අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමා ශ්‍රී ලාංකික සංක්‍රමණික ශ්‍රමිකයන්ට සහාය වීමේ හැකියාව පිළිබඳව සොයා බලයි

අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමා ශ්‍රී ලාංකික සංක්‍රමණික ශ්‍රමිකයන්ට සහාය වීමේ හැකියාව පිළිබඳව සොයා බලයි

Pic 1

වර්තමාන කොරෝනා වයිරස් ගෝලීය වසංගතයෙන් විදේශයන්හි සිටින ශ්‍රී ලාංකික සංක්‍රමණික ශ්‍රමිකයන්ට විවිධ ආකාරයෙන් ඇතිවිය හැකි බලපෑම් පිළිබඳව සාකච්ඡා කිරීම සහ මෙම ශ්‍රී ලාංකිකයන්ට උපකාර කිරීම සඳහා ක්‍රියාත්මක කළ හැකි යාන්ත්‍රණ පිළිබඳව ගවේෂණය කිරීම සඳහා විදේශ සබඳතා, නිපුණතා සංවර්ධන, රැකියා හා කම්කරු සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමා, විදේශ සබඳතා අමාත්‍යාංශයේ, නිපුණතා සංවර්ධන, රැකියා හා කම්කරු සබඳතා අමාත්‍යාංශයේ සහ ශ්‍රී ලංකා විදේශ රැකියා නියුක්ති කාර්යාංශයේ ලේකම්වරුන් සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අද (2020 අප්‍රියෙල් 10) දින විදේශ සබඳතා අමාත්‍යාංශයේ දී හමුවිය.

විශාල වශයෙන් මැදපෙරදිග, අග්නිදිග ආසියාව, නැගෙනහිර ආසියාව, යුරෝපය සහ අප්‍රිකානු කලාපවල රැකියාවල නියුතු, දළ වශයෙන් මිලියනයකට අධික ශ්‍රී ලාංකික සංක්‍රමණික ශ්‍රමිකයන් පිළිබඳව සඳහන් කරමින් අමාත්‍ය ගුණවර්ධන මැතිතුමා ප්‍රකාශ කළේ, මෙම අමාත්‍යාංශ දෙක මඟින් එම ශ්‍රී ලාංකිකයන්ගේ අවශ්‍යතා පිළිබඳව සොයා බැලිය යුතු වන බවයි. මෙම අමාත්‍යාංශ රැස්වීමේ දී එතුමා විශේෂයෙන් ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ අවධානය යොමු කළේ ගල්ෆ් කලාපයේ සේවය කරන සංක්‍රමණික ශ්‍රමිකයන්ගේ අවශ්‍යතා පිළිබඳව ය. කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය මැඩපැවැත්වීම සඳහා මෙම කලාපයේ සත්කාරක රටවල් ගෙන ඇති පියවර සංක්‍රමණික ශ්‍රමිකයන්ට අහිතකර ලෙස බලපා ඇති බවත්, මෙයින් ඉස්මතුවන කරුණුවලට විසඳුම් සෙවීමට ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ට උපදෙස් දෙන ලදී.

මෙම අභියෝගාත්මක කාල සීමාව තුළ දී ශ්‍රී ලාංකික සංක්‍රමණික ශ්‍රමිකයන්ට යහපත් අන්දමින් සහාය වනු පිණිස, ශ්‍රී ලංකා විදේශ රැකියා නියුක්ති කාර්යාංශය යටතේ ලියාපදිංචි නොවූ සංක්‍රමණික ශ්‍රමිකයන්ගේ ගැටලු සහ මෑතක දී රැකියා අහිමිවූවන් හා මුදල් ප්‍රේෂණ සම්බන්ධ ගැටලු සඳහා වන ප්‍රායෝගික විසඳුම් ගවේෂණය කිරීම පිළිබඳව මෙම රැස්වීමේ දී සාකච්ඡා කරන ලදී. තවදුරටත්, ලොව පුරා සිටින ශ්‍රී ලාංකික සංක්‍රමණික ශ්‍රමිකයන්ගේ අයිතිවාසිකම් සහ යහපැවැත්මට සහාය වීම සහ ආරක්ෂා කිරීම සඳහා ශ්‍රී ලංකා රජය හැකි සෑම පියවරක්ම ගන්නා බව ද විදේශ අමාත්‍යවරයා පැවසීය.

විදේශ ලේකම් රවිනාථ ආර්යසිංහ මහතා, නිපුණතා සංවර්ධන, රැකියා හා කම්කරු සබඳතා අමාත්‍යාංශයේ ලේකම් ඩී. එම්. සරත් අබයගුණවර්ධන මහතා සහ මෙම රැස්වීමට සහභාගී වූ අනෙකුත් ජ්‍යෙෂ්ඨ නිලධාරීහු, සංක්‍රමණික ශ්‍රමිකයන්ගේ වර්තමාන තත්ත්වය පිළිබඳව තම අදහස් හා දැක්ම බෙදා හදා ගත් අතර, එම සංක්‍රමණික ශ්‍රමිකයන්ගේ අභිවෘද්ධිය සඳහා මෙම අමාත්‍යාංශ දෙක සමීපව කටයුතු කරන බව අවධාරණය කළහ.

විදේශ සබඳතා අමාත්‍යාංශය

කොළඹ

2020 අප්‍රේල් 10 වැනි දින

Pic 2 Pic 3

Print Friendly, PDF & Email
Please follow and like us:

Close