2022 වර්ෂයේ ශ්‍රී ලංකා ජාතික නිදහස් දින සැමරුමේ 74 වැනි සංවත්සරය ප්‍රංශයේ පැරිස් නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලය

2022 වර්ෂයේ ශ්‍රී ලංකා ජාතික නිදහස් දින සැමරුමේ 74 වැනි සංවත්සරය ප්‍රංශයේ පැරිස් නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලය

පැරීසියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 74 වැනි නිදහස් දින සැමරුම සනිටුහන් කරමින් උත්සවයක් සංවිධානය කළේය. කොවිඩ් - 19 ආශ්‍රිත සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව තානාපතිනිය, රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් සහ තානාපති කාර්යාල කාර්ය මණ්ඩල නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් මෙම උත්සවය තානාපති කාර්යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

උත්සවයේ ආරම්භය සනිටුහන් කරමින් ශ්‍රී ලංකා තානාපතිනි සහ යුනෙස්කෝ සංවිධානයේ නිත්‍ය නියෝජිත මහාචාර්ය ක්ෂණිකා හිරිඹුරේගම මැතිනිය විසින් ජාතික ධජය ඔසවන ලදී. මාතෘභූමිය සුරැකීම වෙනුවෙන් දිවිපිදූ විරුවන් සිහිකරමින් විනාඩි දෙකක නිශ්ශබ්දතාවක් පැවැත්වීමෙන් අනතුරුව තානාපති කාර්යාල කාර්ය මණ්ඩලය විසින් ජාතික ගීය ගායනා කරනු ලැබීය.

මෙම අවස්ථාවේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ නිදහස් දින පණිවිඩය තානාපතිනී හිරිඹුරේගම මැතිනිය විසින් ප්‍රකාශ කරනු ලැබූ අතර, අනතුරුව අග්‍රාමාත්‍යතුමන්ගේ නිදහස් දින පණිවිඩය දෙවන ලේකම් දුලාංජි හේරත් මහත්මිය විසින් ද, විදේශ අමාත්‍යවරයාගේ නිදහස් දින පණිවුඩය සහානා මිස්කින් මහත්මිය විසින් දමිළ භාෂාවෙන් ද ඉදිරිපත් කෙරිණි.

තානාපතිනී මහාචාර්ය හිරිඹුරේගම මැතිනිය තානාපති කාර්යාලයේ කාර්ය මණ්ඩලය අමතමින් ඔවුනගේ අමිල සේවය වෙනුවෙන් ස්තූතිය පළ කළ අතර, මෙම තීරණාත්මක වසංගත තත්වයේදී අපගේ රට ආරක්ෂා කිරීමේ සහ ආර්ථික වශයෙන් සංවර්ධනය කිරීමේ වැදගත්කම අවධාරණය කළාය.

ප්‍රංශය, ස්පාඤ්ඤය, පෘතුගාලය, ඇන්ඩෝරා සහ මොනාකෝ යන රටවල වෙසෙන සියලුම ශ්‍රී ලාංකිකයින්ට ද සැමරුම සඳහා සම්බන්ධ වීමට හැකි වන පරිදි මෙම උත්සවය තානාපති කාර්යාල ෆේස්බුක් පිටුව හරහා සජීවීව විකාශය කරන ලදී.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය

පැරීසිය

2022 පෙබරවාරි 11 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close