ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව කොළඹ දී පැවති පළමුවැනි සාමුද්‍රීය සංවාදය සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ තුන්වන වටයේ සාකච්ඡා අවසන් කරයි

ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව කොළඹ දී පැවති පළමුවැනි සාමුද්‍රීය සංවාදය සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ තුන්වන වටයේ සාකච්ඡා අවසන් කරයි

01

 

ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර ජ්‍යේෂ්ඨ නිලධාරීන්ගේ තුන්වැනි වටයේ සාකච්ඡා 2019 සැප්තැම්බර් 17 වන දින කොළඹ විදේශ කටයුතු අමාත්‍යාංශයේ දී පැවැත්විණ.

ශ්‍රී ලාංකික දූත පිරිස විදේශ කටයුතු අමාත්‍යාංශයේ ද්විපාර්ශ්වික කටයුතු (නැගෙනහිර) අතිරේක ලේකම් පී. සෙල්වරාජ් මහතා විසින් මෙහෙයවන ලද අතර, ඕස්ට්‍රේලියානු නියෝජිත කණ්ඩායම ඕස්ට්‍රේලියානු විදේශ කටයුතු හා වෙළඳ දෙපාර්තමේන්තුවේ නිරිතදිග ආසියා අංශයේ පළමු සහකාර ලේකම් ආචාර්ය ලැච්ලන් ස්ට්‍රහාන් මහතා විසින් මෙහෙයවන ලදී.

දේශසීමා ඉක්මවමින් සිදුකරන සංවිධානාත්මක අපරාධ, ආරක්ෂාව, සංහිඳියාව සහ මානව හිමිකම්, සංවර්ධන හවුල්කාරිත්වය, විදේශ කටයුතු අමාත්‍යාංශවල සහයෝගීතාව සහ කලාපීය සහ බහුපාර්ශ්වික කරුණු ඇතුළු පුළුල් පරාසයක සබඳතා පිළිබඳ ප්‍රධාන ක්ෂේත්‍රවල සහයෝගීතාව ශක්තිමත් කිරීම කිරීම සඳහා දෙරට අතර පුළුල් සාකච්ඡා පැවැත්විණි. සබඳතාවයේ පවතින විශිෂ්ට ගාමක බලය දිගටම පවත්වා ගැනීමට දෙපාර්ශ්වයම එකඟ වූ අතර, රීතිය පදනම් කරගත්, විවෘත හා සියලු කරුණු අඩංගු කලාපීය පිළිවෙතක් සහ ඉන්දියන් සාගර වටද්දර සංගමය සහ ඉන්දියන් සාගර නාවික සිම්පෝසියම ඇතුළු කලාපීය සැලසුම් ශක්තිමත් කිරීම සඳහා වූ ඔවුන්ගේ කැපවීම පිළිබඳව අවධාරණය කළහ.

ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ සාකච්ඡාවල තුන්වැනි වටයට පෙර, ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර 2019 සැප්තැම්බර් 16 වන දින විදේශ කටයුතු අමාත්‍යාංශයේ පැවති උපායමාර්ගික සාමුද්‍රීය සංවාදයේ සමාරම්භක සැසිවාරය ආරම්භ විය. ශ්‍රී ලංකා දූත පිරිසට විදේශ අමාත්‍යාංශයේ බහුපාර්ශ්වීය කටයුතු පිළිබඳ අතිරේක ලේකම් අහමඩ් ඒ. ජාවඩ් මහතා විසින් නායකත්වය ලබාදුන් අතර, ඕස්ට්‍රේලියානු දූත පිරිස පළමු සහකාර ලේකම් ආචාර්ය ලැච්ලන් ස්ට්‍රහාන් මහතා විසින් මෙහෙයවන ලදී. ඉන්දියානු සාගරයේ සාමුද්‍රීය ආරක්ෂාව සහ සුරක්ෂිතභාවය පිළිබඳව එක්ව කටයුතු කිරීමේ සහ නීල ආර්ථිකය හා සම්බන්ධ මූලික පියවර සඳහා සහයෝගයෙන් කටයුතු කිරීමේ වැදගත්කම මෙම සංවාදය මගින් අවධාරණය කෙරිණි.

දෙරට අතර ද්වීපාර්ශ්වික වෙළෙඳ හා ආයෝජන රාමුගත වැඩපිළිවෙළ (TIFA) පිළිබඳ මෙම ඒකාබද්ධ කොමිෂන් සභාව 2019 සැප්තැම්බර් 17 වැනි දින පවත්වන ලදී. සංවර්ධන උපායමාර්ගික හා ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍යාංශයේ ලේකම් එස්.ටී. කොඩිකාර සහ පළමු සහකාර ලේකම් ආචාර්ය ලැච්ලන් ස්ට්‍රහාන් යන මහත්වරුන්ගේ සම සභාපතීත්වය යටතේ පැවති මෙම සාකච්ඡාවල දී වඩාත් ප්‍රබල වෙළෙඳ හා ආයෝජන සබඳතා වර්ධනය කර ගැනීමේ වැදගත්කම අවධාරණය කරන ලදී.

1947 වසරේ දී රාජ්‍යතාන්ත්‍රික සබඳතා ස්ථාපනය කිරීමෙන් අනතුරුව, ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව, දේශපාලන, ආර්ථික, සංවර්ධන හා ආරක්ෂක ක්ෂේත්‍රවල විවිධ සහයෝගිතා අංශ දක්වා දිවයන දශක හතකට අධික කාලයක් මුළුල්ලේ පවතින දිගුකාලීන ද්විපාර්ශ්වික සබඳතාවක් භුක්ති විඳ තිබේ.

දෙවසරකට වතාවක් පැවැත්වෙන ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ සාකච්ඡා, දැනට පවත්නා සබඳතා පිළිබඳව සාමාලෝචනයක් සිදුකිරීම සඳහා සහ දෙරටේ ප්‍රතිපත්තිමය ප්‍රමුඛතාවලට අනුව අනාගත සහයෝගීතාව ශක්තිමත් කිරීමට ඇති විධික්‍රම පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා  ශ්‍රී ලංකාව හා ඕස්ට්‍රේලියාව අතර ප්‍රධාන වේදිකාවක් වෙයි.

ශ්‍රී ලංකාව සඳහා  ඕස්ට්‍රේලියාවේ මහ කොමසාරිස් ඩේවිඩ් හෝලි, ආරක්ෂක දෙපාර්තමේන්තුවේ “ග්ලෝබල් ඉන්ටරෙස්ට්” හි සහකාර ලේකම් ජරෝඩ් හවුචාර්ඩ්, නවදිල්ලි නුවර ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලයේ ස්වදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය උපදේශක ටාරා කැවැන්ග්, විදේශ කටයුතු හා වෙළඳ දෙපාර්තමේන්තුවේ ශ්‍රී ලංකා/මාලදිවයින් අංශයේ සහකාර අධ්‍යක්ෂ දනාන්ති ගලපිටගේ යන මහත්ම මහත්මීහු සහ කොළඔ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලයේ නිලධාරිහු ඕස්ට්‍රේලියානු නියෝජිත කණ්ඩායමට ඇතුළත් වූහ. විදේශ කටයුතු අමාත්‍යාංශය, ආරක්ෂක අමාත්‍යාංශය, ඩිජිටල් යටිතල පහසුකම් හා තොරතුරු තාක්ෂණ අමාත්‍යාංශය, සංචාරක, වනජීවී හා ක්‍රිස්තියානු ආගමික කටයුතු අමාත්‍යාංශය, සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය යන අමාත්‍යාංශවල සහ විදේශ සම්පත් දෙපාර්තමේන්තුව හා ආගමන හා විගමන දෙපාර්මේන්තුව යන දෙපාර්තමේන්තුවල හා බන්ධනාගාර මූලස්ථානයේ නිලධාරීහු ශ්‍රී ලාංකික නියෝජිත කණ්ඩායමට අයත් වූහ.

ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ සාකච්ඡාවල මීලඟ වටය 2021 වසරේ දී ඕස්ට්‍රේලියාවේ කැන්බරා නුවර දී පැවැත්වීමට නියමිතය.

 

විදේශ කටයුතු අමාත්‍යාංශය
කොළඹ
2019 සැප්තැම්බර් 19 වැනි දින

03

04

Print Friendly, PDF & Email
Please follow and like us:

Close