විදේශ කටයුතු අමාත්‍යාංශය ත්‍රිපිටකාභිවන්දනා සතිය සමරයි

විදේශ කටයුතු අමාත්‍යාංශය ත්‍රිපිටකාභිවන්දනා සතිය සමරයි

Image 07

රජය විසින් ප්‍රකාශයට පත් කරන ලද ත්‍රිපිටකාභිවන්දනා සතිය සැමරීම සඳහා අද දින (22) විදේශ කටයුතු අමාත්‍යාංශයේදී වැඩසටහනක් පැවැත්විණි. යුනෙස්කෝ සංවිධානය යටතේ ඇති ලෝක ස්මෘති ලේඛනයට ථෙරවාදී ත්‍රිපිටකය ඇතුළත් කිරීමේ ජාතික වැඩ පිළිවෙළ හා සමගාමීව ත්‍රිපිටකාභිවන්දනා සතිය මාර්තු 16 සිට 23 දක්වා ප්‍රකාශයට පත් කරන ලදී.

විදේශ කටයුතු අමාත්‍යාංශයේ කාර්ය මණ්ඩලය විසින් “ථෙරවාදී ත්‍රිපිටකය ලෝක උරුමයක් බවට පත් කිරීමේ වැදගත්කම පිළිබඳ ප්‍රතිඥාව” ලබා දීමෙන් අනතුරුව අද උදෑසන එම වැඩසටහන ආරම්භ විය.ඉන් අනතුරුව පූජ්‍ය ඕලන්දයේ ආනන්ද හිමියන් විසින්  ත්‍රිපිටකයේ වැදගත්කම සම්බන්ධයෙන් ධර්ම දේශනාවක් පවත්වන ලදී. මෙම ධර්ම දේශනාවට, කොළඹ සිටින විදේශ තානාපතිවරුන් ඇතුළු රාජ්‍ය තාන්ත්‍රික නියෝජිතයෝද විදේශ කටයුතු අමාත්‍යාංශයේ කාර්ය මණ්ඩලයද සහභාගී වූහ.

ථෙරවාදී ත්‍රිපිටකය ලෝක උරුමයක් බවට පත් කිරීමේ ජාතික ප්‍රයත්නයට සහයෝගය දෙමින් ත්‍රිපිටකාභිවන්දනා සතිය නිමිති කොටගෙන ලොව පුරා පිහිටි ශ්‍රී ලංකා දූත මණ්ඩල සංවිධානය කළ වැඩසටහන් රැසක සම්බන්ධීකරණ කටයුතු  විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් සිදු කරනු ලැබිණි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා 2019 ජනවාරි 05 වැනි දින ථෙරවාදී ත්‍රිපිටකය ශ්‍රී ලංකාවේ ජාතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කළේ ය. එය ලෝක උරුමයක් වශයෙන් ප්‍රකාශයට පත් කිරී‍මේ ජාතික වැඩ පිළිවෙළක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අනුග්‍රහයෙන් මේ වන විට ක්‍රියාත්මක වෙමින් තිබේ.

විදේශ කටයුතු අමාත්‍යාංශය

කොළඹ

2019 මාර්තු 22 වැනිදා

Image 02

Image 03

Image 04

Image 05

Image 06

Print Friendly, PDF & Email
Please follow and like us:

Close