ඉන්දුනීසියානු ජනපති ශ්‍රී ලංකාවේ සංචාරයක

ඉන්දුනීසියානු ජනපති ශ්‍රී ලංකාවේ සංචාරයක

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ඇරයුම මත ඉන්දුනීසියානු ජනපති ජෝකෝ විඩෝඩෝ මහතා 2018 ජනවාරි මස 24-25 යන දෙදින තුළ ශ්‍රී ලංකාවේ රාජ්‍ය සංචාරයක නියැළෙයි.

හමුදා උත්තමාචාර සහ ආචාර වෙඩිමුර විසිඑකක් සහිතව ජනවාරි මස 24 වැනි දින සන්ධ්‍යාවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඉන්දුනීසියානු ජනාධිපතිවරයා උත්සවාකාරයෙන් පිළිගනු ලබන අතර, ඔහු ඉන් අනතුරුව අන්‍යොන්‍ය වශයෙන් වැදගත් වන කරුණු රැසක් සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සමග නිල ද්විපාර්ශ්වික සාකච්ඡා පවත්වයි. මෙම සංචාරය අතරතුරදී දෙරට අතර අවබෝධතා ගිවිසුම් කිහිපයක්ම අත්සන් තැබීමට නියමිතය.

ජනවාරි 25 වැනි දින උදෑසන පැවැත්වෙන හමුවකදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාද ජනාධිපති විඩෝඩෝ මහතා සමග ආර්ථික, වෙළෙඳ සහ ආයෝජන සහයෝගිතාව පිළිබඳ සාකච්ඡා පවත්වනු ඇත.

ශ්‍රී ලංකාව සහ ඉන්දුනීසියාව මීට වසර 65 කට පෙර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ආරම්භ කළ අතර එතැන් පටන් අඛණ්ඩව මිත්‍රශීලී ද්විපාර්ශ්වික සම්බන්ධතා පවත්වාගෙන යයි. 2016 වසරේදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉන්දුනීසියාවේ රාජ්‍ය සංචාරයක නිරත විය.

විදේශ කටයුතු අමාත්‍යාංශය
කොළඹ

2018 ජනවාරි 19 වැනිදා

 

Print Friendly, PDF & Email
Please follow and like us:

Close