විදේශ කටයුතු අමාත්‍ය මාරපන මැතිතුමා, කළාපීය ආරක්ෂාවට ඇති තර්ජනවලට එරෙහිව සටන් වැදීම සඳහා සහයෝගිතාව වැඩිදියුණු කරන ලෙස 26 වැනි ආසියාන් කළාපීය සංසදයේ දී ඉල්ලයි

විදේශ කටයුතු අමාත්‍ය මාරපන මැතිතුමා, කළාපීය ආරක්ෂාවට ඇති තර්ජනවලට එරෙහිව සටන් වැදීම සඳහා සහයෝගිතාව වැඩිදියුණු කරන ලෙස 26 වැනි ආසියාන් කළාපීය සංසදයේ දී ඉල්ලයි

d3e58518-bd4e-4949-9c8b-6d5704d6f53a

විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන මැතිතුමා, 2019 අගෝස්තු 02 වැනි දින තායිලන්තයේ, බැංකොක් නුවර දී පැවති ආසියාන් කලාපීය සංසදයේ 26 වැනි සැසිය අමතමින්, ත්‍රස්තවාදය, දරුණු අන්තවාදය හා සයිබර් අපරාධ ඇතුළුව ආරක්ෂාව හා සම්බන්ධ සාම්ප්‍රදායික හා සාම්ප්‍රදායික නොවන අභියෝගවලට විරුද්ධව ක්‍රියා කිරීම සඳහා ඒකාබද්ධ ගෝලීය ප්‍රයත්නයන්ගේ ඇති අවශ්‍යතාවය පිළිබඳව අවධාරණය කළේය. මෙම සන්දර්භය හමුවේ, ආසියාන් කලාපීය සංසදයට සහභාගී වන රටවල් අතර මෙම අභියෝගයන් පරාජය කිරීම සඳහා ගැඹුරු අධිෂ්ඨානයක් ඇති කර ගැනීමේ අවශ්‍යතාවය පිළිබව ද මාරපන අමාත්‍යතුමා අවධාරණය කළේය.

ආසියාන් කලාපීය සංසදයේ 26 වැනි සැසියේ දී, විශ්වාසය ගොඩනැංවීමේ පියවර පුළුල් කිරීම සහ ත්‍රස්ත විරෝධී ප්‍රයත්නය, න්‍යෂ්ටික අවි සීමාකරන පාලන තන්ත්‍රය ශක්තිමත් කිරීම, නිවාරක රාජ්‍යතාන්ත්‍රිකභාවය, දරුණු අන්තවාදය පිටුදැකීම, කාන්තාවන්, සාමය හා ආරක්ෂාව ප්‍රවර්ධනය කිරීම සහ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණවල ආරක්ෂිත භාවිතය තහවුරු කිරීම වැනි ක්ෂේත්‍රවල සහයෝගීතාව ඉහළ නැංවීම පිළිබඳව අවධානය යොමු කරන ලදී.

තවද, ශ්‍රී ලංකාවට එල්ල වූ පාස්කු ඉරුදින ප්‍රහාර හා නවසීලන්තයේ හා පිලිපීනයේ මෑතක දී සිදු වූ ප්‍රචණ්ඩ ක්‍රියා ඇතුළු බහුවිධ ත්‍රස්ත ක්‍රියාවන් පිළිබඳව සභාව විසින් හෙළා දකින ලදී.

ත්‍රස්තවාදයේ තර්ජනයට එරෙහිව ක්‍රියා කිරීම සඳහා, එහි මූල හේතුවට පිළියම් යෙදිය යුතු බව සහ මෙම ප්‍රයත්නයේ දී ආසියාන් කලාපීය සංසදයට සහභාගී වන්නන් අතර සහයෝගීතාව වැඩි දියුණු කිරීමේ පරිපූර්ණ ප්‍රවේශයකට එළඹීමේ අවශ්‍යතාවය පිළිබඳව ද සභාව අවධාරණය කළේය. පොදුවේ උනන්දුවක් දක්වන කළාපීය හා අන්තර්ජාතික ගැටලුවලට අදාළ කරුණු පිළිබඳව ද අමාත්‍යවරු සාකච්ඡා මඟින් අදහස් හුවමාරු කර ගත්හ.

සැසියට සහභාගී වන අතරතුර දී අමාත්‍ය මාරපන මැතිතුමා, බංගලාදේශයේ විදේශ කටයුතු අමාත්‍ය ඒ.කේ. අබ්දුල් මොමන් මැතිතුමා, ඉන්දියාවේ විදේශ කටයුතු අමාත්‍ය එස්. ජායිශංකර් මැතිතුමා, නවසීලන්තයේ නියෝජ්‍ය අග්‍රාමාත්‍ය හා විදේශ කටයුතු අමාත්‍ය වින්ස්ටන් පීටර්ස් මැතිතුමා සහ යුරෝපා සංගමයේ විදේශ කටයුතු හා ආරක්ෂක ප්‍රතිපත්තිය පිළිබඳ උසස් නියෝජිත හා යුරෝපා කොමිසමේ උප සභාපතිනි ෆෙඩෙරිකා මොගරිනි මැතිනිය සමඟ ද 26 වැනි ආසියාන් කලාපීය සංසදයට සමගාමීව ද්විපාර්ශ්වික හමුවීම් පැවැත්වීය. මෙම රැස්වීම් මඟින්, වඩාත්ම අදාළවන වර්තමාන ද්විපාර්ශ්වික ගැටලු පිළිබඳව සාකච්ඡා කිරීමට අවස්ථාව සැලසුණු අතර, මෙම රටවල් සමඟ පවත්නා සබඳතා තවදුරටත් තහවුරු කර ගැනීමට මඟ හෙළි කළේය.

1994 වසරේ දී පිහිටුවන ලද ආසියාන් කලාපීය සංසදය සාමාජික රටවල් 27 කින් සමන්විතය. එය ඉන්දු-පැසිෆික් කළාපයේ ආරක්ෂක සංවාදය සඳහා වැදගත් වේදිකාවක් වන අතර, එමඟින් සාමාජිකයන් හට වර්තමාන ආරක්ෂක ගැටලු පිළිබඳව සාකච්ඡා කිරීමට හා කළාපයේ සාමය හා සුරක්ෂිතභාවය වැඩිදියුණු කිරීම සඳහා සහයෝගී ක්‍රියාමාර්ග ගැනීමට පසුබිමක් සපයයි. 2007 වසරේ දී සංසදයට එකතු වූ ශ්‍රී ලංකාව, ආසියාන් කලාපීය සංසදයට සහභාගී වන රටකි.

ආසියාන් කළාපය සමඟ කටයුතුවල නිරත වීමේ ඉහළ යමින් පවතින වැදගත්කම හමුවේ, ආසියාන් සංවිධානයේ ආංශික සංවාද හවුල්කරුවකු බවට පත්වීමට ශ්‍රී ලංකාව අපේක්ෂා කරන අතර, විදේශ කටයුතු අමාත්‍යාංශය මඟින් ඒ සඳහා අවශ්‍ය පියවර ගෙන ඇත.

විදේශ කටයුතු අමාත්‍යාංශය

කොළඹ.

2019 අගෝස්තු 02 වැනි දින

991be420-9096-49d3-9ec1-8d5fae208bbc

40ec97da-28cf-474a-a11e-8cb77c3961de

606f72c0-8f19-41cd-a98b-ec80fdb3b6f1

03072a6f-fca3-4f59-be4a-ed9f53de498a

Print Friendly, PDF & Email
Please follow and like us:

Close