ශ්‍රී ලංකා - පින්ලන්ත ද්විපාර්ශ්වික උපදේශන සාකච්ඡා කොළඹදී පැවැත්වේ

ශ්‍රී ලංකා – පින්ලන්ත ද්විපාර්ශ්වික උපදේශන සාකච්ඡා කොළඹදී පැවැත්වේ

Image 01 (3)

ශ්‍රී ලංකා - පින්ලන්ත ද්විපාර්ශ්වික උපදේශන සාකච්ඡාවල පළමු සැසි වාරය ජ්‍යෙෂ්ඨ නිලධාරී මට්ටමෙන් 2018 ඔක්තෝබර් මස 01 වැනි දින කොළඹ විදේශ කටයුතු අමාත්‍යාංශයේදී සාර්ථකව පැවැත්විණි.

ද්විපාර්ශ්වික උපදේශන සාකච්ඡා සඳහා සහභාගී වූ ශ්‍රී ලංකා නියෝජිත පිරිසේ නායකත්වය විදේශ කටයුතු අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (ද්විපාර්ශ්වික කටයුතු) සුමිත් නාකන්දල මහතා විසින් දරන ලද අතර පින්ලන්ත නියෝජිත පිරිසේ නායකත්වය එරට විදේශ කටයුතු අමාත්‍යාංශයේ ඇමෙරිකා හා ආසියානු අංශයේ අධ්‍යක්ෂ ජනරාල් තානාපති කිම්මෝ ලඩ්විර්ටා මහතා විසින් දරන ලදී. ශ්‍රී ලංකාවට සමගාමීව අක්ත ගන්වන ලද දකුණු ආසියාව සඳහා වූ පින්ලන්ත තානාපති හරී කමරෙයිනන් මහතාද පින්ලන්ත නියෝජිත පිරිසට ඇතුළත් විය. විදේශ කටයුතු අමාත්‍යාංශ දෙකෙහිම ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සාකච්ඡාවලට සහභාගී වූ අතර ශ්‍රී ලංකාව නියෝජනය කළ රේඛීය අමාත්‍යාංශ හා නියෝජිතායතන ගණනාවක්ද මෙම සාකච්ඡා සඳහා සක්‍රීයව සහභාගී විය.

මෙම සාකච්ඡාවලදී ද්විපාර්ශ්වික වෙළෙඳාම හා ආයෝජනය පිළිබඳව පුළුල් වශයෙන් අවධානය යොමු වූ අතර 2017 ඔක්තෝබර් මාසයේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ පින්ලන්ත සංචාරය අතරතුර දෙරට විසින් හඳුනාගනු ලැබූ වෘත්තීය පුහුණුව, සෞඛ්‍යය, පුනර්ජනනීය බල ශක්තිය, තොරතුරු සන්නිවේදන තාක්ෂණය හා ඩිජිටල්කරණය වැනි ක්ෂේත්‍රවල සහයෝගීතාවේ ලබා ඇති ප්‍රගතිය පිළිබඳ පසු විපරම්ද කෙරිණි.

ප්‍රවීණතා හුවමාරුව සහ ඒකාබද්ධ සහයෝගිතා වැඩසටහන් ඔස්සේ අන්‍යොන්‍ය වශයෙන් වාසිදායක සහයෝගීතාව ඉහළ නැංවීමේ අරමුණෙන් සාකච්ඡාවට ගැනුණු වෙනත් ක්ෂේත්‍ර අතර ඉ-පාලනය, තීරණාත්මක සන්නිවේදනය, සයිබර් ආරක්ෂාව, දේශගුණ විපර්යාස හා එහි හානිය අවම කිරීම, වනාන්තර, ආරක්ෂාව, සංචාරක කටයුතු සහ සුහුරු නගර සංවර්ධනය ආදිය විය.

2018 ජුනි මාසයේදී පින්ලන්ත ආර්ථික කටයුතු හා රැකියා අමාත්‍යාංශයේ නියෝජ්‍ය රාජ්‍ය ලේකම් පෙට්රි පෙල්ටනන් මහතාගේ ශ්‍රී ලංකා සංචාරය අතරතුරදී වෘත්තීය අධ්‍යාපනය හා පුහුණුව, සෞඛ්‍යය හා ඩිජිටල්කරණය යන ක්ෂේත්‍රවලට අදාළව දෙරට අතර අත්සන් තබන ලද අවබෝධතා ගිවිසුම් ක්‍රියාත්මක කිරීමට අදාළ කරුණු හා ගැටලු පිළිබඳවද මෙම රැස්වීමේදී  සාකච්ඡාවට බඳුන් විය.

ප්‍රජාතාන්ත්‍රික ආයතන ශක්තිමත් කිරීමට, සංහිඳියාව ඉහළ නැංවීමට හා ආර්ථික සංවර්ධනය ළඟා කර ගැනීමට ශ්‍රී ලංකා රජය ගෙන ඇති පියවර පින්ලන්ත නියෝජිත පිරිසේ අවධානයට ලක් විය. ශ්‍රී ලංකාව ජාත්‍යන්තර ප්‍රජාව සමඟ පවත්වන සක්‍රීය හා ප්‍රගතිශීලී සම්බන්ධතාව මෙහිදී ඔවුන්ගේ අගය කිරීමට ලක්විය. පොදු අභිලාෂයන්ට අදාළ කරුණු සම්බන්ධයෙන් බහු පාර්ශ්වීය සංසදවලදී සහයෝගීව ක්‍රියාකිරීම ඉහළ නැංවීමට තමන් තුළ ඇති පොදු කැපවීම දෙරටම මෙහිදී තහවුරු කළේය.

ශ්‍රී ලංකා - පින්ලන්ත ද්විපාර්ශ්වික උපදේශන සාකච්ඡාවල දෙවැනි සැසි වාරය 2020 වසරේ පින්ලන්තයේ හෙල්සින්කි නුවර පැවැත්වීමට නියමිතය.

විදේශ කටයුතු අමාත්‍යාංශය

කොළඹ

2018 ඔක්තෝබර් 03 වැනිදා 

Image 02 (2)

Print Friendly, PDF & Email
Please follow and like us:

Close