ශ්‍රී ලංකාව තුළ වර්තමානයේ ක්‍රියාත්මක කෙරෙන මුලපිරීම් පිළිබඳව විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මැතිතුමා රාජ්‍යතාන්ත්‍රික ප්‍රජාව දැනුම්වත් කරයි

ශ්‍රී ලංකාව තුළ වර්තමානයේ ක්‍රියාත්මක කෙරෙන මුලපිරීම් පිළිබඳව විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මැතිතුමා රාජ්‍යතාන්ත්‍රික ප්‍රජාව දැනුම්වත් කරයි

විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මැතිතුමා 2022 ජනවාරි 26 වැනි දින විදේශ අමාත්‍යංශ ශ්‍රවණාගාරයේ දී නව වසර සඳහා වන ප්‍රථම රාජ්‍යතාන්ත්‍රික හමුව අතරතුර දී රාජ්‍යතාන්ත්‍රික ප්‍රජාව ඇමතී ය.

වත්මන් ප්‍රගතිය පිළිබඳව අදහස් හුවමාරු කරගැනීම සඳහා අමාත්‍යංශය විසින් සංවිධානය කරනු ලබන නිරන්තර දැනුම්වත් කිරීම් අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම සඳහා, සමස්ත රාජ්‍යතාන්ත්‍රික ප්‍රජාව හමුවීමට තමන්ට අවස්ථාවක් උදා වීම, මෙම හමුව ආරම්භයේ දී විදේශ අමාත්‍ය පීරිස් මැතිතුමන්ගේ ඇගයීමට ලක් විය. පෙබරවාරි මස අවසන් සතියේ ආරම්භ වන මානව හිමිකම් කවුන්සිලයේ 49 වැනි සැසිවාරයට ප්‍රථම, අඛණ්ඩ ක්‍රියාකරකම්වල නිරත වීමේ අංගයක් වශයෙන් මානව හිමිකම් සහ ප්‍රතිසන්ධානයට අදාළ ප්‍රගතිය පිළිබඳ තොරතුරු හුවමාරු කරගැනීම, මෙම හමුවේ අරමුණ විය.

මානව හිමිකම් ප්‍රවර්ධනය සහ ආරක්ෂා කිරීම, මානව හිමිකම් කවුන්සිලය ඇතුළු එක්සත් ජාතීන්ගේ සංවිධානය සමඟ අඛණ්ඩව කටයුතු කිරීමට ශ්‍රී ලංකාව තුළ ඇති කැපවීම යන කරුණු, 2021 වසරේ සැප්තැම්බර් මස පැවති මානව හිමිකම් කවුන්සිල සැසිවාරය හමුවේ තමන් යළිදු අවධාරණය කළ බව අමාත්‍යවරයා මෙහිදී සිහිපත් කළේ ය. මෙවැනි පසුබිමක් තුළ ජාත්‍යන්තර ප්‍රජාව සමඟ සහයෝගීතාවයෙන් සහ සංවාදශීලී ප්‍රවේශ ඔස්සේ සාධනීය ලෙස සම්බන්ධ වීම පිළිබඳව අමාත්‍යවරයා සඳහන් කළේ ය.

දේශීය ආයතනවල ක්‍රියාකාරිත්වය හේතුවෙන් වගවීම, ප්‍රතිස්ථාපන යුක්තිය සහ අර්ථාන්විත ප්‍රතිසන්ධානය යනා දී ප්‍රයත්න අරමුණු කරගනිමින් ශ්‍රී ලංකා රජය සැලකිය යුතු මට්ටමින් පියවර ගෙන ඇති බව සඳහන් කළ විදේශ අමාත්‍ය පීරිස් මැතිතුමා, එහි ප්‍රගතිය පිළිබඳව රාජ්‍යතාන්ත්‍රික ප්‍රජාව දැනුම්වත් කරන ලෙස මෙම ආයතනවල ප්‍රධානීන්ට ආරාධනා කළේ ය. ඒ අනුව, හානිපූර්ණය සඳහා වූ කාර්යාලයේ (OR) ධාරා විජයතිලක මහත්මිය, තිරසාර සංවර්ධන කවුන්සිලයේ (SDC) අධ්‍යක්ෂ ජනරාල් චමින්ද්‍රි සපරමාදු මහත්මිය, ජාතික සමගිය සහ ප්‍රතිසන්ධාන කාර්යාලයේ (ONUR) අධ්‍යක්ෂ ජනරාල් දීප්ති ළමාහේවා මහතා, අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලයේ (OMP) ආරක්ෂණ හා නීති අංශයේ ප්‍රධානී ජේ.තට්පරන් මහතා, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ පර්යේෂණ හා අධීක්ෂණ අධ්‍යක්ෂ නිහාල් චන්ද්‍රසිරි මහතා (HRCSL) විසින් පසුගිය වසර තුළ දේශීය ආයතන විසින් ලබා ඇති ප්‍රගතිය පිළිබඳ ඉදිරිපත් කිරීම් සිදු කරන ලදී.

ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත ජාත්‍යන්තර සම්මතයන්ට සහ වඩාත් හොඳම භාවිතයන්ට අනුකූලව සකස් කිරීමේ අරමුණින්, වසර 43 කට පසුව සංශෝධනය කෙරෙන බව අමාත්‍යවරයා සතුටින් දන්වා සිටියේ ය. යෝජිත සංශෝධන ඇතුළත් පනත් කෙටුම්පත ගැසට් කිරීමටත්, ඉන් අනතුරුව අවසන් අනුමැතිය සඳහා එම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් කැබිනට් අනුමැතිය හිමිව ඇති බව එතුමා දන්වා සිටියේ ය. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත මෙලෙස සංශෝධනය කෙරෙන්නේ මාස කිහිපයක් මුළුල්ලේ පවත්වන ලද දීර්ඝ සාකච්ඡාවලින් අනතුරුව බව අමාත්‍යවරයා පැහැදිලි කළේ ය.

ඒ අනුව, රැඳවුම් නියෝග, සීමා කිරීමේ නියෝග, නියෝග පිළිබඳ අධිකරණ සමාලෝචන කඩිනම් ලෙස පිළිගැනීම, දීර්ඝ කාලීනව රඳවා තබා ගැනීම වැළැක්වීම සඳහා චෝදනා ලැබූවන්ගේ නඩු කඩිනමින් විසඳා අවසන් කිරීම, අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසට බාධා වන වගන්ති අවලංගු කිරීම, මහේස්ත්‍රාත්වරුන් සහ අධිකරණ වෛද්‍ය නිලධාරීන්ගේ ප්‍රවේශය පිළිබඳ විධිවිධාන හඳුන්වා දීම, රැඳවුම් කාලය තුළ හිංසනයන් සහ වධහිංසා පැමිණවීම වැළැක්වීම, පවුලේ අය සමඟ අදහස් හුවමාරු කිරීමේ අයිතිය, දිගුකාලීන රැඳවියන්ට ඇප ලබාදීම සහ එදිනෙදා නඩු විභාග කිරීම යනාදී පරිච්ඡේද සම්බන්ධයෙන් වන සුවිශේෂී සංශෝධන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ සංශෝධනවලට ඇතුළත් වන බව එතුමා සඳහන් කළේ ය.

දීර්ඝ කාලීන රැඳවියන් සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යවරයාට උපදෙස් දීම සඳහා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ 13 වැනි වගන්තිය යටතේ උපදේශක මණ්ඩලයක් පිහිටුවීම පිළිබඳව ද අමාත්‍යවරයා සඳහන් කළේ ය. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රැඳවුම් නියෝගයක් හෝ සීමා කිරීමේ නියෝගයක් ලබා ඇති ඕනෑම පුද්ගලයෙකුට එම නියෝගය සමාලෝචනය කිරීම සඳහා ඉල්ලීමක් යොමු කිරීමට අවස්ථාවක් ලබා දී ඇත. මීට අමතරව, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ සිරදඬුවම් විඳිමින් සිටි එල්.ටී.ටී.ඊ. සාමාජිකයින් 16 දෙනෙකුට 2021 වසරේ ජූනි මාසයේ දී ජනාධිපති සමාව හිමි වූ අතර, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතට අදාළ චෝදනා යටතේ දීර්ඝ කාලයක් අධිකරණ අත්අඩංගුවේ පසුවන රැඳවියන් නිදහස් කිරීමට නීතිමය හා පරිපාලන ක්‍රියාවලියක් ආරම්භ කෙරිණි. ඒ අනුව, 2022 වසරේ ජනවාරි 13 වැනි දින වන විට තවත් පුද්ගලයින් 13 දෙනෙකු නිදහස් කරන ලදී.

හිජාස් හිස්බුල්ලා මහතාගේ නඩු කටයුතු සම්බන්ධයෙන් මෑතකාලීනව ලබා ඇති ප්‍රගතිය පිළිබඳව සඳහන් කළ විදේශ අමාත්‍යවරයා, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ නීතිපතිවරයා විසින් නඩුවක් පවරා ඇති බව පැවසී ය. විත්තිකරුට ඇප ලබාදීමට තමන් විරුද්ධ නොවන බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට දැනුම් දී ඇත. පුරාවිද්‍යාත්මක උරුම කළමනාකරණය පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකාය සඳහා දමිළ සහ මුස්ලිම් ප්‍රජාව නියෝජනය කරන පිරිස් ද ඇතුළත් කර ඇති බව අමාත්‍යවරයා දන්වා සිටියේ ය.

නැගෙනහිර, දකුණු සහ මධ්‍යම යන පළාත්වල තමන් සිදුකළ සංචාර පිළිබඳව සඳහන් කළ විදේශ අමාත්‍යවරයා, දේශපාලනඥයන්, රාජ්‍ය නිලධාරීන්, බුද්ධිමතුන්, විද්වතුන්, බිම් මට්ටමේ සිවිල් සංවිධානවල නියෝජිතයන් ඇතුළු විවිධ පාර්ශ්වකරුවන් හමුවී සාකච්ඡා පවත්වා තිරසාර සංවර්ධන ඉලක්ක සපුරා ගැනීම සඳහා රජය දැනටමත් ගෙන ඇති විවිධ ක්‍රියාමාර්ග සහ මානව හිමිකම් සහ ප්‍රතිසන්ධාන ප්‍රයත්නයන් පිළිබඳව ඔවුන්ගේ ප්‍රතිචාර ලබා ගැනීමේ අරමුණින් ඉදිරියේ දී උතුරු පළාත තුළ සිදු කිරීමට නියමිත සංචාරය පිළිබඳව ද සිය දූත මණ්ඩල ප්‍රධානීන් දැනුම්වත් කළේ ය.

සංක්‍රාන්ති යුක්තිය, තිරසාර සංවර්ධන ඉලක්ක සාක්ෂාත් කරගැනීම සහ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සංශෝධන කිරීම යනාදී ක්ෂේත්‍ර සම්බන්ධයෙන් අදාළ ජාතික ආයතන විසින් ඉටු කරන ලද කාර්යභාරය එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක හනා සිංගර්- හම්ඩි මහත්මියගේ ඇගයීමට ලක් විය. මානව හිමිකම් සහ සංහිඳියාව ප්‍රවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකාව සමඟ එක්ව කටයුතු කරන ජාත්‍යන්තර ප්‍රජාවේ සුවිශේෂීත්වය පෙන්වා දුන් ඊජිප්තු තානාපති මගේඩ් මොස්ලේ මැතිතුමා, ත්‍රස්තවාදයට එරෙහිව සටන් කිරීම මෙන්ම ත්‍රස්තවාදය නිම වූ පසුබිමක් යටතේ ශ්‍රී ලංකාව ලබා ඇති විශිෂ්ට ජයග්‍රහණ නිරීක්ෂණය කළේ ය.

විදේශ අමාත්‍යංශය

කොළඹ

2022 ජනවාරි 27 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close