ඒකාබද්ධ පුවත්පත් නිවේදනය : තායිලන්ත අග්‍රාමාත්‍ය අතිගරු ජනරාල් ප්‍රයුත් චන්-ඔ-චා මැතිතුමාගේ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජ නිල සංචාරය, 2018 ජූලි 12-13

ඒකාබද්ධ පුවත්පත් නිවේදනය : තායිලන්ත අග්‍රාමාත්‍ය අතිගරු ජනරාල් ප්‍රයුත් චන්-ඔ-චා මැතිතුමාගේ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජ නිල සංචාරය, 2018 ජූලි 12-13

Pic 1

තායිලන්ත අග්‍රාමාත්‍ය අතිගරු ජනරාල් ප්‍රයුත් චන්-ඔ-චා මැතිතුමා සහ ඔහුගේ නියෝජිත පිරිස, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ ආරාධනය පරිදි 2018 ජූලි මස 12-13 යන දිනවල ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නිල සංචාරයක නිරත විය.

2018 ජූලි මස 12 වැනි දින තායිලන්ත අග්‍රාමාත්‍යවරයා හා ශ්‍රී ලංකා ජනාධිපතිවරයා දේශපාලන, ආර්ථික, තාක්ෂණික, කෘෂිකාර්මික, ධීවර, සංස්කෘතික, ආගමික, සංචාරක මෙන්ම කලාපීය හා බහුපාර්ශ්වීය සහයෝගීතාව යනාදී වශයෙන් වූ පුළුල් පරාසයකට අයත් කරුණු ආවරණය වන පරිදි ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වූහ. තායිලන්තය හා ශ්‍රී ලංකාව අතර පවතින අඛණ්ඩ, සමීප හා මිත්‍රශීලී සබඳතා පිළිබඳව නායකයෝ දෙපළ තෘප්තියෙන් යුතුව සිහිපත් කළහ. දෙරට අතර පවත්නා සබඳතා, උපායමාර්ගික ආර්ථික හවුල්කාරීත්වයක් දක්වා ඉහළ නංවමින් එම සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා වන සිය කැපවීම දෙපාර්ශ්වයම යළිත් තහවුරු කළේය. ශ්‍රී ලංකා ජනාධිපතිවරයා, 2015 නොවැම්බර් මාසයේදී යෙදුණු තායිලන්ත නිල සංචාරයේ සාර්ථක ප්‍රතිඵල පිළිබඳවද මෙම සාකච්ඡා අතරතුරදී නායකයෝ දෙපළ සිහිපත් කළහ.

දෙරට අතර පවත්නා දිගුකාලීන ඓතිහාසික, ආගමික හා සංස්කෘතික සබඳතා සැලකිල්ලට ගෙන, මහා වජිරලොන්කෝන් බොදින්ද්‍රදෙබයවරන්කුන් රජතුමාගේ රාජ්‍යත්වයට සහ තායිලන්තයේ ජනතාවට ආශිර්වාද කරමින්, දෙරට අතර පවත්නා හොඳ හිතෙහි සලකුණක් ලෙස පූජනීය ජය ශ්‍රී මහා බෝධියේ අංකුරයක් තිළිණ කිරීමට ශ්‍රී ලංකාව කැමැත්තෙන් සිටින බව ශ්‍රී ලංකා ජනාධිපතිවරයා තායිලන්ත අග්‍රාමාත්‍යවරයා වෙත යළිත් වරක් ප්‍රකාශ කළේය. මෙම තිළිණය කාරුණිකව පිළිගත් තායිලන්ත අග්‍රාමාත්‍යවරයා, එම පූජනීය තිළිණ උත්සවය සඳහා සුදුසු විධිවිධාන යෙදීම සහතික වනු වස් අවශ්‍ය කටයුතු පිළියෙළ කෙරෙමින් තිබෙන බව දැනුම් දුන්නේය.

වෙළෙඳ හා ආයෝජන සම්බන්ධතා විෂයෙහි කරුණු දැක්වූ දෙරටේ නායකයෝ, සාධාරණ වෙළෙඳ ශේෂයක් ළඟා කර ගනිමින්, 2020 වසර වන විට ද්විපාර්ශ්වික වෙළෙඳ ධාරිතාව ඇමෙරිකානු ඩොලර් බිලියන 1.5ක් දක්වා වැඩිකිරීම සඳහා තමන් තුළ ඇති කැපවීම තහවුරු කළහ. දෙරට අතර ආයෝජන ප්‍රවාහ වැඩිදියුණු කිරීමේ අවශ්‍යතාව පිළිබඳවද දෙපාර්ශ්වය මෙහිදී එකඟත්වය පළ කළේය. තායිලන්ත - ශ්‍රී ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුම පිළිබඳ සාකච්ඡා ආරම්භ කිරීම සම්බන්ධව මේ අවස්ථාවේදී නායකයෝ දෙපළ ඒකාබද්ධ ප්‍රකාශයක් කළහ. මෙම විස්තීර්ණ ගිවිසුම හරහා අපේක්ෂිත අරමුණු සාක්ෂාත් කර ගැනීම පිළිබඳව දෙපාර්ශ්වයම සිය විශ්වාසය පළකළේය. මෙම සාකච්ඡාවල පළමු වටය 2018 ජූලි මස 13 වැනි දින කොළඹදී පැවැත්විණි.

ප්‍රමුඛතා අංශ දහයකට අදාළ ද්විපාර්ශ්වික ආර්ථික සබඳතා වැඩිදියුණු කිරීම සඳහා වැදගත් යාන්ත්‍රණයක් ලෙස ක්‍රියාකරනු ඇතැයි අපේක්ෂිත දෙරට අතර උපායමාර්ගික ආර්ථික හවුල්කාරීත්වය පිළිබඳ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීමද දෙරටේ නායකයන්ගේ නිරීක්ෂණයට ලක්විය. මෙම සන්දර්භය තුළ, ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත වෙළෙඳාම හා සම්බන්ධ කරුණු පිළිබඳ තායිලන්ත - ශ්‍රී ලංකා අනු කමිටුවේ මීළඟ රැස්වීමේදී, මේ පිළිබඳව ඒකාබද්ධ ක්‍රියාකාරී සැලැස්මක් කෙටුම්පත් කිරීමට දෙපාර්ශ්වය එකඟත්වය පළකළේය.

ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීම සඳහා තායි සමාගම් දක්වන උනන්දුව පිළිබඳව තායිලන්ත අග්‍රාමාත්‍යවරයා ශ්‍රී ලංකා ජනාධිපතිවරයාට දන්වා සිටියේය. ශ්‍රී ලංකා ජනාධිපතිවරයා ඔවුන්ගේ එම කැමැත්ත පිළිබඳව සතුට පළකළ අතර, ශ්‍රී ලංකාවේ කෙරෙන තායිලන්ත ආයෝජන තවදුරටත් දිරිගැන්වීමේ හා ඒ සඳහා පහසුකම් සැපයීමේ මං සහ විධි පිළිබඳව නායකයෝ දෙපළ සාකච්ඡා කළහ.

තාක්ෂණික සහයෝගීතා ක්ෂේත්‍රයට අදාළව, “ස්වයංපෝෂිත ආර්ථික දර්ශනය ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ භාවිතා කිරීම මත පදනම්වූ තිරසර ප්‍රජා සංවර්ධන ආකෘතියක් පිළිබඳ ඒකාබද්ධ ක්‍රියාකාරී වැඩසටහන” ට අත්සන් තැබීමේ අවස්ථාව දෙපාර්ශ්වයේම නිරීක්ෂණයට ලක් විය. එකී ඒකාබද්ධ ක්‍රියාකාරී වැඩසටහන දිවංගත භූමිබෝල් අදුල්යදේජ් රජතුමාගේ ස්වයංපෝෂිත ආර්ථික දර්ශනය ශ්‍රී ලංකාව තුළ ව්‍යාප්ත කිරීමේ අරමුණින් ක්‍රියාත්මක වේ. ග්‍රාමීය ප්‍රජාවන්ගේ හිතකර සමාජ හා ආර්ථික තත්ත්වයන් තවදුරටත් වර්ධනය කිරීම සඳහා මෙම ඒකාබද්ධ සහයෝගීතාව ශ්‍රී ලංකාවට සැලකිය යුතු සහයක් ලබාදෙනු ඇත.

ජල විදුලි උත්පාදන හා කෘෂිකාර්මික කටයුතු සඳහා ජල සම්පාදනය සම්බන්ධ ගැටළුවලට විසැඳුමක් ලෙස වැසි වැස්සවීමේ තාක්ෂණය සඳහා රාජකීය තායි රජය විසින් ලබාදෙන ලද තාක්ෂණික සහය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ජනාධිපතිවරයා සිය ස්තූතිය පළකළේය. ශ්‍රී ලංකා ජනාධිපතිවරයා මෙහිදී දෙරටේ කෘෂිකාර්මික විශේෂඥයන් අතර පවතින සහයෝගීතාව පිළිබඳවද තෘප්තියෙන් යුතුව සිහිපත් කළ අතර, ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික අංශය නවීකරණය කිරීමේ හැකියාව හඳුනාගැනීම සඳහා විශේෂඥ දැනුම බෙදාහදා ගැනීම සම්බන්ධයෙන් තායි අග්‍රාමාත්‍යවරයාට සිය ස්තූතිය පළ කළේය. තවද, කෘෂිකාර්මික හා ධීවර අංශවල සහයෝගීතාව වර්ධනය කිරීමේ අරමුණෙන් අදාළ ඒකාබද්ධ ක්‍රියාකාරී කණ්ඩායම් රැස්කරවීමේ වැදගත්කම හඳුනාගත් නායකයෝ දෙපළ, අපේක්ෂිත සහයෝගීතාව පිළිබඳ යෝජනා හුවමාරු කර ගැනීම සඳහා දෙපාර්ශ්වයම ප්‍රමුඛත්වය ලබාදෙන බව ප්‍රකාශ කළහ.

මීට අමතරව, වරදකරුවන් හුවමාරු කරගැනීම පිළිබඳ හා දඬුවම් පැමිණවීමේදී සහයෝගීව ක්‍රියාකිරීම පිළිබඳ තායිලන්ත රාජධානිය හා ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය අතර ගිවිසුමට හා ප්‍රාථමික නිෂ්පාදනවල එකතුකළ අගය සම්බන්ධ තාක්ෂණික සහයෝගීතාව පිළිබඳව කසෙට්සාර්ට් විශ්වවිද්‍යාලය සහ ප්‍රාථමික කර්මාන්ත පිළිබඳ අමාත්‍යාංශය අතර අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීමේ අවස්ථාවටද නායකයෝ දෙපළ එක්වූහ. තායි වාණිජ මණ්ඩලය හා ලංකා වාණිජ මණ්ඩලය අතර අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීමද මෙහිදී සිදුවිය.

රැස්වීමෙන් අනතුරුව, ශ්‍රී ලංකා ජනාධිපතිවරයා තායිලන්ත අග්‍රාමාත්‍යවරයා හා ඔහුගේ නියෝජිත පිරිස වෙනුවෙන් ජනාධිපති මන්දිරයේදී රාත්‍රී භෝජන සංග්‍රහයක් පැවැත්වීය. ඊට පසුදින, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තායි අග්‍රාමාත්‍යවරයා හා ඔහුගේ නියෝජිත පිරිස  වෙනුවෙන් උදෑසන භෝජන සංග්‍රහයක් පැවැත්වීය.

තායිලන්ත අග්‍රාමාත්‍යවරයා ඓතිහාසික මහනුවර නගරයේ සංචාරය කළ අතර පූජනීය දන්ත ධාතූන් වහන්සේ වැඳපුදා ගත්තේය. ඔහු ශ්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු හා අස්ගිරි පාර්ශ්වවල අති පූජනීය මහනායක හිමිවරුන්ද බැහැ දුටුවේය. තායිලන්ත අග්‍රාමාත්‍යවරයා පේරාදෙණිය උද්භිද උද්‍යානයටද ගිය අතර සිය ශ්‍රී ලංකා සංචාරය සනිටුහන් කිරීම පිණිස පැළයක්ද රෝපණය කළේය.

පොදු ඓතිහාසික, ආගමික හා සංස්කෘතික සබඳතා මත පදනම් වුද, අන්‍යොන්‍ය වශයෙන් ප්‍රතිලාභ ඇති ආර්ථික සබඳතාවලින් තවදුරටත් ශක්තිමත් වූද, තායිලන්තය, ශ්‍රී ලංකාව සහ එම දෙරටේ ජනතාව අතර ඇති සදාකාලික සම්බන්ධතාව මෙම සාර්ථක ඉහළ පෙළේ සංචාරයෙන් පිළිඹිබු වේ.

2018 ජූලි 13 වැනිදා

Pic 2

Pic 3

Pic4

Temple of Tooth

Print Friendly, PDF & Email
Please follow and like us:

Close