එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ගරු මයිකල් පොම්පියෝ මහතා සමඟ පැවති ඒකාබද්ධ පුවත්පත් සාකච්ඡාවේදී විදේශ අමාත්‍ය ගරු දිනේෂ් ගුණවර්ධන මහතා සිදුකළ පුවත්පත් ප්‍රකාශය

එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ගරු මයිකල් පොම්පියෝ මහතා සමඟ පැවති ඒකාබද්ධ පුවත්පත් සාකච්ඡාවේදී විදේශ අමාත්‍ය ගරු දිනේෂ් ගුණවර්ධන මහතා සිදුකළ පුවත්පත් ප්‍රකාශය

රාජ්‍ය ලේකම් ගරු මයිකල් පොම්පියෝ මැතිතුමනි,

රාජ්‍ය අමාත්‍ය ගරු තාරක බාලසූරිය මැතිතුමනි,

තානාපතිතුමියනි,

නියෝජිත කණ්ඩායම් සාමාජිකයිනි,

 

ලේකම්තුමනි, කාර්යබහුල කාලසටහනක් තිබියදී ශ්‍රී ලංකාවට සපැමිණි ඔබ තුමා සහ ඔබතුමාගේ නියෝජිත කණ්ඩායම උණුසුම් ලෙස පිළිගනිමි.

හෙට, එනම් 2020 ඔක්තෝබර් 29 වැනි දින එවක ලංකාව හා ඇමෙරිකා එක්සත් ජනපදය අතර රාජ්‍යතන්ත්‍රික සබඳතා ස්ථාපනය කිරීමේ 72 වැනි සංවත්සරය සනිටුහන් කරන අතර එය සුවිශේෂී සන්ධිස්ථානයක් වෙයි.

ලේකම්තුමනි, සත්‍ය වශයෙන්ම මෙම දිනය හා අප සමඟ කාලය ගත කිරීමට නිරත වූ මෙම සංචාරය ඉතා වැදගත් වෙයි.

දශක හතකට අධික කාලයක් මුළුල්ලේ, අප දෙරට, දෙරටටම පොදු වූ ප්‍රජාතන්ත්‍රවාදී සාරධර්ම හා විවෘත ආර්ථික හැඩගැස්ම මත පදනම් වූ ශක්තිමත් සබඳතාවක් පෝෂණය කොට තිබේ. අප දෙරටේ ජනතාව අතර ඇති සබඳතා, රාජ්‍යතන්ත්‍රික සබඳතා නිල වශයෙන් ඇති කරගැනීමටත් පෙර එනම් 1880 මැදභාගය දක්වා වූ අතීතයකට දිව යයි. මෙම සබඳතාව, සමුද්‍රීය කටයුතු ඇතුළුව දේශපාලන, ආර්ථික, අධ්‍යාපන, සංස්කෘතික හා ආරක්ෂක ක්ෂේත්‍ර ආවරණය කරමින් බහු අංශික සබඳතාවක් බවට වසර ගණනාවක් පුරා  සුවිශේෂී ලෙස පරිණත වී තිබේ. දෙරට අතර පුද්ගලාන්තර සබඳතාද මේ හා සමානව වැදගත් වේ.

මෙම සන්දර්භය හමුවේ, එක්සත් ජනපදයේ සිට ශ්‍රී ලංකාවට සපැමිණි මාගේ ගෞරවනීය සගයා වන ගරු මයිකල් පොම්පියෝ මැතිතුමා උණුසුම් ලෙස හා සුහදශීලි ලෙස පිළිගන්නා අතර එතුමා පිළිගැනීමට ලැබීම මට මහත් සතුටක් ගෙන දෙන්නෙකි. කොවිඩ්-19 වසංගතය හේතුවෙන් පැන නැගී ඇති බරපතල අභියෝග නොතකා ඔබතුමාගේ කාලය කැප කරමින් සහ ඔබ තුළ පවත්නා තීක්ෂණ දර්ශනය බෙදාහදා ගනිමින් සංචාරයක නියැලීමට ශ්‍රී ලංකාව තෝරා ගැනීම විශේෂයෙන් හද උණුසුම් කරවන සුළුය.

අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සමඟ පවත්වන පුළුල් පරාසයකින් යුතු සාකච්ඡා සහ අපගේම සාකච්ඡා මෙම වසරේ පසුගිය මාස කිහිපය මුළුල්ලේ ශ්‍රී ලාංකික නායකයින් සමඟ ඇමෙරිකානු ප්‍රධාන මැදිහත් පාර්ශ්වයන් පවත්වා ඇති සංවාදවලට නව ජීවයක් ලබා දී තිබේ.

ලේකම්තුමනි, ඔබ ශ්‍රී ලංකාවට පැමිණ ඇත්තේ ඓතිහාසික මොහොතකය. අපගේ ජීවිත: ජීවනෝපායන් හා ජීවන ක්‍රම කෙරෙහි සිතාගත නොහැකි තරමින් බලපෑම් එල්ල කරමින් සිටින කොවිඩ්-19 වසංගතය සමඟ ලොව පොරබදිමින් සිටියි. 1930 ගණන්වලදී, ජෝන් හොප්කින්ස් විශ්වවිද්‍යාලය, එවකට ලංකාවේ මහජන හා ප්‍රජා සෞඛ්‍ය පද්ධතිය සංවර්ධනය කිරීම සදහා අධ්‍යයනය ආරම්භ කරන ලද අතර එය ශ්‍රී ලංකාවේ සාර්ථක සෞඛ්‍ය පද්ධතියට දායක විය. නිව් ජර්සිහි බිහි වූ, බෞද්ධ පරම විඥානාර්ථවාදියකු හා අධ්‍යාපනඥයෙකු වූ කර්නල් හෙන්රි ස්ටිල් ඕල්කට් තුමා වැනි ශ්‍රේෂ්ඨ ඇමරිකානු ජාතිකයෝ, රටේ බුද්ධාගමේ හා අධ්‍යාපනයේ දියුණුව තකා ඉමහත් දායකත්වයක් ලබා දුන්හ.

ලේකම්තුමනි, වසර 90කට ආසන්න කාලයක් පුරා සර්වජන ඡන්ද බලය භුක්ති විඳ ඇති පුරවැසියන් සිටින ආසියාවේ පැරණිතම ප්‍රජාතන්ත්‍රවාදී රට ශ්‍රී ලංකාවයි. වඩාත් ක්‍රියාශීලී දෘෂ්ඨි කෝණයකින් බලන කළ, ජනාධිපතිවරණය හා පාර්ලිමේන්තු මැතිවරණ යන ප්‍රධාන මැතිවරණ ක්‍රියාවලි දෙක තුළින් ශ්‍රී ලංකාවේ ජනතාව ඔවුන් නිදහසේ කළ තේරීම ප්‍රභල ලෙස ප්‍රකාශ කිරීමත් සමඟම ප්‍රජාතන්ත්‍රික ආකල්ප හා පරිචය ශක්තිමත්ව පවතින අවධියකදීය. එක් දේශයක්, ස්වෛරීභාවය, භෞමික අඛණ්ඩතාව, ජාතික ආරක්ෂාව හා ආර්ථික ප්‍රගතිය, ආරක්ෂා කිරීම සදහා ජනතාව ලබා දුන් වරම මෙම මැතිවරණ මගින් පිළිබිඹු කරයි. ස්ථාවර, ආරක්ෂිත රටක් සහ ආර්ථික දියුණුවක් සඳහා අපගේ ඉදිරි ගමනට එක්විමට විශේෂයෙන් එක්සත් ජනපදයට පැහැදිලි ඉඩ ප්‍රස්ථාවක් ලබා දෙයි.

කෘෂිකර්මය, පරිසරය හා ස්වාභාවික සම්පත් සෞඛ්‍යය, අධ්‍යාපනය, ව්‍යාපාර සංවර්ධනය, වෙළද සහ මානුෂීය සහාය ඇතුළුව, පුළුල් පරාසයක ක්ෂේත්‍ර සම්බන්ධයෙන් ඇ.ඩො.බිලියන 2කකට අධික වටිනාකමක් ඇති සංවර්ධන සහය ලබා දෙමින් එක්සත් ජනපදය ශ්‍රී ලංකාවේ ප්‍රධාන සංවර්ධන පාර්ශ්වකරුවෙකු වෙයි.

2019 වසරේදී ඇ.ඩො.බිලියන 3.1ක අපනයන සිදු කිරීමත් සමඟ එක්සත් ජනපදය ශ්‍රී ලංකාවේ විශාලතම තනි වෙළඳපොළ ලෙස පැවතුන අතර කොවිඩ්-19 ආශ්‍රිතව වෙළඳපොළ පසුබෑමේ වර්තමාන සන්දර්භය තුළ පවා,  මෙම වසරේ පළමු භාගයේදී ඇ.ඩො.බිලියන 1.1ක් වටිනා අපනයන සිදුකරමින් සමාන තත්ත්වයක පසු වෙයි.

දුෂ්කර අවස්ථාවලදී ශ්‍රී ලංකාවේ මිතු‌රෙකු හා සහය ලබාදෙන්නෙකු වශයෙන් එක්සත් ජනපදය සිටින අතර, ඔබ දක්වන සහයට අපි බෙහෙවින් කෘතඥ වෙමු. 2004 වසරේදී ඇති වූ ආසියානු සුනාමියෙන් පසුව එක්සත් ජනපදය ශ්‍රී ලංකාවට ලබා දුන් සහය සුවිශේෂී වෙයි. හිටපු ජනාධිපති (ජ්‍යෙෂ්ඨ) ජෝර්ජ් බුෂ් සහ හිටපු ජනාධිපති බිල් ක්ලින්ටන් මැතිතුමන්ලාගේ සංචාර; 2019 අප්‍රියෙල් මස පාස්කු ඉරු දින එල්ලවූ ත්‍රස්ත ප්‍රහාර වලින් පසුව, සහ කොවිඩ්-19 බලපෑම අඩුකිරිම සඳහා ඉතා මෑතකදී ලබා දුන් සහය මට සිහිපත් වෙයි. 9/11 ප්‍රහාරවලට පෙර සිට මේ දක්වා එල්ටී.ටී. ඊ. ත්‍රස්ථ සංවිධානය තහනම් කිරීම වෙනුවෙන් මාගේ අවංක ස්තූතිය හා ප්‍රශංසාව යළිත් වතාවක් පුද කරමි.

අතිගරු ජනාධිපතිතුමා එක්සත් ජනපදයේ ප්‍රධාන මැදිහත් පාර්ශ්ව සමඟ පැවති අන්‍යෝන්‍ය ප්‍රවේශය සහ මා සහ ලේකම් පොම්පියෝ මැතිතුමා අතර සිදුකරන ලද අන්තර්ජාල සංවාදය ඉදිරියට ගෙන යාමක් අද දින පැවැත්වෙන සාකච්ඡාවලින් නියෝජනය වෙයි. එකිනෙකාගේ ප්‍රමුඛතා අවබෝධකර ගැනීමට, සත්‍ය අවබෝධ කරගැනීමට ඇති හැකියාව බෙදා හදාගැනීමට සහ සහයෝගීතාවය සඳහා එකඟ වූ ක්ෂේත්‍ර සම්බන්ධයෙන් ද්විපාර්ශ්වික කටයුතු තවදුරටත් වැඩි දියුණු කිරීමේ විධික්‍රම සලකා බැලීමට දෙපාර්ශවයටම මෙය ඉඩප්‍රස්ථාවක් වී තිබේ.

අපගේ ද්විපාර්ශ්වික කටයුතු වඩාත් ශක්තිමත් කිරීම සඳහා, එක්සත් ජනපද - ශ්‍රී ලංකා හවුල්කාරිත්ව සංවාදයේ මීළග සැසිය 2021 මුල්භාගයේ කැඳවීමටත්, ආර්ථික, ආරක්ෂක හා පර්යේෂණ ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක් සම්බන්ධයෙන් ප්‍රගතියක් ලබා ගැනීමටත් අපි එකඟ වී තිබේ. වෙළඳ හා ආයෝජන රාමු ගිවිසුමේ (TIFA) ඒකාබද්ධ කවුන්සිලයේ මීළග සැසිවාරය ද හැකි ඉක්මනින් කැඳවිය හැකි කාල රාමුවක දී කැඳවීමට නියමිතය.

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය, සයිබර් ආරක්ෂාව, කෘෂිකර්මය, විද්‍යාව, තාක්ෂණය සහ නවෝත්පාදන, වෙළඳ, ආයෝජන,  ව්‍යාපාර හා දේශගුණික විපර්යාස  වැනි ක්ෂේත්‍රයන්හි අපගේ ද්විපාර්ශ්වික කටයුතු පුළුල් කිරීම සදහා වූ ඉඩප්‍රස්ථාවක්  ලෙසද සලකනු ලැබීය.

ස්වෛරී, නිදහස්, ස්වාධීන රටක් වන ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය මධ්‍යස්ථ, නොබැඳි හා මිත්‍රශීලි ප්‍රතිපත්තියකි. අපරට උපායමාර්ගික වශයෙන් වැදගත් ස්ථානයක පිහිටා තිබීම නිසා ලැබී ඇති ඉඩප්‍රස්ථා සහ වගකීම් පිළිබඳව සවිඥානක වෙමින්, යාත්‍රණ හා ගුවන් අවකාශ නිදහස පවත්වාගැනීමේ හා සන්නිවේදන හා මුහුදු කේබල මාර්ග ආරක්ෂා කිරීමේ වැදගත්කම අපි දකිමු. සාගර නීතිය පිළිබඳ එක්සත් ජාතින්ගේ සම්මුතිය (UNCLOS) ඇතුළු ජාත්‍යන්තර නීතිය සියළුම  රටවල් විසින් පිළිපැදිය යුතු හා ඊට ගරු කළ යුතු වන බවට අපි විශ්වාස කරමු.

ලේකම් පොම්පියෝ මැතිතුමාගේ සංචාරය හා සාකච්ඡා මගින් අපගේ උණුසුම් හා මිත්‍රශීලී සබඳතා තවදුරටත් ශක්තිමත් වී තිබෙන අතර, ලේකම් පොම්පියෝ මැතිතුමනි, ඔබට යළිත් වතාවක් මාගේ කෘතඥපූර්වක ස්තූතිය පිරිනමමි.

අවසාන වශයෙන්, ලේකම් පොම්පියෝ මැතිතුමා සහ එතුමා සමඟ මෙම සංචාරයට එක්වී ඇති පොම්පියෝ මැතිණියට  ශ්‍රී ලංකාවේ ගත කරන කාලය ඉතා සතුටින් ගත කිරීමට ලැබේවා යැයි ද මීළග දින කීපයේදී  ආසියාවේ නියැලෙන සංචාරය සුරක්ෂිත හා ඵලදායි සංචාරයක් වේවා යැයි ද සුබ පතමි.

ශ්‍රී ලංකාවේ ජනතාව වෙනුවෙන් ඔබතුමාට ආයුබෝවන් කියා පතමි.

රාජ්‍ය ලේකම් ගරු මයිකල් පොම්පියෝ මැතිතුමාට අවස්ථාව ලබා දෙන්නෙමි.

Print Friendly, PDF & Email
Please follow and like us:

Close