ඉන්දියානු සාගරයේ අනාගතය නිර්වචනය කිරීමේ වේදිකාවක් ශ්‍රී ලංකාව සාර්ථක ලෙස නිර්මාණය කරයි

ඉන්දියානු සාගරයේ අනාගතය නිර්වචනය කිරීමේ වේදිකාවක් ශ්‍රී ලංකාව සාර්ථක ලෙස නිර්මාණය කරයි

Dr. Harsha-Concluding Session

ඉන්දියානු සාගරයේ අනාගතය පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා රටවල් හතළිහක නියෝජිතයෝ 2018 ඔක්තෝබර් 11-12 යන දිනවල ශ්‍රී ලංකාවේදී එක්රැස් වූහ. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ මුල්පිරීමක් යටතේ පැවැති “ඉන්දියානු සාගරය: අපගේ අනාගතය නිර්වචනය කිරීම” සමුළුවට, අනාගතයේදී ලෝක ආර්ථිකයේ වර්ධන ධ්‍රැවයක් වීමේ හැකියාව පවතින ඉන්දියානු සාගරය මත යොමු කර ඇති අවධානය ඉහළ නැංවීම සඳහා ඉන්දියානු සාගරය ආශ්‍රිත රාජ්‍යයන්වල සහ එම සාගරය විශාල වශයෙන් භාවිතා කරන රටවල්වල ජ්‍යෙෂ්ඨ නියෝජිතයෝ සහභාගී වූහ. සමුළුවට සහභාගී වූ නියෝජිතයන් අතර, ඉන්දියාව, දකුණු අප්‍රිකාව, ඇමෙරිකා එක්සත් ජනපදය, චීනය, ජර්මනිය, නෙදර්ලන්තය, සිංගප්පූරුව, ඉන්දුනීසියාව සහ ජපානය යන රටවල ප්‍රධාන පෙළේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහූද, කලාපයේ සහ ඉන් පිටත ඇති මුල් පෙළේ පර්යේෂණ ආයතනවල නියෝජිතයෝද වූහ. එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාගේ සාගරය පිළිබඳ විශේෂ නියෝජිත තානාපති පීටර් තොම්සන් මහතාද සමුළුවට සහභාගීවීම සඳහා කොළඹට පැමිණියේය. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සමුළුවේ සමාරම්භක අවස්ථාවට සහභාගී විය.

සමුළුවේ ප්‍රධාන දේශනය පැවැත්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා, කලාපයට වර්ධනය වීම හා සමෘද්ධිය ළඟාකර ගැනීම සඳහා නාවික ගමනාගමනයේ නිදහසත් ඩිජිටල් සම්බන්ධකතාවේ නිදහසත් පවත්වා ගැනීමේ අවශ්‍යතාවද සාමය හා ආරක්ෂාව පවත්වාගැනීමෙහිලා පොදු අවබෝධයක ඇති අවශ්‍යතාවද ඉස්මතු කොට පෙන්වීය.

ඉන්දියානු සාගරය ආශ්‍රිත රාජ්‍යයන්ට හා එම සාගරය භාවිතා කරන රටවල්වලට සාකච්ඡා කිරීමටත් එකඟතාවන් ඇති කරගැනීමටත් සියල්ල අන්තර්ගත අවකාශයක් මෙම සමුළුව විසින් සපයනු ලැබිණි. ගෝලීය වර්ධනයේ නව මානය ලෙස ඉන්දියානු සාගරයේ අනාගතය, සාමුද්‍රීය සුරක්ෂිතබව සහ ආරක්ෂාව, තිරසර හා අවම පරිසර දූෂණයෙන් යුත් සංවර්ධනය, සහ නීති මත පදනම් වූ ක්‍රමයක් තුළ ඉන්දියානු සාගරයේ ස්ථාවරබව ඇතුළු විශේෂිත ක්ෂේත්‍ර හතරක් සමුළුවේ ගවේෂණයට බඳුන් විය.

මෙම සමුළුව අවසානයේදී, ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය සහ සමුළුව සංවිධානය කළ කාර්ය සාධන බලකායේ සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා සමුළුවේදී මතු වූ පොදු අදහස් සාරාංශගත කොට දැක්වීය. එම අදහස් වූයේ: ආර්ථික අවදානම්වලින් පීඩාවට පත් අවිනිශ්චිත ලෝකයක ඉන්දියානු සාගර ආර්ථිකය ශීඝ්‍රයෙන් ගෝලීය වර්ධන ධ්‍රැවයක් බවට පත්වමින් තිබේ; අපගේ අනාගත පරම්පරාවල්වලට අර්ථදායක උරුමයක් අත්පත්කරදීම සඳහා කලාපයේ ආර්ථික ප්‍රසාරණය සියලු දෙනා අන්තර්ගත කරගත්, පුළුල් හා පාරිසරික වශයෙන් තිරසර එකක් විය යුතුය ;  උපායමාර්ගික අවිශ්වාසයත් සාමුද්‍රික අපරාධ, අධික ලෙස මසුන් මැරීම, සමුද්‍ර දූෂණය, ඩිජිටල් ආර්ථිකය වෙනුවෙන් මුහුදු පත්ලෙහි ඇති සන්නිවේදන රැහැන් ආරක්ෂා කිරීම ආදී සම්ප්‍රදායික නොවන ආරක්ෂක තර්ජනත් කලාපයේ සාමය හා සමෘද්ධිය උදාකර ගැනීමට සුවිසල් අභියෝගයන්ව පවතියි ; සහ ඉන්දියානු සාගරය ආශ්‍රිත රාජ්‍යයන්ගේ හා එම සාගරය භාවිතා කරන රටවල හිතසුව පිණිස එක්සත් ජාතීන්ගේ සමුද්‍ර නීතිය පිළිබඳ සම්මුතිය කේන්ද්‍ර කරගත් ජාත්‍යන්තර සාමුද්‍රීය ක්‍රමය ශක්තිමත් කිරීම හා බලගැන්වීම කළ යුතුය, යනාදියයි.

ඉන්දියානු සාගරයේ අනාගතය සම්බන්ධයෙන් ලබන වසරේ ශ්‍රී ලංකාවේ පැවැත්වෙන අමාත්‍ය මට්ටමේ සමුළුවකදී ඉන්දියානු සාගරය ආශ්‍රිත රාජ්‍යයන්ට හා එම සාගරය භාවිතා කරන රටවලට එකඟ විය හැකි ප්‍රකාශනයක මූලිකාංග ඇතුළත් සමුළු වාර්තාවක් පිළියෙළ කෙරෙනු ඇතැයිද සඳහන් කෙරිණි.

 “ඉන්දියානු සාගරය: අපගේ අනාගතය නිර්වචනය කිරීම” සමුළුව අග්‍රාමාත්‍ය කාර්යාලය, විදේශ කටයුතු අමාත්‍යාංශය, එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ කාර්යාලයේ ගෝලීය සාමුද්‍රික අපරාධ වැඩසටහන සහ ජාත්‍යන්තර සබඳතා හා ක්‍රමෝපාය අධ්‍යයන පිළිබඳ ලක්ෂ්මන් කදිර්ගාමර් ආයතනය  විසින් සංවිධානය කරනු ලැබිණි.

විදේශ කටයුතු අමාත්‍යාංශය
කොළඹ
 
2018 ඔක්තෝබර් 14 වැනිදා
Print Friendly, PDF & Email
Please follow and like us:

Close