ප්‍රචණ්ඩකාරී අන්තවාදය වැළැක්වීම සඳහා ශ්‍රී ලංකාව සහය පතයි

ප්‍රචණ්ඩකාරී අන්තවාදය වැළැක්වීම සඳහා ශ්‍රී ලංකාව සහය පතයි

Koser photo1

ප්‍රචණ්ඩකාරී අන්තවාදය ජාතික ආරක්ෂාවට විශාලම තර්ජනය වී ඇති පාස්කු ඉරු දින බෝම්බ ප්‍රහාරවලින් පසු අවධියේ, ප්‍රචණ්ඩකාරී අන්තවාදය වැළැක්වීම සඳහා විශේෂඥ දැනුම ලබාදෙන ලෙස ශ්‍රී ලංකාව, ගෝලීය ප්‍රජා කටයුතු සහ යථාතත්ත්වයට පැමිණවීමේ අරමුදලේ (Global Community Engagement and Resilience Found) සහය පතා තිබේ. විදේශ අමාත්‍යාංශයේ ආරාධනයකට අනුව, මෙම අරමුදලේ විධායක අධ්‍යක්ෂ, ආචාර්ය ඛාලිඩ් කොසර් මහතා අගෝස්තු 27 - 30 දිනවල දී ශ්‍රී ලංකාවට පැමිණ මෙම පදනමේ සහය ලබාදීම සඳහා ක්‍රියාත්මක කළ හැකි වැඩසටහන් පිළිබඳව අවබෝධ කර ගැනීමේ අරමුණින් දේශපාලන නායකයින්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන් හා වෙනත් පාර්ශ්වකරුවන් හමුවිය.

විදේශ අමාත්‍ය තිලක් මාරපන මැතිතුමා අගෝස්තු 29 වැනි බ්‍රහස්පතින්දා ආචාර්ය කොසර් මහතා සමඟ හමුවක් පැවැත්වූ අතර එහිදී එතුමාගේ පැමිණීම ඉතා අගය කළේ ය. තව ද, ශ්‍රී ලංකාවේ මෙම ගැටලුවට විසඳුම් ලබා දිය යුතු වන්නේ පාස්කු ඉරු දින එල්ල වූ බියගුලු ප්‍රහාරවලට සම්බන්ධ වැරදිකරුවන් අත්අඩංගුවට ගැනීමෙහිලා ශ්‍රී ලාංකික මුස්ලිම් ප්‍රජාවේ බහුතරයක්, රජය සමඟ සහයෝගීතාවයෙන් කටයුතු කර ඇති පසුබිමක බව පෙන්වා දුන්නේ ය. අන්තවාදී බලවේග හඳුනා ගෙන රැඩිකල්කරණයේ මූලික අවස්ථාවලට එරෙහිව කටයුතු කරමින් ප්‍රජා ආරක්ෂා කිරීමේ වටිනාකම අමාත්‍යවරයා තවදුරටත් අවධාරණය කළේ ය. ශ්‍රී ලංකාවේ සාමාන්‍ය ජනතාව අන්තවාදීන් නොවූවද ඒ සඳහා ගොදුරුවීමට අවධානමක් ඇති යටි අරමුණු සඳහා හදිසි කෝපවීමේ අවස්ථා ඇති කිරීමට යත්න දරන කොටස් මේ සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන පාර්ශ්වවලට හසුරුවා ගත හැකි බව ද ඔහු මෙහිදී අවධාරණය කළේ ය. බොහෝ රටවල් විසින් මුහුණු දෙනු ලබන ගැටලුවක් වන ගැටුම් පැවති ප්‍රදේශවල සිට පැමිණි පුද්ගලයන් සමඟ කටයුතු කිරීමේ උභතෝකෝටිකය ද මෙහිදී අමාත්‍යවරයා මතු කළේය.

ජාතික හිමිකාරත්වය, ඵලදායි සම්බන්ධීකරණය සහ ප්‍රචණ්ඩකාරී අන්තවාදය වැළැක්වීමේ ඕනෑම වැඩසටහනක් සඳහා දේශීය සන්දර්භය යන කරුණු මෙම අරමුදල විසින් ලබා දෙනු ලබන සහයට ඉතා වැදගත් බව ආචාර්ය කෝසර් මහතා අවධාරණය කළේ ය. බංග්ලාදේශය, ටියුනීසියාව, මාලි, නයිජීරියාව, කෙන්යාව, පිලිපීනය හා මියන්මාරය යන රටවල ඇති වූ මීට සමාන තත්ත්වලදී මෙම පදනම කටයුතු කර ඇති ආකාරය පිළිබඳව ද ඔහු තවදුරටත් කරුණු පැහැදිලි කළේය.

ආචාර්ය කෝසර් මහතා කථානායක කරු ජයසූරිය මැතිතුමා ද බැහැදැකීය. එහිදී මීට ගොදුරුවිය හැකි තෝතැනි සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හරහා තමා සිදු කරන කටයුතු පිළිබඳව කරු ජයසූරිය මැතිතුමා කරුණු පැහැදිලි කළේ ය. සාමකාමීව සහජීවනයෙන් ජීවත්වීම හා සමාජයීය එකමුතුභාවය පිළිබඳව විවිධාකාර ප්‍රජාවන් සමඟ බිම් මට්ටමින් ජාතික සමඟිය හා සංහිඳියා කාර්යාංශය (ONUR) විසින් සිදුකරනු ලබන කටයුතු පිළිබඳව එම කාර්යාංශයේ සභාපතිනිය සහ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරණායක කුමාරතුංග මැතිණිය කරුණු පැහැදිලි කළාය.

ආරක්ෂක ලේකම් ශාන්ත කෝට්ටේගොඩ සහ විදේශ ලේකම් රවිනාථ ආර්යසිංහ යන මහත්වරුන්ගේ සම සභාපතීත්වයෙන් ආරක්ෂක අමාත්‍යාංශයේ අදාළ රජයේ පාර්ශ්වකරුවන් සමඟ අන්‍යොන්‍ය වශයෙන් පැවති සංවාදයකදී ආරක්ෂක ලේකම්වරයා සඳහන් කළේ අප්‍රේල් 21 වැනිදායින් පසුව ඇති වූ තත්ත්වය ඉක්මනින්ම පාලනය කොට, ප්‍රහාරවල දෙවැනි වටය එල්ල කළ හැකිව තිබූ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට ආරක්ෂක හමුදාවන්ට සහ පොලිසියට හැකි වූ බවයි. තවදුරටත් රැඩිකලීකරණය වැළැක්වීම සඳහා රැඳවුම් භාරයේ සිටින පුද්ගලයින් සම්බන්ධයෙන් නිසි පියවර ගැනීමට හා ඒ සඳහා ඵලදායී අක්‍රීයකරණ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට කාලය දැන් එළඹ තිබේ. සාර්ථකව සිදු කරන ලද එල්ටීටීඊ පුනරුත්ථාපනයට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් මෙවලම් හා ක්‍රියාකාරී වැඩපිළිවෙලක් අවශ්‍ය වන ආගමික අන්තවාදය සමඟ කටයුතු කිරීමේ දී ඇතිවන ගැටළුවල ස්වභාවය පිළිබඳව ඔහු අවධාරණය කළේය.

ඇතිවන අවස්ථාවන් රටකින් රටකට වෙනස් වන බැවින් හා සමස්ත රජයේ ප්‍රවේශයක් අනුගමනය කරනු ලබන බැවින්, ප්‍රචණ්ඩකාරී අන්තවාදය වැළැක්වීමේ ඕනෑම පියවරක් දේශීය සන්දර්භයට ගැලපෙන පරිදි සකස් කළ යුතු බව ලේකම් ආර්යසිංහ මහතා පැවසීය. ජාත්‍යන්තර විශේෂඥ දැනුම උපයෝගී කර ගැනීමට සහ රජය තුළ ඵලදායී ප්‍රචණ්ඩකාරී අන්තවාදය වැළැක්වීමේ උපාය මාර්ගයක අවශ්‍යතාවය පිළිබඳව දැනුවත් කිරීම සඳහා විදේශ අමාත්‍යාංශය ඉදිරිපත් වී ඇත්තේ මේ නිසා ය. ප්‍රචණ්ඩ අන්තවාදයට එරෙහි එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩල යෝජනා සම්මුතීන්ට අනුකූලව ශ්‍රී ලංකාව කටයුතු කරමින් සිටින බවත්, සියලු සාමාජික රටවල් ඊට අනුකූල විය යුතු බවත් ඔහු සිහිපත් කළේය.

මෙම රජයේ පාර්ශ්වකරුවන්ගේ රැස්වීමට, ආරක්ෂක, විදේශ කටයුතු, ජනමාධ්‍ය, අධිකරණ සහ බන්ධනාගාර ප්‍රතිසංස්කරණ, අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍යාංශවල නිලධාරීහු මෙන්ම, පොලිස් නිලධාරීහු ද එක්වූහ.

ගෝලීය ප්‍රජා කටයුතු සහ යථාතත්ත්වයට පැමිණවීමේ අරමුදල යනු ජිනීවා නුවර පිහිටි රාජ්‍ය පෞද්ගලික අංශවල හවුල්කාරිත්වයක් වන අතර, එය ප්‍රචණ්ඩකාරී අන්තවාදයට ඔරොත්තු දීමේ හැකියාව ශක්තිමත් කිරීම අරමුණු කරගනිමින් දේශීය, ප්‍රජා මට්ටමේ කටයුතුවලට සහය වන්නකි.

 

විදේශ කටයුතු අමාත්‍යාංශය
කොළඹ
2019 සැප්තැම්බර් 02 වැනි දින
koser photo2
Print Friendly, PDF & Email
Please follow and like us:

Close