විදේශ කටයුතු අමාත්‍යවරයාගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා නියෝජිත පිරිසක් 25 වැනි ආසියානු කලාපීය සංසදයට සහභාගී වෙයි

විදේශ කටයුතු අමාත්‍යවරයාගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා නියෝජිත පිරිසක් 25 වැනි ආසියානු කලාපීය සංසදයට සහභාගී වෙයි

Group Photo

2018 අගෝස්තු මස 04 වැනි දින සිංගප්පූරුවේ පැවැති 25 වැනි ආසියානු කලාපීය සංසදයේ අමාත්‍යවරුන්ගේ රැස්වීමට සහභාගී වූ ශ්‍රී ලංකා නියෝජිත පිරිසේ නායකත්වය විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන මහතා විසින් දරන ලදී.

1994 වර්ෂයේ තායිලන්තයේදී ආරම්භ කරන ලද ආසියානු කලාපීය සංසදය වනාහී  කලාපීය සාමයට, ආරක්ෂාවට සහ සමෘද්ධියට එල්ලවන අභියෝග හඳුනාගනිමින් කලාපීය සංවර්ධනය සහ සමෘද්ධිය ප්‍රවර්ධනය කිරීම අරමුණු කොට ගත්, ආසියා-ශාන්තිකර කලාපයේ ආරක්ෂාව පිළිබඳ සාකච්ඡා කෙරෙන ප්‍රධානතම සංසදයයි.

මෙම සංසදය ඇමතූ විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන මහතා, සමුද්‍රීය ආරක්ෂාව, ආපදා කළමනාකරණය, ආරක්ෂාව පිළිබඳ විශ්වසනීයත්වය ගොඩනැංවීමේ පියවරවල් හා අර්බුද වළක්වාලීම පිළිබඳ රාජ්‍ය තාන්ත්‍රික කටයුතුද ඇතුළුව ශ්‍රී ලංකාවට වැදගත් වන සහයෝගීතා ක්ෂේත්‍ර සහ  කලාපයේ වර්ධනය වන ආර්ථික ගතිකත්වය හා සෞභාග්‍යය පවත්වා ගැනීමට අවශ්‍ය සහයෝගය පිළිබඳව කරුණු දැක්වීය. අමාත්‍යවරයා මෙහිදී ආසියානු කලාපීය සංසදයේ සහයෝගිතා ක්ෂේත්‍රයන්හි ස්ථාවර ප්‍රගතිය පිළිබඳව සිය ප්‍රසාදය පළ කළ අතර එම ක්‍රියාවලිය සඳහා සම්පූර්ණ සහය ලබා දෙන බව ප්‍රකාශ කළේය.

මෙම රැස්වීම අතරතුර විදේශ කටයුතු අමාත්‍ය මාරපන මහතා බෘනායි, ලාඕසය හා කාම්බෝජය යන රටවල විදේශ කටයුතු අමාත්‍යවරුන් සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වූ අතර එහිදී අන්‍යොන්‍ය වශයෙන් වැදගත් වන ක්ෂේත්‍ර සාකච්ඡාවට බඳුන් විය.

මෙම රැස්වීමට සහභාගී වූ ශ්‍රී ලංකා නියෝජිත පිරිසට සිංගප්පූරුවේ ශ්‍රී ලංකා මහකොමසාරිස්වරයා සහ විදේශ කටයුතු අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහූද ඇතුළත් වූහ.

විදේශ කටයුතු අමාත්‍යාංශය
කොළඹ

 

2018 අගෝස්තු 05 වැනිදා

Print Friendly, PDF & Email
Please follow and like us:

Close