ලෙස හෙළා දකින බවත් අවධාරණය කළ එතුමා, ප්‍රචණ්ඩකාරී අන්තවාදය වැළැක්වීමේ අවශ්‍යතාවයක් පවතින බව පෙන්වා දුන්නේය.

දේශගුණික විපර්යාස පිළිබඳ ගැටලුවේ බරපතලභාවය අවධාරණය කළ අමාත්‍ය මාරපන මැතිතුමා මෙම වසරේ අගභාගයේ දී චිලී හි දී පැවැත්වීමට නියමිත දේශගුණික විපර්යාස පිළිබඳ එක්සත් ජාතීන්ගේ රාමුගත සම්මුතියේ 25 වැනි පාර්ශ්ව සමුළුව මඟින් මෙම ගෝලීය තර්ජනයේ බලපෑම සඳහා අනුවර්තනය වීමට සහ එය අවම කර ගැනීමට ගෝලීය වශයෙන් සිදු කරන කටයුතු තවදුරටත් ප්‍රබෝධමත් කරනු ඇතැයි බලාපොරොත්තු පළ කළේය. බහුපාර්ශ්වීකතාවය ආරක්ෂා කිරීමෙහිලා ඉතාම වැදගත් වන  සාරධර්ම ආරක්ෂා කිරීම සඳහා මෙම කණ්ඩායම කටයුතු කරන ආකාරය පිළිබඳව සිහිපත් කරන අතරවාරයේ, ගෝලීය දකුණේ රටවල් සාමූහිකව නඟන හඬක් වශයෙන් නොබැඳි ජාතීනගේ ව්‍යාපාරයේ වැදගත්කම ද අවධාරණය කළේය.

මෙම සමුළුවට පෙරාතුව, එනම්, බදාදා දින පැවති පෙරසූදානම්වීමේ අමාත්‍ය මට්ටමේ රැස්වීම ද අමාත්‍ය මාරපන මැතිතුමා විසින් අමතන ලදී.

ශ්‍රී ලංකාව, 1955 බැන්ඩුං සමුළුවේ සම අනුග්‍රාහක රටක් වන අතර, බැන්ඩුං මූලධර්ම වශයෙන් හඳුන්වනු ලබන නොබැඳි ජාතීන්ගේ ව්‍යාපාරයේ සාරධර්ම සම්පාදනය කරන ලද්දේ මෙම සමුළුවේ දී ය. ශ්‍රී ලංකාව නොබැඳි ජාතීන්ගේ ආරම්භක සාමාජිකයෙකු ද වෙයි.

 

විදේශ කටයුතු අමාත්‍යාංශය
කොළඹ
2019 ඔක්තෝබර් 26 වැනි දින

 

Print Friendly, PDF & Email
Please follow and like us:

Close