නෙල්සන් මැන්ඩෙලා සාම සමුළුව අමතා ශ්‍රී ලංකා ජනාධිපති අතිගරු මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා විසින් කරන ලද කථාව- 2018 සැප්තැම්බර් 24, නිව්යෝර්ක්

නෙල්සන් මැන්ඩෙලා සාම සමුළුව අමතා ශ්‍රී ලංකා ජනාධිපති අතිගරු මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා විසින් කරන ලද කථාව- 2018 සැප්තැම්බර් 24, නිව්යෝර්ක්

ගෞරවනීය සභාවෙන් අවසරයි,

නෙල්සන් මැන්ඩෙලා සාම සමුළුවක් එක්සත් ජාතීන්ගේ සංවිධානය විශේෂයෙන්ම පැවැත්වීමට තීරණය කිරීම  පිළිබඳව එක්සත් ජාතීන්ගේ මහලේකම්තුමා ඇතුළු එහි විධායක මණ්ඩලයට ශ්‍රී ලංකා ජනතාවගේ සහ ජනරජයේ ගෞරවනීය ප්‍රණාමය සහ ස්තූතිය පුද කරනවා.

නෙල්සන් මැන්ඩෙලා වැනි ශ්‍රේෂ්ඨ මානවවාදී නායකයෙක්, ලෝකයට සංහිඳියාව පෙන්නුම් කළ නායකයෙක්, ලෝකයේ මානව සමාජයට විශිෂ්ට ගමනක් යෑමට අවශ්‍ය මාර්ගය කියාදුන් නායකයෙක් පිළිබඳව අපි අද කතා කරන්නේ එවැනි නායකයින් අද ලෝකය තුළ නැති නිසායි.

නෙල්සන් මැන්ඩෙලා චරිතය ප්‍රධාන වශයෙන්ම ලෝකයට පෙන්නුම් කළේ බලය අත්හැරීම සහ බලය සීමාකිරීම සහ බලයේ රැඳී සිටීම පිළිබඳව කොතෙක් දුරට මානවවාදී ලෙස කටයුතු කළ යුතුද යන්නයි.

අද ලෝකය ගමන් කරන්නේ ඒ ශ්‍රේෂ්ඨ නෙල්සන් මැන්ඩෙලා ගමන් කළ ගමන නොවෙයි. ඒ නිසා තමයි මැන්ඩෙලා ගිය ගමන පිළිබඳව ලෝකයට සිහිපත් කිරීමට සිදුවී තිබෙන්නේ. අපිට අද ජීවත්වන ජාතීන් තුළ, රාජ්‍ය නායකයින් තුළ, ලෝකයට දේශපාලන ගමන්මග පෙන්වන බොහෝ නායකයින් තුළ, නෙල්සන් මැන්ඩෙලා චරිතයේ ලක්ෂණ කොතෙක් දුරට තිබෙනවාද කියන ප්‍රශ්නය මතුවෙනවා.

ඒ නිසා සාමය, සංහිඳියාව, ජාතීන් අතර සමගිය, මානවවාදී විශිෂ්ට ගමනක් පිළිබඳව ලෝකයට කියාදුන් එවැනි විශිෂ්ට නායකයකුගේ චරිතය ප්‍රධාන වශයෙන්ම අධ්‍යයනය කළ යුත්තේ අද ලෝක නායකයින් කියන එකයි මා විශ්වාස කරන්නේ.

ඒ තුළ ගැබ්වී තිබූ මානවවාදී ගැඹුරුබව, මිනිසුන් කෙරෙහි දැක්වූ ආදරය, බලය පිළිබඳව ඔහු තුළ තිබුණු, විශේෂයෙන්ම, කෑදරකමින් නැත්නම් බලයට තිබුණු ආශාවෙන් ඔහු ඉවත් වීම,    ශ්‍රී ලංකා ජනරජයේත් ජනතාවගේත් ගෞරවය හා ප්‍රණාමය මේ ශ්‍රේෂ්ඨ මැන්ඩෙලා වැනි නායකයින්ට පුද කරනවා වගේම ලෝකයේ සියලු නායකයින්ට ආරාධනා කරනවා නෙල්සන් මැන්ඩෙලා වැනි විශිෂ්ට නායකයකුගේ ගමන අපි සෑම කෙනෙක්ම යමුයි කියා.

ඔබ සියලු දෙනාටම ස්තූතියි.

 

Print Friendly, PDF & Email
Please follow and like us:

Close