නව දූත මණ්ඩල ප්‍රධානීන් දහතුන් දෙනෙකුගේ පත්වීම් උසස් නිලතල පිළිබඳ කාරක සභාව මඟින් අනුමත වෙයි - වෘත්තීය දූත මණ්ඩල ප්‍රධානී තනතුරුවල අනුපාතය 37% සිට 54% දක්වා ඉහළ යයි

නව දූත මණ්ඩල ප්‍රධානීන් දහතුන් දෙනෙකුගේ පත්වීම් උසස් නිලතල පිළිබඳ කාරක සභාව මඟින් අනුමත වෙයි – වෘත්තීය දූත මණ්ඩල ප්‍රධානී තනතුරුවල අනුපාතය 37% සිට 54% දක්වා ඉහළ යයි

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින්, විදේශ රටවල පිහිටි ශ්‍රී ලංකා දූත මණ්ඩලවල ප්‍රධානීන් ලෙස නම් කරනු ලැබ ඇති දහතුන් දෙනාගේ පත්වීම්, රාජ්‍ය සේවයට හා රාජ්‍ය සංස්ථාවලට නම් කරන ලද/පත්කරන ලද පුද්ගලයින්ගේ යෝග්‍යතාව පරීක්ෂා කිරීම සඳහා වූ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබඳ කාරක සභාව (උසස් නිලතල පිළිබඳ කාරක සභාව) අනුමත කර තිබේ.

පත්කරනු ලැබ ඇති නව දූත මණ්ඩල ප්‍රධානීන් දහතුන් දෙනා අතර, ශ්‍රී ලංකා විදේශ සේවයේ (SLFS) වෘත්තීය රාජ්‍යතාන්ත්‍රික නිලධාරීහු නව දෙනෙකු ද වෙති: නයිජීරියාව සඳහා ශ්‍රී ලංකා මහ කොමසාරිස් ඒ. එස්. ඛාන් මහතා, කුවේට් සඳහා ශ්‍රී ලංකා තානාපති යූ. එල්. මොහමඩ් ජවුහර් මහතා, කොරියානු ජනරජය සඳහා ශ්‍රී ලංකා තානාපති ආචාර්ය ඒ. එස්. යූ. මෙන්ඩිස් මහතා, ජෝර්දානය සඳහා ශ්‍රී ලංකා තානාපතිනි එස්. ශානිකා දිසානායක මහත්මිය, වියට්නාමය සඳහා ශ්‍රී ලංකා තානාපති ඩබ්. ජී. එස්. ප්‍රසන්න මහතා, නේපාලය සඳහා ශ්‍රී ලංකා තානාපතිනි හිමාලි අරුණාතිලක මහත්මිය, කියුබාව සඳහා ශ්‍රී ලංකා තානාපති ලක්ෂිත රත්නායක මහතා, ඉතියෝපියාව සඳහා ශ්‍රී ලංකා තානාපති පී. ආර්. එස්. සුගීෂ්වර ගුණරත්න මහතා සහ ලෙබනනය සඳහා ශ්‍රී ලංකා තානාපතිනි ඩී. පී. සී. ඩබ්. කරුණාරත්න මහත්මිය.

පහත සඳහන් වෘත්තීයවේදීන් ද දූත මණ්ඩල ප්‍රධානීන් ලෙස පත්කිරීම සඳහා උසස් නිලතල පිළිබඳ කාරක සභාව විසින් අනුමත කොට තිබේ: ඕස්ට්‍රේලියාව සඳහා ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා වශයෙන් ජනාධිපති නීතීඥ හා මානව හිමිකම් පිළිබඳ ප්‍රමුඛ පෙළේ ක්‍රියාකාරී නීතීඥවරයෙකු වන ජේ. සී. වැලිඅමුණ මහතා, මැලේසියාව සඳහා ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා වශයෙන් හිටපු ගුවන් හමුදාපති එයාර් චීෆ් මාෂල් කපිල ජයම්පති මහතා, මාලදිවයින සඳහා ශ්‍රී ලංකා තානාපතිවරයා වශයෙන් හිටපු අතිරේක මිනුම්පති නිමල් කරුණාරත්න මහතා සහ කටාර් සඳහා ශ්‍රී ලංකා තානාපතිවරයා වශයෙන් ජාත්‍යන්තර ව්‍යාපාර පිළිබඳ උපදේශක හා ව්‍යාපාරික කිත්සිරි ඇතුලත්මුදලි මහතා.

ශ්‍රී ලංකාව, විදේශ රටවල තානාපති කාර්යාල/මහ කොමසාරිස් කාර්යාල 52ක් පවත්වාගෙන යයි. 2019 වසර ආරම්භයේ දී 37%ක්ව පැවති විදේශ රටවල පිහිටි ශ්‍රී ලංකා දූත මණ්ඩල ප්‍රධානීන් ලෙස කටයුතු කරන වෘත්තීය රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන්ගේ ප්‍රතිශතය, මෙම පත්කිරීම් සිදුකිරීමත් සමඟ 54%ක් දක්වා ඉහළ යනු ඇත. මෙම වසරේ දී පත්කරනු ලැබූ විදේශ දූත මණ්ඩල ප්‍රධානීන් 27 දෙනාගෙන් 23 දෙනෙකුම, ශ්‍රී ලංකා විදේශ සේවයට අයත් නිලධාරීහු වූහ.

විදේශ කටයුතු අමාත්‍යාංශය

කොළඹ

2019 අගෝස්තු 10 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close