බහු ආංශික තාක්ෂණික හා ආර්ථික සහයෝගීතාවසඳහා වූ බෙංගාල බොක්ක ආශ්‍රිත රටවල සංවිධානයේ (බිම්ස්ටෙක්) නිත්‍ය කෘත්‍යාධීකාරී කමිටුවේ පළමු රැස්වීම කොළඹ දී සාර්ථක ලෙස නිමාවට පත් වේ.

බහු ආංශික තාක්ෂණික හා ආර්ථික සහයෝගීතාවසඳහා වූ බෙංගාල බොක්ක ආශ්‍රිත රටවල සංවිධානයේ (බිම්ස්ටෙක්) නිත්‍ය කෘත්‍යාධීකාරී කමිටුවේ පළමු රැස්වීම කොළඹ දී සාර්ථක ලෙස නිමාවට පත් වේ.

DSC_0555

 

බහු ආංශික තාක්ෂණික හා ආර්ථික සහයෝගීතාව සඳහා වූ බෙංගාල බොක්ක ආශ්‍රිත රටවල සංවිධානයේ (බිම්ස්ටෙක්) නිත්‍ය කෘත්‍යාධීකාරී කමිටුවේ පළමු රැස්වීම, සියලුම සාමාජික රාජ්‍යවල නියෝජිතයන්ගේ හා බිම්ස්ටෙක් මහ ලේකම්වරයාගේ සහභාගීත්වයෙන් 2019 ජනවාරි මස 17-18 යන දින වල කොළඹ දී පවත්වන ලදී. විදේශ කටයුතු අමාත්‍යාංශයේ ආර්ථික කටයුතු අංශයේ අධ්‍යක්ෂ ජනරාල් සරෝජා සිරිසේන මහත්මිය මෙම රැස්වීමේ සභාපතීත්වය දැරීය.

බිම්ස්ටෙක් මහ ලේකම් කාර්යාලය, බිම්ස්ටෙක් මධ්‍යස්ථාන හා ආයතනවල පරිපාලනමය හා මූල්‍ය කරුණු සම්බන්ධයෙන් කටයුතු කිරීමේ අරමුණින් කත්මණ්ඩු නුවර පැවැති සිවු වැනි බිම්ස්ටෙක් සමුළුවේ දී රාජ්‍ය නායකයන් විසින් ගනු ලැබූ තීරණය අනුව  බිම්ස්ටෙක් නිත්‍ය කෘත්‍යාධීකාරී කමිටුව පිහිටුවන ලදී. මෙම රැස්වීම සංවිධානයේ සභාපතීත්වය භාරගැනීමෙන් පසුව ශ්‍රී ලංකාව විසින් සත්කාරකත්වය ලබාදුන් පළමු බිම්ස්ටෙක් රැස්වීමයි.

පළමු බිම්ස්ටෙක් නිත්‍ය කෘත්‍යාධීකාරී කමිටුව සමාරම්භකළ විදේශ ලේකම් රවිනාථ ආර්යසිංහ මහතා, බිම්ස්ටෙක් සංවිධානයේ අරමුණු කරා ළඟාවීම උදෙසාත් එම සංවිධානයේ ආයතනික රාමුව ශක්තිමත් කරමින් මෙම සංවිධානයේ පොදු අරමුණු ඉදිරියට ගෙනයෑම සඳහාත් ශ්‍රී ලංකාව තුළ ඇති කැපවීම යළි තහවුරු කළේය.

රැස්වීම අමතා විශේෂ කතාවක් කළ බිම්ස්ටෙක් සංවිධානයේ මහලේකම් එම්. සහිදුල් ඉස්ලාම් මහතා පළමු බිම්ස්ටෙක් නිත්‍ය කෘත්‍යාධීකාරී කමිටුවේ සත්කාරකත්වය දැරීම වෙනුවෙන් ශ්‍රී ලංකා රජය වෙත සිය කෘතඥතාවය පළකළේය. බිම්ස්ටෙක් ප්‍රඥප්තිය, බිම්ස්ටෙක් යාන්ත්‍රණ සඳහා ක්‍රියා පටිපාටීන්, බිම්ස්ටෙක් සංවර්ධන අරමුදල, සහයෝගීතා ක්ෂේත්‍ර සහේතුකරණය සහ බිම්ස්ටෙක් මහලේකම් කාර්යාලය ශක්තිමත්කිරීම වැනි ප්‍රධාන කරුණු මෙම රැස්වීමේ දී මගින් සාකච්ඡාවට බඳුන්වන බැවින් මෙහි වැදගත්කම ඒ මහතා අවධාරණය කළේය.

මහලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂවරුන්ගේ සංඛ්‍යාව වැඩිකරගැනීම සදහා අදාළ එක් එක් රටවලින් අධ්‍යක්ෂවරයකු සේවයේ යෙදවීම සඳහා තමන් තුළ ඇති කැපවීම සියලුම සාමාජික රාජ්‍ය ප්‍රකාශ කර සිටියේය. ශ්‍රී ලංකාව 2020 වර්ෂයේදී මහලේකම් කාර්යාලයට අධ්‍යක්ෂවරයකු නම්කිරීමට සුදුසුකම් ලබනු ඇත. තවද, මෙම රැස්වීම මගින් බිම්ස්ටෙක් ප්‍රතිපත්ති මතවාද මධ්‍යස්ථාන ජාලයක් සඳහා වූ සමුද්දේශ කෙටුම්පත් කරන ලදී.

ශ්‍රී ලංකාව තුළ බිම්ස්ටෙක් තාක්ෂණික හුවමාරු පහසුකම සඵලදායීව ක්‍රියාත්මක කිරීම සඳහා තාක්ෂණික අංශයේ  මූලික රටවන ශ්‍රී ලංකාව තමන් තුළ ඇති අදිටන ප්‍රකාශ කර සිටියේය. තවද, සංක්‍රමණික වීසා ගැටලු සම්බන්ධයෙන් 04 වැනි බිම්ස්ටෙක් විශේෂඥ කණ්ඩායමේ රැස්වීමට සත්කාරකත්වය ලබාදීමට අමතරව, 2019 වර්ෂයේ ප්‍රධාන බිම්ස්ටෙක් රැස්වීම් සඳහාත්, නිත්‍ය කෘත්‍යාධීකාරී කමිටුවේ 2 වැනි රැස්වීමටත්, 20 වැනි ජේෂ්ඨ නිලධාරී රැස්වීම සහ, 17 වැනි බිම්ස්ටෙක් අමාත්‍ය රැස්වීම සඳහාත් තමන් සත්කාරකත්වය සපයන බව ශ්‍රී ලංකාව දැනුම් දුන්නේය.

මෙම රැස්වීම අතරතුරදී, බිම්ස්ටෙක් සංවිධානයේ මහලේකම් සහිදුල් ඉස්ලාම් මහතා ශ්‍රී ලංකා විදේශ ලේකම් රවිනාථ ආර්යසිංහ මහතා බැහැ දුටුවේය. කලාපීය සහයෝගීතාවය ශක්තිමත් කිරීමෙහිලා, අග්නි දිග ආසියාව හා දකුණු ආසියාව අතර පාලමක් ලෙස ක්‍රියා කරමින් ප්‍රධාන භූමිකාවක් නිරූපනය කිරීමට බිම්ස්ටෙක් සංවිධානයට හැකි බව ජේෂ්ඨ නිලධාරීහූ දෙපළ ප්‍රකාශ කළහ.

 

 

විදේශ කටයුතු අමාත්‍යාංශය
කොළඹ
2019 ජනවාරි 23 වැනි දින
 DSC_0500
DSC_0567
DSC_0580
Print Friendly, PDF & Email
Please follow and like us:

Close