යුරෝපා සංගමය සමඟ ප්‍රතිත්‍රස්ත සහයෝගීතාව ගොඩනැංවීම සඳහා වූ පළමු තත්කාර්ය සංවාදය කොළඹදී

යුරෝපා සංගමය සමඟ ප්‍රතිත්‍රස්ත සහයෝගීතාව ගොඩනැංවීම සඳහා වූ පළමු තත්කාර්ය සංවාදය කොළඹදී

DSC_7505

ප්‍රතිත්‍රස්ත සහයෝගීතාව සඳහා වූ යුරෝපා සංගම්- ශ්‍රී ලංකා තත්කාර්ය සංවාදයට සහභාගී වීම පිණිස යුරෝපා සංගමයේ ප්‍රතිත්‍රස්තවාදය පිළිබඳ සම්බන්ධීකාරක ගිල් ද කෙර්චෝව් මහතාගේ නායකත්වයෙන් යුත් නියෝජිත පිරිසක් 2019 ජූලි 11-16 යන දිනවල ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වූහ.

වැඩබලන විදේශ කටයුතු ලේකම් අහ්මඩ් ඒ. ජවාඩ් සහ යුරෝපා සංගමයේ  ප්‍රතිත්‍රස්ත සම්බන්ධීකාරක ද කෙර්චෝව් යන මහත්වරුන්ගේ සම සභාපතීත්වයෙන් පැවැති තත්කාර්ය සංවාදයේදී, මෑතදී ගනු ලැබූ ප්‍රතිත්‍රස්ත පියවර, රැඩිකල්කරණයට සහ ප්‍රචණ්ඩ අන්තවාදයට එරෙහිව කටයුතු කිරීම, ආරක්ෂක සහයෝගීතාව, ශක්නුතා වර්ධනය සහ යුරෝපා සංගමය විසින් එල්.ටී.ටී.ඊ සංවිධානය ලැයිස්තුගත කිරීම ආදිය සාකච්ඡාවට බඳුන් විය.  තොරතුරු, අත්දැකීම්, හා තාක්‍ෂණික සහය හුවමාරු කරගැනීම, යහ ව්‍යවහාරයන් ඉගෙන ගැනීම සඳහා වේදිකානිර්මාණය කිරීම මෙන්ම ශ්‍රී ලංකාවේ සහ යුරෝපා සංගමයේ ආරක්‍ෂාව සහ නීතිය ක්‍රියාත්මක කරන ආයතන අතර අන්‍යොන්‍ය වශයෙන් ප්‍රතිලාභ ලැබෙන සහයෝගීතාවක් ඇති කිරීම වටා සාකච්ඡා කේන්ද්‍රගත විය.

2019 පෙබරවාරි මස බ්‍රසල්ස් නුවර පැවැති 22 වැනි ඒකාබද්ධ කොමිසම් රැස්වීමේදී, යුරෝපා සංගමය සහ ශ්‍රී ලංකාව අතර ත්‍රස්තවාදයට එරෙහි සහයෝගීතාව සඳහා වූ යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීම පිළිබඳ සාකච්ඡා කෙරී තිබිණි. ගෝලීය ත්‍රස්තවාදය ශ්‍රී ලංකාවට ගෙන ආ බිහිසුණු පාස්කු ඉරිදා ප්‍රහාරමෙම යාන්ත්‍රණය පිහිටුවීමේ කටයුත්ත කඩිනම් කළේය. මෙම පොදු අභියෝගයට මුහුණ දීමේ කර්තව්‍යයේදී  සහයෝගීතාව පෙන්වීමේ ලකුණක්  වශයෙන්, හැකි ඉක්මනින් සංවාදයක් පවත්වන ලෙසට විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන මහතා ඉහළ නියෝජිත සහ යුරෝපා කොමිසමේ උප සභාපතිනි‍ෆෙදෙරිකා මොගෙරිනි මහත්මියගෙන් කළ ඉල්ලීමට යුරෝපා සංගමය ප්‍රතිචාර දැක්වීය.

ගෝලීය වශයෙන් ත‍්‍රස්තවාදයේ  ඇති වූ දැඩි විපර්යාසය , විදේශීය ත‍්‍රස්තවාදී සටන්කරුවන් නමැති නව සංසිද්ධියේ වර්ධනය සහ සමාජ මාධ්‍ය හරහා රැඩිකල්කරණය වීම යන පසුබිම තුළ, වසර ගණනාවක් තිස්සේ ත්‍රස්ත  තර්ජනයට මුහුණ දී සිටින රටවලින් උකහාගත් දැනුම උපයෝගී කර ගැනීමටත්,මෙම ප්‍රහාර වැළැක්වීමට ශ්‍රී ලංකාවට ඇති හැකියාව ශක්තිමත් කිරීමට මෙන්ම සුදුසු ලෙස ප්‍රතිචාර දැක්වීමේ යාන්ත්‍රණ සකස් කිරීමටත්වේදිකාවක් මෙම සංවාදය විසින් සපයන ලදී.

තත්කාර්ය සංවාදය සඳහා වූ සිය සංචාරයේදී යුරෝපා සංගම් දූත පිරිස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අගමැති රනිල් වික්‍රමසිංහ, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ, විදේශ අමාත්‍ය තිලක් මාරපන, ආරක්ෂක ලේකම් ජනරාල් ශාන්ත කෝට්ටේගොඩ යන මහත්වරුන් සහ අනෙකුත් පාර්ශ්වකරුවන් හමු වූහ.

ශ්‍රී ලංකාවේ යුරෝපා සංගම් තානාපති තුන්ග්-ලායි මාර්ග්, යුරෝපා විදේශ කටයුතු සේවාවේ ප්‍රතිත්‍රස්ත අංශයේ ප්‍රධානී ජෝන් ගාත්-රටර්, සහ එම සේවාවේ දකුණු ආසියා අංශයේ නියෝජ්‍ය ප්‍රධානී ඉවෝ ෂූට් යන මහත්වරු යුරෝපා සංගම් ප්‍රතිත්‍රස්ත සම්බන්ධීකාරකවරයා සමඟ මෙම සංචාරයට එක් වූහ. ජාතික බුද්ධි සේවා ප්‍රධානී කාර්යාලයේ නියෝජිත කර්නල් රොබින් ජයසූරිය, නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් නෙරින් පුල්ලේ, මූල්‍ය බුද්ධි ඒකකයේ අධ්‍යක්ෂ ඩී.එම්. රූපසිංහ යන මහත්වරුද, විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රතිත්‍රස්ත ඒකකයේ, නීති අංශයේ සහ යුරෝපා සංගම් හා යුරෝපා අංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහුද ශ්‍රී ලංකා නියෝජිත පිරිසට අයත් වූහ.

විදේශ කටයුතු අමාත්‍යාංශය

කොළඹ

2019 ජූලි 15 වැනිදා

 DSC_7511DSC_7518

Print Friendly, PDF & Email
Please follow and like us:

Close