
2025 ජූලි 11 වැනි දින මැලේසියාවේ ක්වාලාලම්පූර්හිදී පැවැති 32 වැනි ආසියාන් කලාපීය සංසදයේ විදේශ අමාත්‍යවරුන්ගේ රැස්වීමට සහභාගී වූ ශ්‍රී ලංකා දූත පිරිසේ නායකත්වය විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් විසින් දරනු ලැබීය. රැස්වීම අතරතුරදී, විශේෂයෙන් සාමය, කලාපීය ස්ථාවරත්වය සහ සියලු අංශ ඇතුළත් ආර්ථික සමෘද්ධිය ප්‍රවර්ධනය කිරීම අරමුණු කරගත් ආසියාන් කලාපීය සංසදයේ මූලික ප්‍රමුඛතා කෙරෙහි ශ්‍රී ලංකාව දක්වන දැඩි කැපවීම අමාත්‍ය හේරත් නැවත තහවුරු කළේය. 2025–2026 කාලසීමාව තුළ සාම සාධක මුලපිරීම් ක්ෂේත්රයේ ආසියාන් කලාපීය සංසදයේ සාමාජික රටවල් සමඟ වඩාත් සමීපව කටයුතු කිරීමට ශ්‍රී ලංකාව අදහස් කරන බවද ඔහු ප්‍රකාශ කළේය.
සිය නිල ක්‍රියාකාරකම්වල අංගයක් ලෙස, 2025 ජූලි 10 වැනි දින පුත්‍රජයාහි පිහිටි අග්‍රාමාත්‍ය කාර්යාලයේදී, අමාත්‍ය හේරත්, මැලේසියානු අග්‍රාමාත්‍ය අතිගරු දාතෝ සේරි ආචාර්ය අන්වර් බින් ඉබ්රාහිම් හමුවිය. ශ්‍රී ලංකාව සහ මැලේසියාව අතර දිගුකාලීන ද්විපාර්ශ්වික හවුල්කාරිත්වය ශක්තිමත් කිරීම අරමුණු කරගත් අන්‍යෝන්‍ය උනන්දුවට භාජනය වූ කරුණු පිළිබඳව ඵලදායී සාකච්ඡාවක් එහිදී පැවැත්විණි. විශේෂයෙන්, ශ්‍රී ලාංකිකයින්ට වීසා රහිත සංචාර සඳහා අවශ්‍ය කටයුතු ක්‍රියාත්මක කිරීම සහ මැලේසියාව පුරා විවිධ අංශවල ශ්‍රී ලාංකික සේවකයින් සඳහා රැකියා අවස්ථා 10,000ක් ලබා දීම පිළිබඳව එහිදී සාකච්ඡා කෙරිණි. මෙම හමුවේදී, කම්කරු ක්ෂේත්රය සම්බන්ධ කටයුතුවලදී සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා ශ්‍රී ලංකා පාර්ශ්වය සමඟ සාකච්ඡා කර ක්‍රමවේද සකස් කරන ලෙස අග්‍රාමාත්‍යවරයා මැලේසියාවේ මානව සම්පත් අමාත්‍යාංශයේ සහ ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.
අගමැති ඉබ්රාහිම් සමඟ පැවති හමුවෙන් අනතුරුව, අමාත්‍ය හේරත් මහතා, මැලේසියාවේ මානව සම්පත් අමාත්‍යාංශයේ මහලේකම්වරයා, මැලේසියාවේ ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ නියෝජ්‍ය මහලේකම්වරයා සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් හමුවී, ශ්‍රී ලාංකික සේවකයින් සඳහා යෝජිත රැකියා අවස්ථා ක්‍රියාත්මක කිරීම සහ වීසා රහිත සංචාර සම්බන්ධ විධිවිධාන පිළිබඳව සාකච්ඡා කළේය. ශ්‍රී ලාංකික සේවකයින් සඳහා රැකියා සම්බන්ධ පළමු ක්‍රියාකාරී කණ්ඩායම 2025 අවසාන කාර්තුවේදී ස්ථාපිත කරන බවටත්, රාජ්‍යතාන්ත්‍රික සහ නිල විදේශ ගමන් බලපත්‍ර හිමියන් සඳහා නිදහස් වීසා ක්‍රමවේදය කඩිනම් කරන බවටත්, සාමාන්‍ය විදේශ ගමන් බලපත්‍ර හිමියන් සඳහා අන්‍යෝන්‍ය වීසා රහිත විධිවිධානය ඉන් පසුව සලකා බලන බවටත් එහිදී එකඟත්වය පළ විය.
2025 ජූලි 11 වැනි දින ක්වාලාලම්පූර්හි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය විසින් සංවිධානය කරන ලද “2025 ශ්‍රී ලංකා ආයෝජන, වෙළඳ සහ සංචාරක සංසදයෙ”හි ප්‍රධාන දේශනයද අමාත්‍ය හේරත් විසින් පවත්වන ලදී. ප්රමුඛ මැලේසියානු ආයෝජකයින් 60කට අධික සංඛ්‍යාවක් මෙන්ම ප්රමුඛ පෙළේ වාණිජ මණ්ඩල සහ සංචාරක ක්ෂේත්රයේ නියෝජිතයෝද මෙම අවස්ථාවට සහභාගී වූහ. මැලේසියාවේ ආයෝජන, වෙළඳ සහ කර්මාන්ත නියෝජ්‍ය අමාත්‍යවරයා සහ සෙලන්ගෝර් රාජකීය පවුලේ සාමාජිකයෙකු වන අති ගෞරවනීය ටුන්කු මහා කුනියන් දිරාජා ටුන්කු සයිෆාන් මැතිතුමාද මෙම අවස්ථාවට සහභාගී වූහ.
2025 ජූලි 12 වැනි දින, අමාත්‍ය හේරත්, මලාකාවේ ඉස්තානාහිදී මලාකා ප්‍රාන්තයේ ආණ්ඩුකාර ගරු ටුන් සේරි සෙටියා ආචාර්ය හාජි මොහොමඩ් අලි බින් මොහොමඩ් රුස්ටම් හමුවිය. ශ්‍රී ලංකාව සහ මලාකා ප්‍රාන්තය අතර සංචාරක සහයෝගීතාව වැඩි දියුණු කිරීම පිළිබඳව අමාත්‍යවරයා සහ ආණ්ඩුකාරවරයා ඵලදායී සාකච්ඡා පැවැත්වූහ. මලාකා නගරයේ යුනෙස්කෝ ලෝක උරුම ස්ථාන නැරඹීමේ සංචාරයකද අමාත්‍ය හේරත් නිරත විය.
ආසියාන් කලාපීය සංසදයට සමගාමීව, ශ්‍රී ලංකාවේ ද්විපාර්ශ්වික සබඳතා සහ කලාපීය සහයෝගීතාව ශක්තිමත් කිරීම සඳහා ගරු අමාත්‍ය හේරත්, ඕස්ට්‍රේලියාව, බංග්ලාදේශය, චීනය, පකිස්තානය, පිලිපීනය, රුසියාව සහ තායිලන්තය යන රටවල සිය පාර්ශ්වකරුවන් සමඟ මෙන්ම දකුණු කොරියාවේ පළමු උප අමාත්‍යවරයා සමඟද රැස්වීම් කිහිපයක් පැවැත්වීය. එක්සත් ජනපද නියෝජ්‍ය රාජ්‍ය ලේකම් ඇලිසන් හොකර් සමඟ පැවති රැස්වීමකදී, අමාත්‍ය හේරත්, ශ්‍රී ලංකා අපනයන කෙරෙහි, විශේෂයෙන් ඇඟලුම් ක්ෂේත්රය කෙරෙහි ඇති බලපෑම සැලකිල්ලට ගනිමින් තීරුබදු අඩු කිරීම පිළිබඳ තවදුරටත් සාකච්ඡා කිරීමේ වැදගත්කම අවධාරණය කළේය. විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේ අග්නිදිග ආසියානු සහ මධ්‍යම ආසියානු අංශයේ අධ්යක්ෂ ජනරාල් චමරි රොද්‍රිගෝ සහ ක්වාලාලම්පූර්හි ශ්‍රී ලංකාවේ වැඩබලන මහ කොමසාරිස් එම්.අයි.මොහොමඩ් රිස්වි ගරු අමාත්‍යවරයා සමඟ මෙම සංචාරයට එක්වූහ.
විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය
කොළඹ
2025 ජූලි 15 වැනි දින






