ශ්‍රී ලංකාවේ සිට පැමිණ සිටින ශ්‍රී ලාංකිකයන්ගේ වීසා බලපත්‍ර දීර්ඝ කරන ලෙස ශ්‍රී ලංකාව විදේශ රාජ්‍යයන්ගෙන් ඉල්ලා සිටී

ශ්‍රී ලංකාවේ සිට පැමිණ සිටින ශ්‍රී ලාංකිකයන්ගේ වීසා බලපත්‍ර දීර්ඝ කරන ලෙස ශ්‍රී ලංකාව විදේශ රාජ්‍යයන්ගෙන් ඉල්ලා සිටී

Picture 1

දැනට තම රටවල සංචාර සඳහා පැමිණ,  COVID-19 කොරෝනා වෛරස වසංගත තත්ත්වය නිසා පනවා ඇති සංචාරක තහනම හේතුවෙන් ආපසු ශ්‍රී ලංකාවට යාම පිළිබඳ අපහසුතාවයකට මුහුණ දෙන ශ්‍රී ලාංකිකයින් සඳහා සුදුසු පරිදි වීසා බලපත්‍ර දීර්ඝ කිරීමට පහසුකම් ලබා දෙන ලෙස විදේශ ලේකම් රවිනාථ ආර්යසිංහ මහතා විදේශ රජයන්ගෙන් ඉල්ලා තිබේ. දැනට මෙරට තුළ සිටින විදේශීය ජාතිකයින් සඳහා, තම වර්තමාන වීසා බලපත්‍ර කල් ඉකුත් වූ දින සිට එක් මසක දීර්ඝ කිරීමක්, සියලු වර්ගවල වීසා බලපත්‍ර සඳහා ලබා දෙන බවට ශ්‍රී ලංකා රජය අඟහරුවාදා (මාර්තු 17) නිවේදනය කළ බව ඔහු සඳහන් කළේය. මෙවැනි අන්‍යෝන්‍ය විධිවිධාන පොදු  භාවිතයක් බව ප්‍රකාශ කළ ඔහු, මෙම සුවිශේෂී අවස්ථාවේ දී ඔවුන් මුහුණ දෙන ගැටලු අවම කර ගැනීම සඳහා ශ්‍රී ලාංකික සංචාරකයින්ට මෙම පහසුකම් සැලසීමට හැකි වනු ඇතැයි අපේක්ෂා කළේය.

විදේශ ලේකම් ආර්යසිංහ මහතා මෙම අදහස් ප්‍රකාශ කළේ‍, COVID-19 වසංගතය ව්‍යාප්ත වීම පාලනය කිරීම සඳහා ශ්‍රී ලංකාව විසින් ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව රාජ්‍යතාන්ත්‍රික ප්‍රජාව දැනුවත් කිරීම සඳහා පවත්වනු ලබන කරුණු විස්තර කිරීමේ සැසි මාලාවේ කොටසක් ලෙස අද (මාර්තු 18) දින බටහිර කලාපීය තානාපතිවරුන් පිරිසක් ඇමතූ අවස්ථාවේ දීය.

තම රටවල සිටින ශ්‍රී ලාංකික ප්‍රජාවන්ට උදව් උපකාර කිරීම සඳහා අදාළ රජයන් විසින් ලබා දෙන සහයෝගය විදේශ ලේකම්වරයා අගය කළ අතර, ශ්‍රී ලංකාවේ සිටින විදේශිකයන් පිළිබඳ වර්තමාන තත්ත්වය සහ විදේශයන්හි සිටින ශ්‍රී ලාංකිකයින් මුහුණ දෙන දුෂ්කරතා පිළිබඳව තොරතුරු පැමිණ සිටි තානාපතිවරුන් සමඟ බෙදා හදා ගත්තේය. වර්තමානයේ පවතින ගැටලු හඳුනා ගනිමින්, දැනට සියලුම ශ්‍රී ලංකා රාජ්‍යතාන්ත්‍රික දූතමණ්ඩල හදිසි ප්‍රතිචාර දැක්වීමේ ඒකක ලෙස කටයුතු කරන අතර, වර්තමාන අභියෝග මධ්‍යයේ කොන්සියුලර් හා වෙනත් සේවාවන් සීමිත ප්‍රමාණයක් පමණක් පවත්වාගෙන යන බව ඔහු පැවසීය.

තම පුරවැසියන්, නිරෝධායන මධ්‍යස්ථානවල පවතින පහසුකම් සහ නිසි සන්නිවේදන මාර්ග පිළිබඳව කොළඹ පිහිටි විදේශ දූත මණ්ඩලවලට ඇති ගැටලු සම්බන්ධයෙන්, එහි පැමිණ සිටි දේශීය පාර්ශ්වකරුවන් විසින් ඵලදායී ලෙස ප්‍රතිචාර දක්වන ලදී. ශ්‍රී ලංකාවට ඇතුළුවීමට අපේක්ෂා කරන අය සඳහා ගුවන්තොටුපල වසා දමා තිබියදීත්, මෙහි සිටින විදේශිකයන් අපහසුවකින් තොරව පිටත්කර හැරීම පිළිබඳව ද රැස්වීමේ දී එකඟතාවකට පැමිණෙන ලදී.

තම රටවැසියන් සඳහා වීසා බලපත්‍ර දීර්ඝ කිරීම ඇතුළුව, මෙම තත්වය පාලනය කිරීම සඳහා රජය ගන්නා උත්සාහය පිළිබඳව මෙම තානාපතිවරු අගය කළ අතර, තම රටවල සංචාරය කරන ශ්‍රී ලාංකිකයන් සඳහා ද ඒ හා සමාන පහසුකම් සලසා දෙන ලෙස කරනු ලබන ඉල්ලීම ඔවුන්ගේ රජයන් වෙත දැනුම් දෙන බවට සහතික වූහ.

විදේශ සබඳතා අමාත්‍යාංශය
කොළඹ
2020 මාර්තු 18 වැනි දින
--------------------------
Picture 2 Picture 3
Print Friendly, PDF & Email
Please follow and like us:

Close