ශ්‍රී ලංකාව සහ තුර්කිය අතර දේශපාලන උපදේශන සාකච්ඡාවල පළමු සැසිවාරය කොළඹදී නිමාවට පත් වේ

ශ්‍රී ලංකාව සහ තුර්කිය අතර දේශපාලන උපදේශන සාකච්ඡාවල පළමු සැසිවාරය කොළඹදී නිමාවට පත් වේ

Photo-1

ශ්‍රී ලංකාව සහ තුර්කිය අතර දේශපාලන උපදේශන සාකච්ඡාවල පළමුවැනි සැසිවාරය 2019 මැයි 10 වැනි දින කොළඹ විදේශ කටයුතු අමාත්‍යාංශයේදී පැවැත්විණි.

ප්‍රමුඛතාව දෙනු ලබන අංශවල ශ්‍රී ලංකාව සහ තුර්කිය අතර සහයෝගීතාව වැඩි දියුණු කිරීම සඳහා වූ නව මාර්ග සිතියමක් මෙම ද්විපාර්ශ්වික උපදේශන සාකච්ඡාවල පළමුවැනි නිල සැසිවාරයේදී හඳුනාගනු ලැබිණි.

උපදේශන සාකච්ඡාවලට තුර්කි නියෝජිත පිරිස පිළිගනිමින් කතා කළ ශ්‍රී ලංකා නියෝජිත පිරිසේ නායක විදේශ ලේකම් රවිනාථ ආර්යසිංහ මහතා, 1948 සිට වසර හැත්තෑ එකක් පුරා තුර්කිය සමඟ පැවැති විශිෂ්ට ද්විපාර්ශ්වික සබඳතාව තවදුරටත් වර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකාව තුළ ඇති කැපවීම යළි තහවුරු කළේය. පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරවලින් පසුව තුර්කි රජය සහ එරට ජනතාව විසින් ශ්‍රී ලංකාව වෙත ලබා දෙන ලද සහයෝගය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ අවංක ස්තූතියද ආර්යසිංහ මහතා පළ කළේය. චිරස්ථායී ද්විපාර්ශ්වික සබඳතා පිළිබඳව අදහස් දැක්වූ තුර්කි නියෝජිත පිරිසේ නායක, එරට නියෝජ්‍ය විදේශ කටයුතු අමාත්‍ය සෙදාත් අනාල් මහතා, ආපදා මැඬගෙන නැඟී සිටීමට ශ්‍රී ලංකාව සතු අද්විතීය ශක්තිය සිහිපත් කළ අතර පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරවලින් පසු සම්පූර්ණයෙන්ම ප්‍රකෘති ස්වභාවයට පැමිණීමට ශ්‍රී ලංකාව තුළ ඇති හැකියාව සම්බන්ධයෙන් සිය විශ්වාසය පළ කළේය.  මෙම ක්‍රියාදාමයේදී ශ්‍රී ලංකාවට සහය වීමට තුර්කිය සූදානම් බවද නියෝජ්‍ය විදේශ කටයුතු අමාත්‍ය අනාල් මහතා යළිත් ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකාව සහ තුර්කිය අතර දැනටමත් සහයෝගීතාව පවතින අංශ සහ අනාගතයේදී සහයෝගීතාව දැක්වීමේ හැකියාවක් ඇති අංශ පිළිබඳව පුළුල් ලෙස සමාලෝචනය කිරීමට මෙම උපදේශන සාකච්ඡා ඉවහල් විය. මෙම සම්බන්ධතාව තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා, සංචාරක, වෙළෙඳ හා ආයෝජන, ආරක්ෂක, විද්‍යා හා තාක්ෂණ මෙන්ම සංස්කෘතික හා උසස් අධ්‍යාපන යන අංශවල අන්‍යොන්‍ය වශයෙන් ප්‍රතිලාභ ලබා දෙන ප්‍රතිඵල අත්කර ගැනීමේ අරමුණෙන් ද්විපාර්ශ්වික නෛතික රාමුව විධිමත් කෙරෙනු ඇත.

සංචාරක ක්ෂේත්‍රයේ නියැළි ව්‍යාපාරිකයන් සහ සංචාරක නියෝජිතයන්ගෙන් යුත් ශ්‍රී ලාංකික නියෝජිත පිරිසක් විසින් තුර්කියේ කරනු ලබන සංචාරයක්ද, ඉන් අනතුරුව, ද්විපාර්ශ්වික ඒකාබද්ධ ආර්ථික කොමිසම් සැසිවාරයට සමගාමීව කෙරෙන තුර්කියේ විවිධ අංශ නියෝජනය කරන ඉහළ පෙළේ ව්‍යාපාරික නියෝජිත පිරිසකගේ ශ්‍රී ලංකා සංචාරයක්ද හඳුනාගනු ලැබූ අනාගත ක්‍රියාකාරකම්වලට ඇතුළත්ය. ශ්‍රි ලංකාව සහ තුර්කිය යන දෙරටටම පොදු ආර්ථික අභිලාෂයන් ඉටු කරගැනීමටද ත්‍රස්තවාදය වැනි දෙරටටම පොදු අභියෝග සම්බන්ධයෙන් කලාපීය හා බහුපාර්ශ්වීය සංවිධාන තුළ කටයුතු කිරීමටද ඇති අවශ්‍යතාව කෙරෙහිද උපදේශන සාකච්ඡාවල අවධානය යොමු විය. ක්‍රියාත්මක කළ හැකි යෝජනා සම්බන්ධයෙන් සක්‍රීය ලෙස පසුවිපරම් කටයුතු කිරීමටත් 2020 වසරේ මුල් භාගයේදී පැවැත්වීමට නියමිත දේශපාලන උපදේශන සාකච්ඡාවල දෙවැනි සැසිවාරයේදී එහි ප්‍රගතිය සමාලෝචනය කිරීමටත් දෙපාර්ශ්වය එකඟ විය.

තුර්කි නියෝජ්‍ය  විදේශ කටයුතු අමාත්‍ය සෙදාත් අනාල් මහතා 2019 මැයි 10 වැනි දින අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන යන මහත්වරුන්ද බැහැදුටුවේය.

විදේශ කටයුතු අමාත්‍යාංශයේ අතිරේක ලේකම් සුමිත් නාකන්දල මහතාද, යුරෝපය, ආර්ථික කටයුතු හා ප්‍රති-ත්‍රස්තවාදය යන විෂයයන් භාර අධ්‍යක්ෂ ජනරාල්වරියෝද මෙම ද්විපාර්ශ්වික උපදේශන සාකච්ඡාවලට සහභාගී වූහ.

 

විදේශ කටයුතු අමාත්‍යාංශය
කොළඹ

 

2019 මැයි 12 වැනිදා

Photo- 2 Photo- 3 Photo- 4

Print Friendly, PDF & Email
Please follow and like us:

Close