කෝවිඩ් 19 වසංගත තත්ත්වය හමුවේ විදේශ සබඳතා අමාත්‍යංශයේ සහ විදේශ දූත මණ්ඩලයන්හි කාර්යභාරය විදේශ ලේකම්වරයා පැහැදිලි කරයි

කෝවිඩ් 19 වසංගත තත්ත්වය හමුවේ විදේශ සබඳතා අමාත්‍යංශයේ සහ විදේශ දූත මණ්ඩලයන්හි කාර්යභාරය විදේශ ලේකම්වරයා පැහැදිලි කරයි

 “මේ අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ සිටින දෙමාපියන් පිටරට සිටින තමන්ගේ දරුවන්ගේ ඒ වගේම තම පවුලේ සාමාජිකයන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් සිත් පීඩාවෙන් සිටින බව පැහැදිළියි. එහෙත් ඔවුන්ට අපගේ තානාපති කාර්යාලයක් එක් දුරකථන ඇමතුමක් ලබාදීමෙන් සම්බන්ධ කරගත හැකි නිසාත් ඔවුන්ට පවතින ගැටඵ සම්බන්ධයෙන් අප තානාපති කාර්යාල ගත හැකි සෑම පියවරක්ම ගන්නා නිසාත් මෙසේ පීඩාවට පත්වීමට හේතුවක් නැහැ. විශාල ආපදාකාරී තත්ත්වයක් උද්ගත වුවහොත් ශ්‍රී ලංකා රජය ඔබගේ දරුවන් හා හිතෛශීන් වෙනුවෙන් පෙනී සිටින බව අපි පැහැදිළිව කිවයුතුයි. විදේශ සබඳතා අමාත්‍යංශය ඉදිරියේදී ඇති විය හැකි තත්ත්වයන් පිළිබඳ නිරන්තර විශ්ලේෂණයකින් පසුවන අතරම ඒ සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගැනීමේ පෙර සූදානමකින් පසුවෙනවා. එසේම මෙම තත්ත්වය පහව යන විට ආර්ථික අංශයේ උද්ගත වන ගැටලු සහ අභියෝගයන්ට මුහුණදීමට අවශ්‍ය පසුබිමද අප මේ මොහොතේ සිට සකස් කරමින් පවතිනවා”.

විදේශ ලේකම් රවිනාථ ආර්‍යසිංහ  මහතා මෙම කරුණු පැහැදිළි කිරීම සිදුකළේ  කෝවිඩ් 19 වෛරසය ලොව පුරා ව්‍යාප්ත වන විට එම වෛරසය නිසා ශ්‍රී ලංකාවට එල්ල වෙන බලපෑම් සහ විදේශගත ශ්‍රී ලාංකිකයන්ට එම හේතුවෙන් උද්ගතව ඇති ගැටඵ වෙත මුහුණදීම සඳහා විදේශ සබඳතා අමාත්‍යංශය සහ විදෙස් දූත මණ්ඩලයන්ගේ කාර්යභාරය, ඒවායේ දායකත්වය සහ පෙර සූදානම සම්බන්ධයන් පසුගිය අප්‍රේල් මස 04 දින අද දෙරණ නාලිකාවේ විකාශය වූ ‘හයිඩ් පාර්ක්’ විශේෂාංගයේදී  මාධ්‍යවේදිනි ඉන්දීවරි අමුවත්ත හා එක් වෙමිනි. “ලෝකයේ  විවිධ ප්‍රදේශයන් වල මෙම ‘කෝවිඩ් 19’ වෛරසය නිසා නිසා උද්ගතව ඇති ගැටලු විවිධාකාරයි. උදාහරණ ලෙස දකුණු ආසියාවේ රටවල විශාල ශ්‍රී ලාංකික සිසුන් පිරිසක් සිටිනවා. ඒවගේම ශ්‍රී ලාංකික ආයෝජකයින්ද මේ රටවල විසිරී සිටිනවා. වර්තමානයේ ඔවුන්ගේ ප්‍රධාන ගැටලුව ආපසු ශ්‍රී ලංකාවට පැමිණීමයි. අපි මැදපෙරදිග දෙසට යොමුවුනොත් එහි සේවය කරන ශ්‍රමිකයන්ගේ සංඛ්‍යාව මිලියන 1.5 පමණ වෙනවා. ඔවුන් දැන් මුහුණදෙන්නේ සිය රුකියාව අහිමිවීම සහ ඉන් පසු ජීවතය ගෙනයාම කියන ගැටලුවලට.  යුරෝපයේ සහ ඔස්ටේ්‍රලියාවේ වෙසන ලාංකිකයන් සිය ආරක්ෂාව සම්බන්ධයෙන් සිත් පීඩාවට පත්වෙලා. මෙම සියලු කරැණු සැළකිල්ලට ගෙන අපි ‘කන්ටැක්ට්  ලංකා’ කියන වෙබ් පිටුව නිර්මාණය කළා. අපගේ අරමුණ මිලියන 2.6 පමණවන විදෙස්ගත ලාංකිකයන් සමග සෘජුව සම්බන්ධවීමයි.  ඔවුන්ට අවශ්‍ය සහාය ලබාදීමයි. මෙම වෙබ් පිටුව පසුගිය මාර්තු 26 වැනිදා දියත් කළ පසු මේවන විට 45,770 ක පිරිසක් එහි ලියාපදිංචිවී සිටිනවා.  ඒ හරහා අපට විදෙස්ගත  ලාංකිකයන්ගේ සමහර ගැටලු පැය කිහිපයක් ඇතුලත විසඳීමට හැකියාවක් ලැබුනා. පසුගිය දිනවල එවැනි සිදුවීම් රැසක් වාර්තා වුනා”  ආර්‍යසිංහ මහතා පැවසීය.

මැදපෙරදිග සේවය කරන අපගේ විදෙස් ශ්‍රමිකයන් සම්බන්ධයෙන් විශේෂයෙන් සිය අවධානය යොමු කළ ආර්‍යසිංහ මහතා “මෙහිදී මම විශේෂයෙන්ම සදහන් කළ යුතු කරණක් වන්නේ මැදපෙරදිග සේවය කරන අපගේ විදෙස් ශ්‍රමිකයන් සම්බන්ධයෙන් අපගේ වැදගත් මෙහවෙරයි. මේ මොහොතේ අපි ඔවුන් වෙනුවෙන් ලබාදෙන අවධානය අන් අයට වඩා අඩුය යන හැගීම කිසිසේත්ම ඔවුන්ට ඇති නොවිය යුතයි. අපි ඔවුන් සම්බන්ධයෙන් ද්විපාර්ශ්වික සම්බන්ධතාවන් හරහා අපට කළ හැකි සියලු ක්‍රියාමාර්ග ගන්නා බව මම මෙහිදී පැහැදිළිව ප්‍රකාශ කිරීමට කැමතියි. ඒවගේම ශ්‍රම සංක්‍රමණ සම්බන්ධ ජාත්‍යන්තර සංවිධානය  සහ කරිටාස් වැනි සංවිධාන, මැදපෙරදිරැ වෙසෙන රැකියා අහිමිවී ඇති පිරිස්වලට යම් සහාය දක්වන වන බව මට වාර්තා වුනා. මෙලෙස ගැටලුවලට මුහුණපා සිටින සමහර  ලාංකිකයන් නීත්‍යනුකූල වේවා, නීති විරෝධි වේවා, සියලු දෙනා ශ්‍රී ලාංකිකයන් ලෙස සැළකිය යුතුයි. එම රටවල මෙම ශ්‍රී ලාංකිකයන්ට සැලකීමක් නොලැබෙන්නේ නම් අපි ඒ සම්බන්ධයෙන් මැදිහත්වී කටයුතු කළ යුතුයි. ඒ සදහා පෙර සූදානමින් කටයුතු කළ යුතු”යැයි පැවසීය.

ලංකාවේ ‘කෝවිඩ් 19‘ වසංගත රෝගී තත්ත්වය සමනය වන තුරු තමා රැදී සිටින රටෙහිම රැදී සිටින ලෙස  ලංකා රජය කළ ඉල්ලීම සහ එයට විදෙස්ගත ලාංකිකයන් දැක්වූ ප්‍රතිචාර සම්බන්ධයෙන් කරැණු දැක්වූ  ආර්‍යසිංහ  මහතා “අපිට මේ වන විට ලෝකයේ විසිරී සිටින ලාංකිකයන්පගේ ස්වරූපය පිළිබදව පැහැදිළි අවබෝධයක් තිබෙනවා. ඔවුන් නැවතත් ලංකාවට පැමිණීම සම්බන්ධයෙන් රජය පැහැදිළි ස්ථාවරයක මේ මොහොතේ සිටිනවා. එමනිසා මම මගේ දූතමණ්ඩල ප්‍රධානීන්ට දන්වා සිටියේ මේ මොහොතේ අපට ඉටුකළ නොහැකි පොරොන්දු ශ්‍රී ලාංකිකයන්ට ලබා නොදෙන ලෙසයි. මේ මෙහොතේදී වඩාත්ම වැදගත් කාර්ය වන්නේ ලාංකිකයන්ට මුහුණදීමට සිදුව ඇති අපහසුතාවයන් සමනය කර ගැනීමට අවශ්‍ය සහාය ලබා දීමයි. එය අපි සෑම කෙනෙක්ම අවබෝධ කර ගත යුතුයි. එනමුත් විදෙස්ගත ලාංකියන්ට අප පැහැදිළිව පවසන්නේ විශාල ව්‍යසනකාරී තත්ත්වයක් උද්ගතවුවහොත් ශ්‍රී ලංකා රජය ඔවුන් ඉන් ගලවා ගැනීමට අවශ්‍ය  සියලුම පියවර ගන්නා බවයි. මට ඒ ගැන විස්වාසයි. වූහාන්වල සිසුන් සහ ඉන්දියාවේ සිටි වන්දනා පිරිස් ගෙන්වා ගත් ආකාරයට අවශ්‍යතාවය අනුව අපි අනෙකුත්  ශ්‍රී ලාංකිකයන් සම්බන්ධයෙන්ද අවශ්‍ය පියවර ගනු ලබනවා”.

ශ්‍රී ලංකාවට ඉදිරියේදී මුහුණදීමට සිදුවිය හැකි ආර්ථික අභියෝග සම්බන්ධයෙන්ද කරුණු පැහැදිළි කළ ආර්‍යසිංහ    මහතා “අපි අද දිනයේ උද්ගතව ඇති තත්ත්වයන්ට මුහුණදෙමින් හෙට දවස සම්බන්ධයෙන් ගත යුතු පියවර පිළිබඳව සිතිය යුතුයි. වර්තමානයේ අපට ඉහළින් ඇදෙමින් ඇති අඳුරු වලාවෙන් පරදා ඉන් පිටතට පැමිණිය හැක්කේ එවැනි සැළසුම් සහගතව කටයුතු කිරීමෙන් පමණයි. විදේශ සබඳතා අමාත්‍යංශයේ ආර්ථික කටයුතු අංශය මෙම කරැණ සම්බන්ධයෙන් විශේෂ අවධානයකින් යුතුව මේ වන විට කටයුතු කරමින් සිටිනවා. ඔවුන් මෙම කටයුතු සඳහා  අපනයන සංවර්ධන මණ්ඩලය සංචාරක අමාත්‍යංශය සහ ආයෝජන මණ්ඩලය හා එක්වී සිටිනවා.  මෙහිදී වැදගත් වන ආර්ථික සාධකයක් තමයි ‘ඉල්ලුම’. වර්තමානයේ යම් භාණ්ඩයකය ඇති ඉල්ලුම පහල යන්නේ එම භාණ්ඩය විකුණා ගැනීමට හැකිවේද නොව්ද යන චකිතය හේතුවෙන්. මෙම චකිතය මේ අවස්ථාවේදී ලෝකය පුරා පවතින තත්ත්වයක්. ඒ නිසා අපි මෙම යථාර්ථයටද මුහුණ දිය යුතුයි. තේ වැනි සාම්ප්‍රදායික නිෂ්පාදන වෙත මෙම අවස්ථාවේදී ඇතැම් රටවල්වලින් වැඩි ඉල්ලුමක් තිබෙනවා. ඒවගේම අපි සාම්ප්‍රදායිකව නිෂ්පාදනය නොකළ භාණ්ඩ සදහා මේ වන විට විශාල ඉල්ලුමක් ලැබී තිබෙනවා. විශේෂයෙන්ම මුහුණු හා සිරුර ආවරණ සැපයීම සදහා අපගේ නිමි ඇදුම් නිෂ්පාදකයන් වෙත ඇණැවුම් ලැබී තිබෙනවා. අපි මෙම ඉල්ලුම සම්බන්ධයෙන් පෙර සූදානමකින් පසුවුනා. එනිසා අපට මෙම අවස්ථාවෙන් සාර්ථක ප්‍රයෝජන ගැනීමට හැකි වී තිබෙනවා.ඒවගේම මේ මොහොත වන විට විදේශ සංචාරකයින් 15 000 පමණ ලංකාවේ රැදී සිටිනවා. ඔවුන් ලංකාව පිළිබදව ලබාදෙන ප්‍රතිචාරය ඉහළයි. පසුගිය දිනක බීබීසී පුවත්සේවයට එසේ රැදී සිටින විදේශිකයෙක් ලබාදුන් සාකච්ඡාව ඔබට මතක ඇති. එයට ලැබුණු ධනාත්මක ප්‍රතිචාර අපට මුදල් ගෙවාවත් ලබා ගැනීමට හැකියාවයක් නැහැ. එම විදේශිකයා ඒ විඩායෝව හරහා ලංකාව පිළිබදව ලෝකයට විශ්වාසයක් සහ ධනාත්මක සහතිකයක් ලබා දුන්නා”.

මේ අවස්ථාවේදී අපි විදෙස්ගත  ලාංකිකයන්ගෙන් අපට ලැබී ඇති සහාය අගය කළ යුතුයි. ‘කෝවිඩ් 19’ අරමුදලට ඔවුන් සිය උපරිම දායකත්වය දක්වමින් සිටිනවා. ඒවගේම අපට අවශ්‍ය වෛද්‍ය ආම්පන්න ඔවුන් අප වෙත ලබා දෙමින් පවතිනවා. මම මෙවන් දායකත්වයන් තව තවත් ලබාදෙන මෙන් ඔවුන්ගෙන් ඉල්ලා සිටිනවා. එසේම අපගේ මිත්‍ර රාජ්‍යන් වෙතින්ද අප ඉල්ලා සිටින්නේ මෙම අවස්ථාවේදී මූල්‍යමය හා ද්‍රව්‍යමය සහාය ලබාදෙන ලෙසයි. එසේම අප අපගේ ණය වාරික ගෙවීමට ඇති දින වකවානු වෙනස් කිරීම සඳහා සාකච්ඡා කිරීම ආදියද මේ අවස්ථාවේ සිදු කරනවා. එවන් සහන සැළසිය හැකි උපරිමයෙන් කටයුතු කරන ලෙසද මම ඉල්ලා සිටීමට කැමතියි”.

“‘කෝවිඩ් 19’ වෛරසය පිළිබදව චීනයේ වුහාන් ප්‍රාන්තයෙන් මුලින්ම කරණු හෙළිවන අවස්ථාවේදී මෙම වෛරසයේ ක්‍රියාකාරීත්වය පිළිබදව අපි දැනසිටියේ නැහැ. එනමුත් ඉන් උද්ගතවූ තත්ත්වයන්ට මුල සිටම මුහුණ දුන්නේ චීනයේ තිබෙන අපගේ තානාපති කාර්යාලය සහ කොන්සල් ජෙනරල් කාර්යාල. අලුතින් උද්ගතවූ මෙම තර්ජනයට මුහුණදුන් මුල්ම ශ්‍රී ලාංකික පිරිස වූ වූහාන් ප්‍රාන්තයේ සිටි ශ්‍රී ලාංකික සිසුන් පිරිසත් ඉන්පසුව වෛරසය පැතිරීයන් අවස්ථාවේ චීනයේ සිටි අනෙකුත් ශ්‍රී ලාංකික පිරිසත් මෙරටට ගෙන්වාගැනීමට මූලික වූයේ මෙම විදේශ දූත මණ්ඩලයන්. මම ඔවුන්ව මෙම අවස්ථාවේ වීරයන් ලෙස සළකන්නේ එනිසයි. ආපදා අවස්ථාවකදී මෙවන්  කාර්යභාරයක් ඉටුකිරීම ඕනෑම තානාපති කාර්යාලයක මූලික වගකීමක්. එනමුත් මෙම අවස්ථාවේදී අපට  මුහුණදීමට සිදුවූ තත්ත්වයට මීට පෙර අපි මුහුණදී නැහැ. අපි එදා චීනයේදී මුහුණදුන් තත්ත්වය අද වන විට ලෝකය පුරාම ඇති වී තිබෙනවා.

සිය කරුණු දැක්වීම අවසන් කරමින් ආර්‍යසිංහ මහතා අවධාරණය කර සිටියේ මෙම කාර්යයේදී අපි කෙතරම් සාර්ථකද යන්න කාලය විසින් අපට පවසනු ඇති බවත්, මෙම මොහොතේදී විදේශ සබඳතා අමාත්‍යංශය ලෙස අපිට කළ හැකි සියලු කාර්ය එනම් මෙම තත්ත්වයට මුහුණදී කටයුතු කිරීම, අනාගතයේ ඇති විය හැකි තත්ත්වයන් සදහා පෙර සූදානමකින් පසුවීම, මෙන්ම මෙම තත්ත්වය පහව යන විට ආර්ථික අංශයේ ඇති විය හැකි අභියෝගයන් ජය ගැනීමට සූදානම් වීම ආදිය සඳහා කැපවී කටයුතු කරනු ලබනු බවත්ය.

විදේශ සබඳතා අමාත්‍යාංශය
කොළඹ
 2020 .04. 08

 

Print Friendly, PDF & Email
Please follow and like us:

Close