‘Disrupt Asia 2025’ දෙමුහුන් සමුළුවකදී විදේශයන්හි පිහිටි ශ්‍රී ලංකා දූත මණ්ඩල සමඟ සම්බන්ධ වේ

‘Disrupt Asia 2025’ දෙමුහුන් සමුළුවකදී විදේශයන්හි පිහිටි ශ්‍රී ලංකා දූත මණ්ඩල සමඟ සම්බන්ධ වේ

ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය සහ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය, ශ්‍රී ලංකා දූත මණ්ඩල සහ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ඒජන්සිය සමඟ එක්ව, 2025 සැප්තැම්බර් මාසයේ කොළඹදී පැවැත්වීමට නියමිත ‘Disrupt Asia 2025’ ඵලදායී සමුළුව හරහා තොරතුරු තාක්ෂණ හවුල්කාරිත්වයන්, නවෝත්පාදන, තාක්ෂණය සහ ආයෝජන ළඟා කරගැනීමේ අරමුණින් යුතුව සහයෝගයෙන් කටයුතු කරනු ඇත.

2025 මැයි 21 වැනි දින ඩිජිටල් ආර්ථිකය පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න සහ විදේශ කටයුතු සහ විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර යන මහත්වරුන්ගේ සම සභාපතිත්වයෙන් විදේශ කටයුතු අමාත්‍යාංශයේ පැවති දෙමුහුන් සැසිවාරයේදී, ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණ, නවෝත්පාදන සහ තාක්ෂණ අංශය වැඩිදියුණු කිරීමේ ක්‍රම සහ Disrupt Asia 2025 තුළින් ගෝලීය තොරතුරු තාක්ෂණ හවුල්කාරිත්වයන් මෙන්ම ආයෝජන ස්ථාපිත කිරීම සඳහා ළඟා කරගත හැකි වැදගත් සංවර්ධන අවස්ථාවන් පිළිබඳව දූත මණ්ඩල ප්‍රධානීන් අදහස් දැක්වූහ.

ශ්‍රී ලංකාව සජීවී ඩිජිටල් ආර්ථිකයක් සහිත රටක් සහ ක්‍රියාකාරී ආරම්භක මධ්‍යස්ථානයක් ලෙස ගොඩනැගීම සඳහා රජය දක්වන අධිෂ්ඨානශීලි කැපවීමට Disrupt Asia 2025 සමුළුව සාක්ෂියක් වනු ඇති බවට නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා ප්‍රකාශ කළේය. මෙම සමුළුව ආර්ථික වර්ධනය, නවෝත්පාදනය සහ තාක්ෂණික දියුණුව සඳහා උත්ප්‍රේරකයක් බවට පත් කිරීමේදී රාජ්‍ය තාන්ත්‍රික ජාලයේ සහ ජාත්‍යන්තර හවුල්කාරිත්වයේ ශක්තිය උපයෝගී කර ගැනීමේ වැදගත්කම ඔහු අවධාරණය කළේය.

ශ්‍රී ලංකා ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ගෝලීය අවබෝධය බොහෝ දුරට ඉතා කාර්යක්ෂම බාහිරින් සේවා සැපයෙන මධ්‍යස්ථානයක සිට ඒකාබද්ධ තොරතුරු තාක්ෂණ පරිසර පද්ධතියක් මගින් පහසුකම් සැපයෙන සමෘද්ධිමත් ආරම්භක මධ්‍යස්ථානයක් දක්වා වැඩි දියුණු කිරීමේ අවශ්‍යතාවය නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා සඳහන් කළේය. කෘත්‍රීම බුද්ධි දත්ත මධ්‍යස්ථාන සහ ඩිජිටල් පොදු යටිතල පහසුකම් සම්බන්ධයෙන් ශක්‍යතාවන් ඉස්මතු කරමින්, ශ්‍රී ලංකාව තොරතුරු තාක්ෂණ ක්‍රියාකාරකම්  සඳහා කලාපීය මධ්‍යස්ථානයක් ලෙස උපායමාර්ගිකව ස්ථානගත කිරීමේ අවශ්‍යතාවය ඔහු අවධාරණය කළේය.

ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ වැඩබලන ලේකම්, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ඒජන්සියේ සභාපති සහ ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ප්‍රධාන ජනාධිපති උපදේශක, විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේ ආර්ථික කටයුතු අංශයේ ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂ ජනරාල් සහ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ඒජන්සියේ සහකාර ප්‍රධාන ඩිජිටල් ආර්ථික නිලධාරී විසින් Disrupt Asia 2025 හි අරමුණු, අංශයේ උපායමාර්ගික ඉදිරි සැළැස්ම, 2030 වසර දක්වා සහ ඉන් ඉදිරියට  සැළසුම් කර ඇති කර්මාන්ත ක්‍රමෝපායන් ගෙනහැර දක්වන ලදී. Disrupt Asia 2025 මෙම වසරේ කොළඹදී පැවැත්වෙන ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම කර්මාන්ත සමුළුව වනු ඇත.

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය

කොළඹ

2025 මැයි 24 වැනි දින

 

 

Please follow and like us:

Close