විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා කොළඹ සිටින විදේශරාජ්‍ය තාන්ත්‍රිකයන් දැනුම්වත් කරයි

විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා කොළඹ සිටින විදේශරාජ්‍ය තාන්ත්‍රිකයන් දැනුම්වත් කරයි

Image 01

විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා අද දින (12) විදේශ කටයුතු අමාත්‍යාංශයේදී කොළඹ සිටින විදේශ රාජ්‍ය තාන්ත්‍රිකයන් හමුවී ඔවුන් දැනුම්වත් කළේය.

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ තීරණයට එළැඹීම සඳහා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පෙළඹවූ සිද්ධිදාමය සම්බන්ධයෙන් අමාත්‍යවරයා රාජ්‍ය තාන්ත්‍රිකයන් වෙත කරුණු පැහැදිලි කළේය. ජනාධිපති සිරිසේන මහතා විසින් ගනු ලැබූ පියවර  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සම්පූර්ණයෙන්ම අනුකූල වන බව අවධාරණය කළ අමාත්‍ය අමුණුගම මහතා, දීප ව්‍යාප්ත ඡන්දයකින් තේරීපත් වූ ජනාධිපතිවරයා සිය අධිකාරී බලය ලබා ගන්නේ ඍජුවම ශ්‍රී ලංකාවේ මහජනතාවගෙන් බව පැවැසීය.රජයේ අංග අතර ඇතිවන මතභේදයකදී ස්වාධිපත්‍යයෙන් යුත් මහජනතාවගෙන් වරමක් සෙවීම ප්‍රජාතන්ත්‍රවාදයෙහි ජයග්‍රහණය සහතික කිරීමක් බවද ඒ මහතා ප්‍රකාශ කළේය.

රටේ අභ්‍යන්තර දේශපාලන වෙනස්කම් මධ්‍යයේ ශ්‍රී ලංකාව පුරා අඛණ්ඩව පවතින සාමකාමී වාතාවරණය පිළිබඳවද අමාත්‍ය අමුණුගම මහතා විශේෂයෙන් සඳහන් කළේය. එහි ගෞරවය ශ්‍රී ලංකාවේ ජනතාවට හිමිවන බවත්, එම වාතාවරණය රටේ ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදායන් තවදුරටත් තහවුරු කරන බවත් ඒ මහතා කීය.

වර්ධනය වෙමින් පවතින නොසන්සුන්බව හා පාර්ලිමේන්තු සම්ප්‍රදායන්ගෙන් බැහැරවීම යන හේතූන් මත අවදානමකට ලක්විය හැකිව තිබූ සියලු ශ්‍රී ලාංකිකයන්ගේ ආරක්ෂාව හා සුරක්ෂිතබව සහතික කිරීමෙහිලා තමන් සතු වගකීම, රැගෙන ඇති පියවර මඟින් විධායකය විසින් ඉටු කරනු ලැබ තිබෙන බවද අමාත්‍යවරයා පැවසීය.

මෙම අභ්‍යන්තර කරුණ විසඳීමෙහිලා ශ්‍රි ලංකාවේ දීර්ඝ කාලීන ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදායන් සතු ශක්තිය කෙරෙහි රැස්වීමට සහභාගී වූ රාජ්‍ය තාන්ත්‍රිකයෝ රැසක්ම සිය විශ්වාසය පළ කළහ.

විදේශ කටයුතු අමාත්‍යාංශය

කොළඹ

2018 නොවැම්බර් 12 වැනිදා

IMage 02

Image 03

Print Friendly, PDF & Email
Please follow and like us:

Close