ජපන් විදේශ ඇමැති ටාරෝ කොනෝ මහතා  ශ්‍රී ලංකාවේ  නිල සංචාරයක නිරත වෙයි

ජපන් විදේශ ඇමැති ටාරෝ කොනෝ මහතා  ශ්‍රී ලංකාවේ  නිල සංචාරයක නිරත වෙයි

DSC_3015

ජපානයේ විදේශ කටයුතු අමාත්‍ය ටාරෝ කොනෝ මහතා 2018 ජනවාරි මස 04 වැනිදා සිට 06 වැනිදා දක්වා ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත විය.

මෙම සංචාරයේදී ජපන් විදේශ අමාත්‍යවරයා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන් හමුවී ජපානයේ සහයෝගය ඇතිව ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන සංවර්ධන ව්‍යාපෘතිවල  ප්‍රගතිය පිළිබඳව සාකච්ඡා කළේය. දෙරට අතර පවතින මිත්‍රශීලී සහ සුහද සබඳතා පිළිබඳව සිහිපත් කළ අමාත්‍ය කොනෝ මහතා, ශ්‍රී ලංකාව සමඟ ඇති සංවර්ධන සහයෝගිතාව අඛණ්ඩව පවත්වාගෙන යන බවට සහතික විය. ඉදිරියටත් ශ්‍රී ලංකාවේ යටිතල පහසුකම් සංවර්ධන කටයුතු සඳහා සහය ලබාදීමට ජපන් රජයේ ඇති අභිලාෂය පිළිබඳවද අමාත්‍ය කොනෝ මහතා මෙහිදී සඳහන් කළේය.

විදේශ අමාත්‍ය තිලක් මාරපන මහතා ජපන් විදේශ අමාත්‍යවරයා වෙනුවෙන් දිවා භෝජන සංග්‍රහයක් පැවැත්වූ අතර එහිදී අමාත්‍යවරු දෙපළ, ආයෝජන, වෙළෙඳ සහ ආර්ථික, කෘෂිකර්මාන්ත, විද්‍යා හා තාක්ෂණ යන අංශවල සහයෝගිතාව, ආරක්ෂාව සහ සමුද්‍රීය සහයෝගිතාව මෙන්ම කලාපීය සහ බහුපාර්ශ්වික සංසදවලදී දක්වන සහයෝගිතාව ප්‍රවර්ධනය කිරීම ඇතුළු අන්‍යොන්‍ය වශයෙන් වැදගත් කරුණු සාකච්ඡාවට බඳුන් කළහ. දෙරටේ වෙළෙඳ සහ ආර්ථික සංවර්ධනය සඳහා වරායන් එකිනෙක හා සම්බන්ධවීමේ වැදගත්කමද මෙහිදී අමාත්‍යවරු දෙපළ අවධාරණය කළහ. මෙම දිවා භෝජන සංග්‍රහයට විශේෂ ව්‍යාපෘති අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම, ආපදා කළමනාකරණ අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා, වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක සහ විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ප්‍රසාද් කාරියවසම් යන මහත්වරුද සහභාගි වූහ.

2018 ජනවාරි 08 වැනිදා සිට 10 වැනිදා දක්වා කෙරෙන ජපාන - ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මිත්‍රත්ව ලීගයේ ශ්‍රී ලංකා සංචාරයත්, 2018 ජනවාරි මස 25– 26 යන දිනවල සිදුවීමට නියමිත ජපන් වාණිජ හා කර්මාන්ත මණ්ඩල නියෝජිත පිරිසේ ශ්‍රී ලංකා සංචාරයත් විදේශ අමාත්‍යවරුන් දෙදෙනාගේ පිළිගැනීමට ලක්විය. ද්විපාර්ශ්වික සහයෝගිතාව සහ අවබෝධය තවදුරටත් පුළුල් කිරීම සඳහා මෙවැනි සංචාරවල ඇති වැදගත්කමද ඔවුහු අවධාරණය කළහ.

උතුරු කොරියාව සම්බන්ධයෙන් වූ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩල යෝජනා සම්මත සම්පූර්ණයෙන් ක්‍රියාවට නැංවීමේ අවශ්‍යතාව පිළිබඳවද විදේශ අමාත්‍යවරු දෙදෙනා එකඟතාව පළ කළහ.

විදේශ කටයුතු අමාත්‍යාංශය
කොළඹ

2018 ජනවාරි 05

DSC_2980

DSC_2994

 

DSC_2999

DSC_3060

 

 

Print Friendly, PDF & Email
Please follow and like us:

Close