මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ මැතිතුමා ඉන්දීය කාන්තා පුවත්පත් බලකාය සහ IAAN ජන සන්නිවේදන පාසල සමඟ අන්තර් ක්‍රියා පවත්වයි

ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ මැතිතුමා සැප්තැම්බර් 19 වැනි දින ඉන්දීය කාන්තා පුවත්පත් බලකායේ (IWPC) සාමාජිකයන් සහ IAAN ජන සන්නිවේදන පාසලේ සිසුන් සමඟ වෙන් වෙන් වශයෙන් අන්තර් ක්‍රියා පැවැත්වීය.

ඉන්දීය කාන්තා පුවත්පත් බලකායේ සාමාජිකයන් සමඟ පැවැත්වූ මෙම විධිමත් අන්තර් ක්‍රියාකාරකම, නවදිල්ලියේ පිහිටි එම සංවිධානයේ මූලස්ථානයේදී පැවැත්විණි. ඉන්දියාවේ ප්‍රමුඛ මාධ්‍ය ආයතන නියෝජනය කරමින් දිල්ලි නුවර සිටින මාධ්‍යවේදීන් සහ කාන්තා මාධ්‍යවේදිනියන් බහුතරයක් මෙම අන්තර් ක්‍රියාකාරකමට සහභාගී වූහ.IWPC හි සාමාජිකයන් ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික හා දේශපාලන ප්‍රවණතා ඇතුළුව ඉන්දු-ශ්‍රී ලංකා සබඳතා හා සබැඳි පුළුල් ප්‍රශ්න කිහිපයක් මහ කොමසාරිස් මොරගොඩ මැතිතුමා වෙත ඉදිරිපත් කළහ.IWPC හි සභාපති ෂෝබ්නා ජෙයින් මහත්මිය විසින් මෙම සැසිය මෙහෙයවන ලදි. ඉන්දියාවේ ප්‍රමුඛ පෙළේ පුවත්පත් සහ ප්‍රවෘත්ති වෙබ් අඩවි ගණනාවක් අද දින සිය පළ කිරීම්වල මෙම අන්තර් ක්‍රියාකාරකම පිළිබඳ තොරතුරු සඳහන් කොට ඇත.

1994 වර්ෂයේ දී ආරම්භ කරන ලද IWPC සංවිධානය ඉන්දියාවේ ප්‍රමුඛතම මාධ්‍යවේදීන්ගේ සංවිධානයක් වන අතර, එහි කාන්තා මාධ්‍යවේදිනියන් 900 දෙනෙකු පමණ සාමාජිකත්වය දරයි.

මහ කොමසාරිස් මොරගොඩ මැතිතුමා මින් පෙර, IAAN ජනසන්නිවේදන පාසලේ සිසුන් සමඟ ඉන්දු-ලංකා සබඳතා පිළිබඳව සිය අදහස් හුවමාරු කරගත්තේය. ඒ ඉන්දියාවේ 75 වැනි නිදහස් සංවත්සරයට සමගාමීවය.  මෑතක දී ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය තුළදී විවෘත කරන ලද මහ කොමසාරිස්වරුන්ගේ ගැලරියේදී මෙම අන්තර් ක්‍රියාකාරකම පැවැත්විණි.

අවිධිමත් ප්‍රශ්නෝත්තර සැසියක් සමඟින් සිසුන් සමඟ සම්බන්ධ වූ මහ කොමසාරිස් මොරගොඩ මැතිතුමා,ඉන් අනතුරුව ඉන්දු-ලංකා සබඳතා පිළිබඳව අවධානය යොමු වූ විධිමත් සම්මුඛ සාකච්ඡාවකට සහභාගී විය.

IAAN ජනසන්නිවේදන පාසලේ සිසුන් ඉන්දියාවේ 75 වැනි නිදහසේ සංවත්සරය නිමිත්තෙන් ‘විදේශ සබඳතා’ නමින් පළ කෙරෙන විශේෂ ශ්‍රව්‍ය දෘශ්‍ය කෘතියක් සඳහා මහ කොමසාරිස්වරයා සමඟ සම්මුඛ සාකච්ඡාවක් පැවැත්වීය.

IAAN ජන සන්නිවේදන පාසල නවදිල්ලියේ පිහිටි ප්‍රමුඛතම මාධ්‍ය විද්‍යාලයකි. එය පරිපාලනය කරනු ලබන්නේ ජනමාධ්‍යවේදය සහ සන්නිවේදනය පිළිබඳ මැකාන්ලාල් චතුර්වේදි ජාතික විශ්වවිද්‍යාලය යටතේ වන අතර, එය ජනමාධ්‍යවේදය වෙනුවෙන් ඉන්දියානු රජය විසින් පිහිටුවන ලද පැරණිතම විශ්වවිද්‍යාල අතරින් එකක් වේ.

ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය

නවදිල්ලිය

2022 සැප්තැම්බර් 22 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close