ශ්‍රී ලංකාවේ සහ ටුර්ක්මෙනිස්තානයේ විදේශ අමාත්‍යාංශ අතර සමාරම්භක සාකච්ඡා ආරම්භ වෙයි

ශ්‍රී ලංකාවේ සහ ටුර්ක්මෙනිස්තානයේ විදේශ අමාත්‍යාංශ අතර සමාරම්භක සාකච්ඡා ආරම්භ වෙයි

ශ්‍රී ලංකාවේ සහ ටුර්ක්මෙනිස්තානයේ විදේශ අමාත්‍යාංශ අතර සමාරම්භක සාකච්ඡා මැයි 30 වැනි දින පැවැත්විණි. මෙම මාර්ගගත රැස්වීමේදී, දෙරටේ නියෝජිතයන් විවිධ ක්ෂේත්‍ර තුළින් සබඳතා ශක්තිමත් කර ගැනීම අරමුණු කරගත් ඵලදායී සාකච්ඡාවල නිරත විය.

දේශපාලන සහ රාජ්‍ය තාන්ත්‍රික, පාර්ලිමේන්තු කටයුතු, ආර්ථික, බලශක්ති, ප්‍රවාහන, අධ්‍යාපන සහ සංස්කෘතික යන ක්ෂේත්‍රවල සහයෝගීතාව සඳහා ඇති හැකියාවන් අධ්‍යනය කිරීම මෙහි ප්‍රධාන කරුණු අතරට ඇතුළත් විය. දෙපාර්ශවය අන්‍යෝන්‍ය ප්‍රතිලාභ සඳහා ඇති හැකියාව පිළිගත් අතර සහයෝගීතාව වැඩි දියුණු කිරීම සඳහා ඉහළ මට්ටමේ තිරසාර සංචාරවල වැදගත්කම අවධාරණය කළහ.

විශේෂයෙන්ම තෙල් සහ ගෑස්, රෙදිපිළි සහ ඇඟලුම්, කෘෂිකර්මය, ආහාර සැකසුම්, ඖෂධ සහ තොරතුරු තාක්ෂණ අංශවල සහයෝගීතාවය සඳහා ඇතිකරගත හැකි ආයෝජන අවස්ථා සහ ක්ෂේත්‍ර කෙරෙහි මෙම සාකච්ඡාවලදී අවධානය යොමු විය. මීට අමතරව, ව්‍යාපාරික සම්බන්ධතා සඳහා පහසුකම් සැලසීමට ටුර්ක්මන්-ශ්‍රී ලංකා ව්‍යාපාරික සංසදයක් සංවිධානය කිරීමේ හැකියාව කිරීමට ඇති හැකියාව පිළිබඳවද මෙහිදී යෝජනා විය. වරාය බලධාරීන් සහ වාණිජ මණ්ඩල අතර සහයෝගීතාව ගවේෂණය කිරීම සඳහා මෑතකදී පවත්වන ලද මාර්ගගත රැස්වීම් දෙපාර්ශවයම අගය කළහ. පවතින ගිවිසුම් අවසන් කිරීමට සහ නීතිමය රාමුව ශක්තිමත් කිරීමට දෙරටේ නීති කණ්ඩායම් අතර මාර්ගගත රැස්වීම් පැවැත්වීමට මෙහිදී එකඟත්වය පළවිය.

සංස්කෘතිය, කලාව, ක්‍රීඩාව, සංචාරක සහ අධ්‍යාපනය වැනි සහයෝගීතාවයේ අනෙකුත් ක්ෂේත්‍ර පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරිණි.

විදේශ කටයුතු අමාත්‍යාංශයේ අග්නිදිග සහ මධ්‍යම ආසියා අංශයේ අධ්‍යක්ෂ ජනරාල් ශෂිකලා ප්‍රේමවර්ධන මහත්මිය විසින් ශ්‍රී ලංකා දූත පිරිසේ නායකත්වය දැරූ අතර ටුර්ක්මෙනිස්තානයේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ ආසියා පැසිෆික් අංශයේ අධ්‍යක්ෂ ගුර්බැන්ඩරි සැපරෝව් මහතා විසින් ටුර්ක්මෙනිස්තාන දූත පිරිස මෙහෙයවන ලදී. දූත පිරිසට ආර්ථික, වෙළඳ අංශ සහ විදේශ අමාත්‍යාංශයේ රේඛීය ආයතන කිහිපයක නියෝජිතවරු ඇතුළත් වූහ.

ශ්‍රී ලංකා සහ ටුර්ක්මෙනිස්තාන විදේශ අමාත්‍යාංශ අතර මීළඟ වටයේ සාකච්ඡා 2025 ජනවාරි මස කැඳවීමට එකඟවෙමින් මෙම සාකච්ඡා අවසන් විය.

විදේශ කටයුතු අමාත්‍යාංශය

කොළඹ

 2024 මැයි 31 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close