යුරෝපා සංගම්- ශ්‍රී ලංකා ඒකාබද්ධ කොමිසමේ 25 වැනි සැසිවාරය

යුරෝපා සංගම්- ශ්‍රී ලංකා ඒකාබද්ධ කොමිසමේ 25 වැනි සැසිවාරය

ශ්‍රී ලංකාව සහ යුරෝපා සංගමය අතර ඒකාබද්ධ කොමිසමේ 25 වැනි සැසිවාරය 2023 මැයි 09 වැනි දින කොළඹ විදේශ කටයුතු අමාත්‍යාංශයේ දී පැවැත්වීමට නියමිත ය.

 ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් අරුණි විජේවර්ධන මහත්මිය සහ යුරෝපා සංගමයේ යුරෝපීය විදේශ ක්‍රියාකාරී සේවයේ ආසියානු සහ පැසිෆික් කලාපීය නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂ පඕලා පම්පාලොනී මහත්මිය විසින් මෙම රැස්වීමේ සම සභාපතිත්වය දරනු ලැබේ.

දෙපාර්ශ්වයම අන්‍යෝන්‍ය වශයෙන් උනන්දුවක් දක්වන පුළුල් පරාසයක ද්විපාර්ශ්වික සහ බහුපාර්ශ්වික ගැටළු මෙන්ම අනාගත සහයෝගීතාව සඳහා පවතින ක්ෂේත්‍ර පිළිබඳව ද මෙම ඒකාබද්ධ කොමිසම හරහා සාකච්ඡාවට බඳුන් වේ. ඒකාබද්ධ කොමිෂන් සභාව යටතේ පිහිටුවන ලද ක්‍රියාකාරී කණ්ඩායම් වන පාලනය, නීතියේ ආධිපත්‍යය සහ මානව හිමිකම් පිළිබඳ ක්‍රියාකාරී කණ්ඩායම, වෙළඳ සහ ආර්ථික සහයෝගීතාව පිළිබඳ ක්‍රියාකාරී කණ්ඩායම සහ සංවර්ධන සහයෝගීතාව පිළිබඳ ක්‍රියාකාරී කණ්ඩායම හරහා ලද ප්‍රතිඵල පිළිබඳව ද මෙම රැස්වීමේදී විස්තරාත්මකව සාකච්ඡා පැවැත්වීමට නියමිත ය. 2024 ජනවාරි 1 වැනි දින සිට ඉදිරි වසර 10ක කාලය සඳහා බලපැවැත්වෙන, 2024 - 2033 සඳහා සම්මත කිරීමට නියමිත යුරෝපා සංගමයේ ජීඑස්පී (GSP) රෙගුලාසියේ නව චක්‍රය පිළිබඳ තොරතුරු යුරෝපා සංගමයේ දූත පිරිස විසින් විස්තර කෙරෙනු ඇත.

 මුදල් අමාත්‍යංශය, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යංශය, අධිකරණ, බන්ධනාගාර කටයුතු සහ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යංශය, වෙළඳ, වාණිජ සහ ආහාර සුරක්ෂිතතා අමාත්‍යංශය, කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යංශය, අධ්‍යාපන අමාත්‍යංශය, පරිසර අමාත්‍යංශය, ආරක්‍ෂක අමාත්‍යංශය, ධීවර අමාත්‍යංශය, මහජන ආරක්ෂක අමාත්‍යංශය, නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍යංශය යන අමාත්‍යංශ සහ නීතිපති දෙපාර්තමේන්තුව මෙන්ම විදේශ කටයුතු අමාත්‍යාංශය නියෝජනය කරන ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක් ශ්‍රී ලංකා දූත පිරිස නියෝජනය කරනු ඇත.

ඒකාබද්ධ කොමිෂන් සභා රැස්වීමට අදාළව මින් පෙර පැවති සැසිවාරය 2022 වසරේ පෙබරවාරි මස බ්‍රසල්ස්හි දී පැවැත්විණි.

විදේශ කටයුතු අමාත්‍යංශය

කොළඹ

2023 මැයි 08 වැනි දින

 

Print Friendly, PDF & Email
Please follow and like us:

Close