
2025 වසරේදී ශ්‍රී ලංකාව සංචාරක පැමිණීම් සහ සංක්‍රමණික සේවක ප්‍රේෂණ අතින් ඓතිහාසික සන්ධිස්ථාන ගණනාවක් අත්කර ගැනීමට සමත් වූ බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යවරයා පෙරදින (2026 ජනවාරි 05) මාධ්‍ය වෙත දැනුම් දුන්නේය.
විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යවරයා මුලසුන දැරූ සහ විදේශ කටයුතු, විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍යවරයාත්, සංචාරක නියෝජ්‍ය අමාත්‍යවරයාත් සහභාගීව, විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේ පැවැත්වූ මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා විසින් මෙම තොරතුරු 2026 ජනවාරි 05 වැනි දින ඉදිරිපත් කරන ලදී. එසේම, මෙම මාධ්‍ය හමුවේදී 2025 වසරේ වාර්තා වූ ප්‍රධාන ජයග්‍රහණ සහ 2026 වසරේ උපායමාර්ගික ප්‍රමුඛතා ගෙනහැර දක්වන ලදී.
මාධ්‍ය අමතමින් අමාත්‍ය හේරත් ප්‍රකාශ කළේ 2025 වසරේදී ශ්‍රී ලංකාවේ රාජ්‍යතාන්ත්‍රික කටයුතු ද්විපාර්ශ්වික සහ බහුපාර්ශ්වික යන අංශ ද්විත්‍වය තුළම ආර්ථික, වෙළෙඳ සහ දේශපාලන අංශ හරහා කැපී පෙනෙන ලෙස ශක්තිමත් වූ බවයි. සංචාරක ව්‍යාපාරය සහ විදේශ රැකියා වසර තුළ රටේ වඩාත්ම වැදගත් ආදායම් උත්පාදන අංශ දෙකක් ලෙස ඉස්මතු වූ බව ඔහු අවධාරණය කළේය. 2025 වසරේදී සංචාරක පැමිණීම් 2,362,000 ක් වාර්තා කරමින් ඇමරිකානු ඩොලර් බිලියන 3.2 ක පමණ ආදායමක් උපයා ගැනීම සංචාරක අංශයේ ඓතිහාසික සන්ධිස්ථානයක් බවට අමාත්‍යවරයා ඉස්මතු කළේය. මෙය ශ්‍රී ලංකා ඉතිහාසයේ මෙතෙක් වාර්තා වූ ඉහළම සංචාරක පැමිණීම් සනිටුහන් කළ අතර එය පෙර වාර්තා අභිබවා ගියේය.
විදේශ රැකියා සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමාත්‍ය හේරත් සඳහන් කළේ, විධිමත් බැංකු මාර්ග හරහා ලැබුණු සංක්‍රමණික සේවක ප්‍රේෂණ 2025 වසරේදී ඇමරිකානු ඩොලර් බිලියන 7.8 ඉක්මවා ගිය බවත්, එය 2016 වසරේ සිට සේවක ප්‍රේෂණවල ඉහළම ගලා ඒම බවත්ය. මාසික ප්‍රේෂණ සාමාන්‍යයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 650 ත් 700 ත් අතර විය. වසර තුළ ශ්‍රී ලාංකිකයන් 312,000 කට ආසන්න සංඛ්‍යාවක් විදේශ රැකියා ලබා ගත් අතර, එය සංක්‍රමණික සේවකයින්ට, ඔවුන්ගේ පවුල්වලට සහ පුළුල් ආර්ථිකයට සුවිශේෂී සේවාවක් ලබා දුන් කාල පරිච්ඡේදයක් පිළිබිඹු කරයි. 2025 වසරේදී සංචාරක ව්‍යාපාරයෙන් සහ සේවක ප්‍රේෂණවලින් ලැබුණු ඒකාබද්ධ ඉපැයීම් දළ වශයෙන් ඇමරිකානු ඩොලර් බිලියන 11 ක් පමණ වූ අතර එය ජාතික ආර්ථිකයට සැලකිය යුතු ජයග්‍රහණයකි.
දිට්වා සුළි කුණාටුවෙන් පසු ශ්‍රී ලංකාව යථා තත්ත්වයට පත්කිරීමේ ක්‍රියාවලියේ දී විදේශ රජයන්ගෙන් සහ ආයතනවලින්, ජාත්‍යන්තර සංවර්ධන හවුල්කරුවන්ගෙන් සහ ශ්‍රී ලාංකික ඩයස්පෝරාවෙන් සහ ශ්‍රී ලංකාවේ මිත්‍රයන්ගෙන් මූල්‍ය, ද්‍රව්‍යමය සහ තාක්ෂණික සහය ලබා ගැනීමට ශක්තිමත් රාජ්‍යතාන්ත්‍රික ප්‍රයත්න හරහා රටට හැකි වූ බව ද අමාත්‍යවරයා සංක්ෂිප්තව ප්‍රකාශ කළේය.
මාධ්‍ය හමුව අමතමින් විදේශ කටයුතු සහ විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය ගරු අරුන් හේමචන්ද්‍ර මහතා, 2025 වසර, ශ්‍රී ලංකාවේ විදේශ රැකියා අංශයේ දශක හතරක ඉතිහාසය තුළ සුවිශේෂී සන්ධිස්ථානයක් ලෙස විස්තර කළ අතර එමඟින් ශ්‍රී ලංකාවේ ආර්ථිකයට සහ සමාජයට ලැබුණු දායකත්වය විස්තර කරන ලදී. ආදායම් උත්පාදනය, සේවා සැපයීම සහ සංක්‍රමණික සේවකයින් ආරක්ෂා කිරීම සඳහා විදේශයන්හි ශ්‍රී ලංකාවේ කොන්සියුලර් ජාලයේ කාර්යභාරයද ඔහු ඉස්මතු කළේය.
නියෝජ්‍ය අමාත්‍යවරයා, විදේශ රැකියා ක්‍රියාවලීන්හි දේශපාලන මැදිහත්වීම් වැළැක්වීම සහ විදේශ රැකියා අවස්ථා සඳහා සාධාරණ ප්‍රවේශයක් සහතික කිරීම සඳහා ක්‍රියාත්මක කරන ලද ප්‍රධාන ප්‍රතිසංස්කරණ පිළිබඳ අවධාරණය කළේය. රැකියා වංචා විසඳීම සහ විමර්ශන කඩිනම් කිරීම සඳහා 2025 වසරේදී පිහිට වූ විශේෂ පොලිස් විමර්ශන ඒකකය පිළිබඳවද ඔහු සඳහන් කළේය.
සංක්‍රමණික සේවක සුභසාධනය ශක්තිමත් කිරීම සඳහා වන පියවර පිළිබඳවද ඉස්මතු කරනු ලැබූ අතර, ඒ අතරට සංක්‍රමණික සේවක නිවාස යෝජනා ක්‍රමයක් දියත් කිරීම, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ (SLBFE) සහය ඇතිව රාජ්‍ය හා පෞද්ගලික අංශයේ බැංකු හරහා රුපියල් මිලියන 10 ක් දක්වා නිවාස ණය ලබා දීම ඇතුළත් වේ. ජනාධිපති අරමුදල සමඟ සහයෝගයෙන් ක්‍රියාත්මක කරන ලද සුභසාධන වැඩසටහනක්, WhatsApp, SMS ඒකාබද්ධ කිරීම සහ ඩිජිටල් උපකරණ පුවරු සහිතව සතියේ දින පහේම පැය 24 පුරාම ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ඇමතුම් මධ්‍යස්ථානයක් හඳුන්වාදීම සහ සංක්‍රමණික සේවක පහසුකම් සැපයීමේ ජංගම යෙදුමක් දියත් කිරීමට සැලසුම් කිරීම ඇතුළත් වේ. ජාත්‍යන්තර හොඳම භාවිතයන්ට අනුකූලව දැනට සකස් කර ඇති යෝජිත නව විදේශ රැකියා පනත පිළිබඳවද නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
රජය විසින් ශ්‍රී ලංකාවේ සංචාරක අංශය කොවිඩ් වසංගත තත්ත්වයට පෙර පැවැති මට්ටමටම සහ ඉන් ඉහළ මට්ටමක් දක්වා සාර්ථකව යථා තත්ත්වයට පත් කර ඇති බව සංචාරක නියෝජ්‍ය අමාත්‍ය ගරු මහාචාර්ය රුවන් රණසිංහ මහතා ප්‍රකාශ කළේය. දිට්වා සුළි කුණාටුවේ බලපෑම නොතකා, දෛනික සංචාරක පැමිණීම් 10,000 ත් 12,000 ත් අතර පැවැති බවත්, එමඟින් එම අංශයේ ඔරොත්තු දීමේ හැකියාව සහ ප්‍රතිසාධන පියවරවල ඵලදායීතාව පෙන්නුම් කරන බවත් ඔහු සඳහන් කළේය.
2025 වසරේදී ශ්‍රී ලංකාව මෙතෙක් වාර්තා කළ ඉහළම සංචාරක පැමිණීම් වාර්තා කළ බවත්, ඉන්දියාව, රුසියාව, ඇමරිකා එක්සත් ජනපදය, පෝලන්තය, ඔස්ට්‍රේලියාව සහ චීනය ඉහළම සචාරක වෙළෙඳපොළවල් අතර සිටින බවත්, එක්සත් රාජධානිය, ප්‍රංශය සහ ජර්මනිය යන රටවල් යුරෝපය තුළ කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කළ බවත් ඔහු තහවුරු කළේය.
වඩාත් ඔරොත්තු දෙන, තිරසර සහ සංචාරකයින්ට හිතකර සංචාරක අංශයක් සංවර්ධනය කිරීම අරමුණු කරගත් ඩිජිටල් අලෙවිකරණ උපාය මාර්ග වැඩිදියුණු කිරීම්, ගුවන්තොටුපළ පදනම් කරගත් ප්‍රවර්ධන වැඩසටහන් සඳහා මුලපිරීම්, විදේශ ආයෝජන වැඩි කිරීම් සහ ආයතනික ප්‍රතිසංස්කරණ ශක්තිමත් කිරීම් පිළිබඳව නියෝජ්‍ය අමාත්‍යවරයා ඉස්මතු කළේය. ප්‍රමුඛ සංචාරක ගමනාන්තයක් ලෙස සිය ගෝලීය තත්ත්වය ශක්තිමත් කරමින්, 2025 වසරේදී කීර්තිමත් ජාත්‍යන්තර සංචාරක සම්මාන කිහිපයක් ලබා ගැනීමට ද ශ්‍රී ලංකාව සමත් වී ඇත.
මෙම මාධ්‍ය හමුවට විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේ සහ අමාත්‍යාශය යටතේ පවතින ආයතනවල ජ්‍යෙෂ්ඨ නිලධාරීහුද සහභාගී වූහ.
විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය
කොළඹ
2026 ජනවාරි 06 වැනි දින



