ගාසා තීරයේ පලස්තීන ජනතාවට ශ්‍රී ලංකාවෙන් තේ පරිත්‍යාගයක්

ගාසා තීරයේ පලස්තීන ජනතාවට ශ්‍රී ලංකාවෙන් තේ පරිත්‍යාගයක්

පලස්තීන ජනතාව වෙත ශ්‍රී ලංකාව දක්වන නොසැලෙන සහය සහ සහයෝගීතාව සනිටුහන් කරන මානුෂීය ආධාර සංකේතයක් ලෙස ගාසා තීරයේ පලස්තීන ජනතාව වෙත ලංකා තේ තොගයක් පරිත්‍යාග කිරීමට ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශය කටයුතු යොදා තිබේ.

මෙම පරිත්‍යාගය වැඩබලන විදේශ කටයුතු අමාත්‍ය තාරක බාලසූරිය මහතා අතින්, විදේශ කටයුතු ලේකම් අරුණි විජේවර්ධන මහත්මිය ඉදිරිපිට දී ශ්‍රී ලංකාවේ පලස්තීන තානාපති හම්දල්ලා සෙයිඩ් සුහයිර් මහතා විසින්, ජනවාරි 29 වැනි දින විදේශ කටයුතු අමාත්‍යාංශයේ දී භාර ගනු ලැබිණි.

කොළඹ සිටින සෞදි අරාබි, ඊජිප්තු සහ ඉරාන තානාපතිවරු සහ ඉරාකය, කුවේට්, කටාර්, ඕමානය, ලිබියාව හා එක්සත් අරාබි එමීර් රාජ්‍යය යන රටවල රාජ්‍ය තාන්ත්‍රික නියෝජිතයෝ මෙම අවස්ථාවට සහභාගී වූහ.

මෙම උත්සවය අතරතුරදී පලස්තීන ජනතාවට ශ්‍රී ලංකාවේ සහයෝගීතාව ප්‍රකාශ කළ වැඩබලන විදේශ අමාත්‍ය බාලසූරිය මහතා පලස්තීන ජනතාව විඳින ගැහැට තුරන් කිරීමට අවශ්‍ය කරන සාමූහික ක්‍රියාමාර්ග පිළිබඳව අවධාරණය කළේය. රට යළි සාමාන්‍ය තතත්වයට පැමිණි පසු පලස්තීනයේ පාසැලක් ඉදිකිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව පිළිබඳව ද ඒ මහතා සඳහන් කළේය.

එහිදී අදහස් දැක්වූ විදේශ කටයුතු ලේකම් අරුණි විජේවර්ධන මහත්මිය ඉකුත්දා උගන්ඩාවේ කම්පාලා නුවර පැවැති 19 වැනි නොබැඳි ජාතීන්ගේ සමුළුවේ දී ශ්‍රී ලංකාව කළ ප්‍රකාශයෙන්  අවධාරණය කර ඇති පරිදි පලස්තීන ව්‍යාපාරය සඳහා ශ්‍රී ලංකාවේ ඇති කැපවීම සහ මෙම දිගුකාලීන ගැටලුව සඳහා කඩිනම් විසඳුමක් සොයා ගැනීමේ අවශ්‍යතාව යළි අවධාරණය කළාය.

පලස්තීනය සහ ශ්‍රී ලංකාව අතර පවතින දිගුකාලීන මිත්‍ර සබඳතාවය පිළිබඳව සඳහන් කළ  පලස්තීන තානාපති හම්දල්ලා සෙයිඩ් මහතා අධාර උපකාර අවශ්‍යම කොට ඇති මොහොතේදී පලස්තීනයේ ජනතාවට ලංකා තේ තොගයක් පරිත්‍යාග කිරීමෙන් ශ්‍රී ලංකා රජය ප්‍රදර්ශනය කළ හොඳහිත වෙනුවෙන් සිය අවංක කෘතඥතාව පළ කර සිටියේය.

විදේශ කටයුතු අමාත්‍යාංශයේ හදිසි ප්‍රතිචාර අංශය භාර අතිරේක ලේකම් ඕ.එල්. අමීර් අජ්වාඩ් මහතා ලංකා තේ පරිත්‍යාග කිරීමට කටයුතු සම්පාදනය කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා තේ මණ්ඩලයට ද,  එම තේ තොගය රියාද් නුවර වෙත ප්‍රවාහනය කිරීම වෙනුවෙන් ජාතික ගුවන් සේවය වන ශ්‍රී ලංකන් ගුවන් සේවය වෙත ද, රියාද් නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සමඟ සම්බන්ධීකරණයෙන් ගාසා තීරයේ පලස්තීන ජනතාව වෙත එම තේ බෙදා හැරීම වෙනුවෙන් සෞදි අරාබි රාජධානියේ කේඑස්රිලිෆ් පදනම වෙතද සිය කෘතඥතාව පළ කළේය.

විදේශ කටයුතු අමාත්‍යංශය

කොළඹ

2024 ජනවාරි 30 වැනි දා

Print Friendly, PDF & Email
Please follow and like us:

Close