ආසියාන් කලාපීය සංසදයේ 31 වැනි අමාත්‍ය මණ්ඩල රැස්වීම ලාඕසයේ දී

ආසියාන් කලාපීය සංසදයේ 31 වැනි අමාත්‍ය මණ්ඩල රැස්වීම ලාඕසයේ දී

විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා 2024 ජූලි 26 වැනි දින සිට 27 වැනි දා දක්වා ලාඕ මහජන ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ වියාන්චන් නුවර පැවැත්වෙන ආසියාන් කලාපීය සංසදයේ 31 වැනි අමාත්‍ය මණ්ඩල රැස්වීමට සහභාගී වන ශ්‍රී ලාංකික නියෝජිත පිරිසට නායකත්වය ලබා දෙයි. ආසියාන් සංවිධානයේ වත්මන් සභාපති ලාඕ මහජන ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය විසින් මෙම රැස්වීමේ සත්කාරකත්වය දරනු ලබයි.

කලාපීය සහ ගෝලීය ආරක්ෂාව සම්බන්ධ කරුණු රාශියක් පිළිබඳව සාමාජික රටවල් සමඟ සුහදශීලී ලෙස අදහස් හුවමාරු කර ගැනීම සඳහා ආසියාන් කලාපීය සංසදය ශ්‍රී ලංකාවට එලදායී වේදිකාවක් ලෙස ක්‍රියාකරයි. ආසියාන් කලාපීය සංසදය සමඟ ශ්‍රී ලංකාවේ සම්බන්ධය 2007දී අග්නිදිග ආසියානු සහයෝගීතාව පිළිබඳ මිත්‍රත්ව ගිවිසුම අත්සන් කිරීම දක්වා දිව යයි.  1994දී තායිලන්තයේදී ආරම්භ කරන ලද ආසියාන් කලාපීය සංසදය, කලාපයේ පොදු උනන්දුවක් සහ සැලකිල්ලක් ඇති දේශපාලන හා ආරක්ෂක කරුණු පිළිබඳ සාධනීය සංවාදයක් ඇති කිරීමට යත්න දරන ආසියා-පැසිෆික් සංසදයකි.

සිය සංචාරයේදී රාජ්‍ය අමාත්‍ය බාලසූරිය මහතා ආසියාන් කලාපීය සංසදයේ සාමාජික නියෝජිත කණ්ඩායම්වල නායකයින් කිහිප දෙනෙකු සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිතය. ශ්‍රී ලංකාව, ආසියාන් සංවිධානයේ සහ නැගනහිර ආසියාවේ රටවල් සමඟ දීර්ඝ කාලීන, ඓතිහාසික සබඳතා වර්ධනය කර ගෙන තිබේ. රාජ්‍ය අමාත්‍යවරයාගේ ද්විපාර්ශ්වික සාකච්ඡා මඟින් එම රටවල් සමඟ ඇති සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමේ මං බැලෙනු ඇත.

විදේශ කටයුතු අමාත්‍යාංශය

කොළඹ

2024 ජූලි 25 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close