2022 ජාත්‍යන්තර තේ දිනය සැමරීම සහ දකුණු අප්‍රිකාවේ ලංකා තේ ප්‍රවර්ධනය

2019 වර්ෂයේ දී එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් තේ ආශ්‍රිතව පවත්නා දීර්ඝ ඉතිහාසය සහ එහි ගැඹුරු සංස්කෘතික හා ආර්ථික වැදගත්කම පිළිබඳව දැනුවත් කිරීම නිමිති කරගනිමින් ආරම්භ කළ ලෝක ආහාර ප්‍රදර්ශනය මැයි මස 21 වන දින දකුණු අප්‍රිකාවේදී පැවති අතර එහි දී දකුණු අප්‍රිකාවේ ප්‍රිටෝරියා හි පිහිටි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය විසින් 2022 ජාත්‍යන්තර තේ දිනය සමරනු ලැබීය. තිරසාර තේ නිෂ්පාදනයට සහ පරිභෝජනයට හිතකර ක්‍රියාකාරකම් ක්‍රියාත්මක කිරීම සඳහා සාමූහික ක්‍රියාමාර්ග ප්‍රවර්ධනය කිරීම සහ දිරිගැන්වීම මෙන්ම කුසගින්න සහ දරිද්‍රතාවයට එරෙහිව සටන් කිරීමේදී එහි වැදගත්කම පිළිබඳව දැනුවත් කිරීම කෙරෙහි මෙම වසරේදී අවධානය යොමු කෙරිණි.

සිංගප්පූරුව, දකුණු කොරියාව, පිලිපීනය, ඉරානය, ඉන්දුනීසියාව, බ්‍රසීලය, දකුණු අප්‍රිකාව සහ ශ්‍රී ලංකාව යනාදී රටවල් අටක ආහාර සහ සංස්කෘතිය විදහා දැක්වෙන ජාත්‍යන්තර ප්‍රදර්ශනයක අංගයක් ලෙස මහ කොමසාරිස් කාර්යාලය විසින් මෙම වැඩසටහන ඉදිරිපත් කරන ලදි.  මෙම උත්සවය 2022 මැයි මස 30 සිට ජුනි මස 3 වන දින දක්වා දකුණු අප්‍රිකාවේ ප්‍රිටෝරියා හි  පිහිටි කොරියානු සංස්කෘතික මධ්‍යස්ථානයේදී පැවැත්විණි.

සතියක් මුළුල්ලේ පැවති මෙම ප්‍රදර්ශනයේ දී ශ්‍රී ලංකා ප්‍රදර්ශන කුටිය ලංකා තේ ප්‍රභේද, ශ්‍රී ලංකා තේවල පවත්නා ගෝලීය මට්ටමේ ගුණාත්මකභාවය, තේ පිළියෙළ කිරීම සහ තේ පානයෙන් ලැබෙන සෞඛ්‍ය ප්‍රතිලාභ පිළිබඳ තොරතුරු සමඟින් අපනයන ගුණාත්මක ආකර්ෂණීය ඇසුරුම්වලින් ලංකා තේ ප්‍රදර්ශනය කළේය. මෙහිදී මහ කොමසාරිස් කාර්යාලීය කාර්ය මණ්ඩලය විසින් පිළියෙළ කරන ලද ශ්‍රී ලාංකීය සාම්ප්‍රදායික කෙටි ආහාර සමඟින් උණුසුම් ලංකා තේ නරඹන්නන් වෙත පිරිනැමිණි. ශ්‍රී ලංකා තේ මණ්ඩලය සහ දකුණු අප්‍රිකාවේ බැසිලර් තේ නිෂ්පාදනායතනය තේ සාම්පල සහ තොරතුරු පත්‍රිකා සමඟින් මෙම වැඩසටහන සඳහා සහාය දැක්වීය.

රටවල් අටක් සහභාගී වූ මෙම ප්‍රදර්ශනයේ ජාත්‍යන්තර මට්ටමේ ආහාර සැකසීම සහ වාර්තාමය චිත්‍රපට අංගයන් පැවත්වෙන අවස්ථාවේදී ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය මඟින් ලංකා තේ සහ කෙටි ආහාර පිළියෙළ කිරීම පිළිබඳ ඉදිරිපත් කිරීමක් සූදානම් කෙරුණු අතර ලංකා තේ, ශ්‍රී ලාංකීය සංස්කෘතිය සහ සංචාරක ආකර්ෂණීය ස්ථාන මෙන්ම ශ්‍රී ලාංකීය ආහාර සැකසීම පිළිබඳ වාර්තාමය චිත්‍රපට ප්‍රදර්ශනය කෙරිණි. ශ්‍රී ලංකා තේ මණ්ඩලය සහ දකුණු අප්‍රිකාවේ බැසිලර් තේ ආයතනය විසින් මෙම වාර්තා චිත්‍රපට ඉදිරිපත් කරන ලද අතර ඒවා රැස්ව සිටි පිරිසගේ ඉහළ පිළිගැනීමට ලක්විය. 2022 ජාත්‍යන්තර තේ දිනය පිළිබඳව අවධාරණය කිරීම සඳහා ශ්‍රී ලංකා තේ මණ්ඩලය විසින් සකස් කරන ලද වාර්තාමය වැඩසටහනක් මීට ඇතුළත් විය.

රාජ්‍ය තාන්ත්‍රිකයින්, රාජ්‍ය නිලධාරීන්, ව්‍යාපාරික ප්‍රමුඛයින් මෙන්ම දකුණු අප්‍රිකානු ප්‍රජාව සහ දකුණු අප්‍රිකාවේ උතුරු කලාපයේ ජාත්‍යන්තර නේවාසික ප්‍රජාව ඇතුළුව විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ. මෙහිදී විවිධ රසයන්ගෙන් යුත් ලංකා තේ රස විඳීමට අවස්ථාව ලබා දීම පිළිබඳව දකුණු අප්‍රිකාවේ රෝයල් ප්‍රින්සස් නෙට්වර්ක් සංවිධානය ශ්‍රී ලංකා ප්‍රදර්ශන කුටිය වෙත සිය විශේෂ ප්‍රශංසාව පළ කළේය.

ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය

ප්‍රිටෝරියා

2022 ජූනි 10 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close