“2022 NOWRUZ  උත්සව සමය තුළ සුන්දර ශ්‍රී ලංකාවේ සංචාරයේ නිරත වන්න” (Visit to the Amazing Sri Lanka in NOWRUZ Season-2023) නමින් ටෙහෙරානයේ පවත්වන ලද සංචාරක ව්‍යාපාර  ප්‍රවර්ධන වැඩසටහන

“2022 NOWRUZ  උත්සව සමය තුළ සුන්දර ශ්‍රී ලංකාවේ සංචාරයේ නිරත වන්න” (Visit to the Amazing Sri Lanka in NOWRUZ Season-2023) නමින් ටෙහෙරානයේ පවත්වන ලද සංචාරක ව්‍යාපාර  ප්‍රවර්ධන වැඩසටහන

ටෙහෙරානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය, ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යංශය සහ ඉරානයේ ගුවන් ප්‍රවාහන හා සංචාරක නියෝජිතායතන සංගමය සමඟ එක්ව, “2022 NOWRUZ  උත්සව සමය තුළ සුන්දර ශ්‍රී ලංකාවේ සංචාරයේ නිරත වන්න (පර්සියානු නව වසර)”  (Visit to the Amazing Sri Lanka during the NOWRUZ Season-2023) නමින් සංචාරක ප්‍රවර්ධන වැඩසටහනක් 2022 නොවැම්බර් 07 වැනි දින සිය චාන්සරි පරිශ්‍රයේ දී සංවිධානය කළේ ය. ඉරාන සංචාරකයන් අතර ශ්‍රී ලංකාව ශක්‍යතා සහිත සංචාරක ගමනාන්තයක් ලෙස ප්‍රවර්ධනය කිරීම සහ ඉරාන සංචාරකයන්ට සිය පර්සියානු අලුත් අවුරුදු සමයේ දී ශ්‍රී ලංකාවට පැමිණීමට පහසුකම් සැලසීම සඳහා ඉරානයේ සියලුම සංචාරක පාර්ශ්වකරුවන් දිරිමත් කිරීම මෙම වැඩසටහනේ අරමුණ විය.

සිය සමාරම්භක දේශනය ඉදිරිපත් කළ ඉරානයේ ශ්‍රී ලංකා තානාපති ජී.එම්.වී. විශ්වනාත් අපොන්සු මැතිතුමා, ඓතිහාසික වැදගත්කමක් සහිත ස්වභාවික ආකර්ෂණීය ස්ථානවලින් අනූන, රසවත් ආහාරපාන, අද්විතීය ජීවන රටාවක් මෙන්ම මිත්‍රශීලී මිනිසුන් වෙසෙන සුරක්ෂිත රටක් ලෙස ශ්‍රී ලංකාව හඳුන්වා දුන්නේ ය. සංචාරක ව්‍යාපාරය ආශ්‍රිතව ඉරානයේ සිට ශ්‍රී ලංකාව වෙත සිදු කෙරෙන සංචාරක කටයුතුවල  මෑත කාලීන වර්ධනය ඉස්මතු කළ ශ්‍රී ලංකා තානාපතිවරයා, සංචාරක පැමිණීම්වල වත්මන් ප්‍රගතිය සාක්ෂාත් කරගැනීම සඳහා සංචාරක ක්‍රියාකරුවන්, සංචාරක ආයතන, ගුවන් සමාගම් සහ අනෙකුත් අදාළ පාර්ශ්ව සිදු කරන සුවිශේෂී කාර්යභාරය අගය කළේ ය. තවද  එතුමා අද්විතීය ආගන්තුක සත්කාරක සේවා සම්බන්ධයෙන් කීර්තියට පත්ව ඇති රටක් වන ශ්‍රී ලංකාව තුළ සංචාරය කිරීම සඳහා ඉරානයේ මිත්‍රශීලී ජනතාව දිරිමත් කරන ලෙස, මෙම ප්‍රවර්ධන වැඩසටහනට සහභාගී වූ සියලුම සංචාරක පාර්ශ්වකරුවන් වෙත  ඉල්ලීමක් කළේ ය.

ජාත්‍යන්තර කටයුතු, ඉරාන වාණිජ මණ්ඩලය, කර්මාන්ත, පතල් සහ කෘෂිකර්ම පිළිබඳ නියෝජ්‍ය සභාපති ආචාර්ය අලිරේසා යවාරි මැතිතුමා, ඉරාන විදේශ කටයුතු අමාත්‍යංශයේ විශේෂඥ මොහොමඩ් ඩෙල්දාරි මහතා, ගුවන් සේවා විශේෂඥ මජීඩ් සිං මහතා සහ ගුවන් ප්‍රවාහන හා සංචාරක නියෝජිතායතනවල හිටපු මහලේකම් ෆරමාර්ස් සයීඩි මහතා මෙම වැඩසටහනේ සාකච්ඡා මඩුල්ල සඳහා සහභාගී වූහ. ඔවුහු ශ්‍රී ලංකාව සුවිශේෂී වූත්, දැරිය හැකි මුදලකට සංචාරයේ නිරත විය හැකි වූත් ගමනාන්තයක් ලෙස අවධාරණය කළහ. ඉරානය සහ ශ්‍රී ලංකාව අතර සෘජු ගුවන් සම්බන්ධතා ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව, සංචාරක ව්‍යාපාරය පිළිබඳව දැනුම්වත් කිරීමේ වැඩසටහන් නිරන්තරයෙන් පැවැත්වීම, දෙරටෙ හි වාණිජ්‍ය මණ්ඩල දෙක අතර ව්‍යාපාරාන්තර රැස්වීම් පැවැත්වීම, සාධාරණ මුදලකින් යුත් සංචාරක පැකේජ හඳුන්වාදීම, FAM සංචාරක කටයුතු ආරම්භ කිරීම, විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය හරහා ප්‍රචාරණයක් ලබා දීම සහ ද්විපාර්ශ්වික යාන්ත්‍රණ සඳහා පහසුකම් සැලසීම  ඇතුළු යෝජනා කිහිපයක් ද මෙහිදී ඉදිරිපත් විය.

ඊට ප්‍රතිචාර දැක්වූ තානාපති විශ්වනාත් අපොන්සු මැතිතුමා, ටෙහෙරානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ශ්‍රී ලංකාවේ සහ ඉරානයේ අදාළ බලධාරීන් සමඟ සම්බන්ධීකරණයෙන් දෙරට අතර සංචාරක ව්‍යාපාරය ආශ්‍රිත ද්වි-මාර්ගික ප්‍රවාහයක් පුළුල් කිරීම කෙරෙහි අවධානය යොමු කරමින් යෝජනා සකස් කරමින් සිටින බව සඳහන් කළේ ය. දෙරටේම සංචාරක ව්‍යාපාරයට සම්බන්ධ සියලුම පාර්ශ්වකරුවන්ට සැලකිය යුතු කාර්යභාරයක් ඉටු කිරීමට ඇති බව අවධාරණය කළ එතුමා, “leave no one behind”යන ආදර්ශ පාඨය අනුගමනය කිරීම මඟින් සංචාරක ව්‍යාපාරයේ වේගවත් වර්ධනයක් ළඟා කර ගත හැකි බව ප්‍රකාශ කළේ ය. ඉරාන සංචාරක සංගමය නියෝජනය කරමින් සිය අදහස් පළ කළ ගුවන් ප්‍රවාහන හා සංචාරක නියෝජිතායතනවල හිටපු මහලේකම් සයීඩි  මහතා, මෙම සංචාරක වැඩසටහන සංවිධානය කිරීම පිළිබඳව ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වෙත සිය ස්තුතිය පුද කළ අතර, ද්වි-මාර්ගික සංචාරක ව්‍යාපාරය පුළුල් කිරීම සඳහා තම සංගමයේ උපරිම සහයෝගය ලබා දෙන බවට ද සහතික විය.

ඉරාන සංචාරක කර්මාන්තය, වාණිජ හා කර්මාන්ත මණ්ඩලය, විදේශ අමාත්‍යංශය, ගුවන් සමාගම්, මාධ්‍ය නිලධාරීන් සහ ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයින් නියෝජනය කරමින් 65 දෙනෙකුට අධික පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ. තවද, ඊට සහභාගී වූ ආරාධිතයින් හට ශ්‍රී ලාංකික ආහාර සහ ලංකා තේ සංග්‍රහ කරන ලදී.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය

ටෙහෙරානය

2022 නොවැම්බර් 08 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close