2022 පොදුරාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුවට (CHOGM) සමගාමීව විදේශ අමාත්‍ය පීරිස් මැතිතුමා පොදුරාජ්‍ය මණ්ඩලයීය විදේශ අමාත්‍යවරුන් සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පවත්වයි

2022 පොදුරාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුවට (CHOGM) සමගාමීව විදේශ අමාත්‍ය පීරිස් මැතිතුමා පොදුරාජ්‍ය මණ්ඩලයීය විදේශ අමාත්‍යවරුන් සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පවත්වයි

2022 පොදුරාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුවට (CHOGM) සමගාමීව 2022 ජූනි 24 සිට 25 යන දිනවල රුවන්ඩාවේ කිගාලි හි පැවති ද්විපාර්ශ්වික රැස්වීම් මාලාවක දී පොදුරාජ්‍ය මණ්ඩලයීය සාමාජික රටවල විදේශ අමාත්‍යවරුන් සහ නියෝජිත කණ්ඩායම් ප්‍රධානීන් හමුවූ විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මැතිතුමා, ශ්‍රී ලංකාව මුහුණ දෙන වත්මන් ආර්ථික අර්බුදයෙන් මිදීම සහ පොදුරාජ්‍ය මණ්ඩලය ඇතුළු බහුපාර්ශ්වික සංසද හරහා සහයෝගිතාව වැඩි දියුණු කිරීම සඳහා දේශපාලන හා ආර්ථික වැදගත්කමක් සහිත කරුණු රාශියක් පිළිබඳව සාකච්ඡා පැවැත්වී ය.

අමාත්‍ය පීරිස් මැතිතුමා ඩොමිනිකාවේ විදේශ කටයුතු, ජාත්‍යන්තර ව්‍යාපාර සහ ඩයස්පෝරා සබඳතා පිළිබඳ අමාත්‍ය ආචාර්ය කෙනත් මෙල්කොයර් ඩරූ මැතිතුමා සමඟ පැවැත්වූ සාකච්ඡාවේ දී, දෙරටේම ආර්ථිකයට වැදගත් වන සංචාරක ව්‍යාපාරය හා සබැඳි වර්ධනයන් පිළිබඳව සාකච්ඡා කළේ ය. කොවිඩ්-19 වසංගතයට සහ දැනට පවතින ගෝලීය අර්බුදවලට මුහුණ දීම සඳහා සංචාරක කර්මාන්තයේ ඔරොත්තු දීමේ හැකියාව වැඩි කිරීම පිළිබඳ අත්දැකීම් ද අමාත්‍යවරු දෙදෙනා විසින් හුවමාරු කරගන්නා ලදී.

සීෂෙල්ස් ජනරජයේ විදේශ කටයුතු සහ සංචාරක අමාත්‍ය සිල්වෙස්ට්‍ර රේඩ්ගොන්ඩ් මැතිතුමා හමුවූ අමාත්‍ය පීරිස් මැතිතුමා, වෛද්‍ය සංචාරක ව්‍යාපාරය වැනි අපේක්ෂා තැබිය හැකි ව්‍යාපාර කිහිපයක තත්ත්වය   සහ සාගර ආශ්‍රිත ගැටළු සම්බන්ධයෙන් සහයෝගීතාව වැඩි දියුණු කිරීම පිළිබඳව සාකච්ඡා කළේය. අප්‍රිකානු මහාද්වීපය සමඟ වෙළෙඳ සහ ද්විපාර්ශ්වික සබඳතා වැඩිදියුණු කර ගැනීමට ඉවහල් වන දොරටුවක් ලෙස සීෂෙල්ස් රාජ්‍යය කෙරෙහි ශ්‍රී ලංකාව සිය අවධානය යොමු කර ඇති බව අමාත්‍ය පීරිස් මැතිතුමා ප්‍රකාශ කළේ ය. සීෂෙල්ස් රාජ්‍යයේ ඉල්ලීමකට අනුව සමුද්‍ර නිරීක්ෂණ කටයුතු සඳහා මුර සංචාර යාත්‍රා 2ක් පරිත්‍යාග කිරීම පිළිබඳව  රේඩ්ගොන්ඩ් මැතිතුමා ශ්‍රී ලංකාව වෙත සිය ස්තුතිය පුද කළේ ය.

අමාත්‍ය පීරිස් මැතිතුමා බංගලාදේශ ජනරජයේ ගරු විදේශ කටයුතු අමාත්‍ය ඒ. කේ. අබ්දුල් මොමන් මැතිතුමා සමඟ පැවැත්වූ ද්විපාර්ශ්වික සාකච්ඡාව අතරතුර බංග්ලාදේශ පාර්ශ්වය නියෝජනය කරමින් කරුණු දැක්වූ මොමන් මැතිතුමා ආහාර, වෛද්‍ය ආධාර සහ ණය පහසුකම් ලබාදීම ඇතුළුව වත්මන් ආර්ථික අර්බුදය හමුවේ ශ්‍රී ලංකාවට සහය ලබා දීම සඳහා බංග්ලාදේශය ගෙන ඇති පියවර පිළිබඳව සඳහන් කළේ ය. මෙම තීරණාත්මක අවස්ථාවේ දී බංග්ලාදේශය මෙරටට ලබාදුන් සහය පිළිබඳව අමාත්‍ය පීරිස් මැතිතුමා අමාත්‍ය මොමන් මැතිතුමා වෙත සිය ස්තුතිය පුද කළේ ය. ද්විපාර්ශ්වික වෙළෙඳාම ඉහළ නැංවීමේ මාර්ග පිළිබඳව ද අමාත්‍යවරුන් දෙපළ සාකච්ඡා කළහ. 2022 මාර්තු මාසයේ දී බහු ආංශික තාක්ෂණික සහ ආර්ථික සහයෝගීතාව සඳහා වූ බෙංගාල බොක්ක ආශ්‍රිත රටවල සංවිධානයේ (BIMSTEC) රටවල/රාජ්‍ය නායකයන්ගේ පස්වැනි සමුළුව සඳහා සාර්ථකව අථත්‍ය අයුරින් සත්කාරකත්වය ලබා දීමට ශ්‍රී ලංකාවට හැකිවූ බව  අමාත්‍ය මොමන් මැතිතුමා මෙහිදී සඳහන් කළේ ය.

සංහිඳියාව පිළිබඳ ගැටළු විසඳීම සඳහා ශ්‍රී ලංකාව ගෙන ඇති පියවර කිහිපයක් පිළිබඳව කෙන්යා ජනරජයේ විදේශ කටයුතු පිළිබඳ කැබිනට් ලේකම් රේෂෙල් ඔමාමෝ මහත්මිය දැනුම්වත් කළ අමාත්‍ය පීරිස් මැතිතුමා, සංහිඳියාව සම්බන්ධයෙන් අප්‍රිකානු රටවල් සතු අත්දැකීම්වලින් දැනුම ලබාගැනීමට උනන්දු වන බවද වැඩිදුරටත් සඳහන් කළේ ය. ප්‍රතිසන්ධාන කටයුතු සම්බන්ධයෙන් කෙන්යාව දැරූ  ප්‍රයත්න හා සබැඳි අත්දැකීම් බෙදාගත් කැබිනට් ලේකම් ඔමානෝ මහත්මිය, සංහිඳියාව ප්‍රවර්ධනය වන ආකාරයේ සැලැස්මක් සෑම රටක්ම සකස් කළ යුතු බව සඳහන් කළා ය. ශ්‍රී ලාංකික සමාගම් කිහිපයක් කෙන්යාවේ ඇඟලුම් ක්ෂේත්‍රය සඳහා ආයෝජනය කොට ඇති බව සඳහන් කළ කැබිනට් ලේකම් ඔමානෝ මහත්මිය, අනෙකුත් කර්මාන්ත සම්බන්ධයෙන් කෙන්යානු සමාගම් සමඟ පැවැත්විය හැකි හවුල් ව්‍යාපාර ගවේෂණය කරන ලෙස ශ්‍රී ලංකාව දිරිමත් කළා ය.

මොරිෂස් ජනරජයේ ගරු විදේශ කටයුතු, කලාපීය ඒකාබද්ධතා සහ ජාත්‍යන්තර වෙළඳාම පිළිබඳ අමාත්‍ය ඇලන් ගනූ මැතිතුමා සමඟ පැවැත්වූ ද්විපාර්ශ්වික හමුවේ දී, අමාත්‍ය පීරිස් මැතිතුමා කලාපීය සහ ජාත්‍යන්තර සංසද ඇතුළු සාගර කටයුතු ආශ්‍රිත ගැටළු සම්බන්ධයෙන් දෙරට අතර ඉහළ සහයෝගීතාවයක් දිරිමත් කළේ ය. දේශගුණික විපර්යාස හේතුවෙන් දූපත් රාජ්‍යවලට එල්ල වන බලපෑම, සංචාරක කර්මාන්තයේ සහයෝගීතාව සහ ලෝක වෙළෙඳපොළේ ආහාර මිල ඉහළ යාමේ බලපෑම පිළිබඳව ද අමාත්‍යවරුන් දෙපළ සාකච්ඡා කළහ.

අමාත්‍ය පීරිස් මැතිතුමා සයිප්‍රස් ජනරජයේ ගරු විදේශ කටයුතු අමාත්‍ය අයොනිස් කසෝලිඩෙස් මැතිතුමා  සමඟ පැවැත්වූ ද්විපාර්ශ්වික හමුවේ දී, රැකියා අවස්ථා පිළිබඳව සහ  සයිප්‍රසයේ සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට කොන්සියුලර් සහය ලබා දීම පිළිබඳව අවධානය යොමු කෙරිණි. සයිප්‍රසය පිරිනමන රැකියා අවස්ථා අගය කළ  අමාත්‍ය පීරිස් මැතිතුමා, ශ්‍රී ලංකාව විදේශ රැකියා අවස්ථා ඉහළ නැංවීම සඳහා උනන්දු වන බවද සඳහන් කළේ ය. සයිප්‍රස් රජය ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ගේ සුබසාධන කටයුතු ඉහළ නැංවීමට ගන්නා පියවර පිළිබඳව අමාත්‍ය කසෝලිඩෙස් මැතිතුමා අමාත්‍ය පීරිස් මැතිතුමා හමුවේ විස්තර කළේ ය. ආර්ථික අභියෝගවලට මුහුණ දීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ කටයුතු කිරීම සම්බන්ධයෙන් සයිප්‍රසය ලද අත්දැකීම් බෙදාගත් අමාත්‍ය කසෝලිඩෙස් මැතිතුමා, තීරණාත්මක ආර්ථික ප්‍රතිසංස්කරණ සයිප්‍රසය තුළ කඩිනමින්  ක්‍රියාත්මක කිරීම හේතුවෙන් ආර්ථික පෙරළියක් අත්විඳි බව ප්‍රකාශ කළේ ය.

අමාත්‍ය පීරිස් මැතිතුමා සහ මැලේසියාවේ ගරු විදේශ කටයුතු අමාත්‍ය සයිෆුද්දින් අබ්දුල්ලා මැතිතුමා  අතර පැවති ද්විපාර්ශ්වික සාකච්ඡාවක දී බහුවිධ ද්විපාර්ශ්වික සබඳතා වැඩිදියුණු කිරීම හා සබැඳි කරුණු කිහිපයක් සාකච්ඡාවට බඳුන් විය. ශ්‍රී ලාංකික සම්භවයක් සහිත මැලේසියානුවන් රැසක් මැලේසියාවේ වර්ධනයට දායක වී ඇති බව අමාත්‍ය අබ්දුල්ලා මැතිතුමා ප්‍රකාශ කළේ ය. මැලේසියානු රජය ඩිජිටල් ආර්ථිකයක් සංවර්ධනය කිරීම කෙරෙහි සිය අවධානය යොමු කොට ඇති බව සඳහන් කළ අමාත්‍ය අබ්දුල්ලා මැතිතුමා, මැලේසියාවේ රැකියා වෙළඳපොළට ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණ සේවකයන් යෙදවීම සම්බන්ධයෙන් ගවේෂණය කරන ලෙසද යෝජනා කළේ ය. බහුපාර්ශ්වික සංසද හමුවේ සාගර ආශ්‍රිත ගැටලු සම්බන්ධයෙන් දෙරට විදහා දක්වන සමීප සහයෝගීතාව පිළිබඳව ද අමාත්‍යවරු දෙපළ සාකච්ඡා කළහ.

රුවන්ඩා ජනරජයේ විදේශ කටයුතු සහ ජාත්‍යන්තර සහයෝගිතාව පිළිබඳ ගරු අමාත්‍ය වින්සන්ට් බිරුටා මැතිතුමා සමඟ පැවති හමුවකින් අනතුරුව, අමාත්‍ය පීරිස් මැතිතුමා සිය රුවන්ඩා සංචාරය නිමා කළේ ය. පොදුරාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුව සාර්ථකව පැවැත්වූ රුවන්ඩා රජය වෙනුවෙන් අමාත්‍ය බිරුටා මැතිතුමා වෙත සුබ පැතූ  අමාත්‍ය පීරිස් මැතිතුමා,  මෙම තීරණාත්මක අවස්ථාවේ දී පැවැත්වූ මෙම රැස්වීම මගින් පොදුරාජ්‍ය මණ්ඩලය ශක්තිමත් වූ බව සඳහන් කළේ ය. රුවන්ඩාව මෑත කාලීනව විශේෂයෙන් ආර්ථිකය හා සංහිඳියාව යන ක්ෂේත්‍ර සම්බන්ධයෙන් කැපී පෙනෙන ප්‍රගතියක් ලබා ඇති බව සඳහන් කළ අමාත්‍ය පීරිස් මැතිතුමා,  දෙරට අතර පැවැත්විය හැකි  සමීප සබඳතා දිරිමත් කළේ ය. අමාත්‍ය පීරිස් මැතිතුමා වෙත සිය ස්තූතිය පුද කළ අමාත්‍ය බිරුටා මැතිතුමා, ආර්ථිකය හා දේශපාලනය ආශ්‍රිත ඔරොත්තු දීමේ හැකියාව ළඟා කරගැනීම සඳහා අප්‍රිකානු රටවල් තමන්ගේම මාවතක් සකස් කරගැනීම සම්බන්ධයෙන් විශ්වාසය වර්ධනය කරගෙන සිටින බව සඳහන් කළේ ය. ශ්‍රී ලංකාව සමඟ දේශපාලන සහ වෙළෙඳ සබඳතා ශක්තිමත් කරගැනීමට සම්බන්ධයෙන් පවත්නා විභවයන්  ගවේෂණය කිරීමට ද අමාත්‍ය බිරුටා මැතිතුමා සිය කැමැත්ත පළ කළේ ය.

අමාත්‍ය පීරිස් මැතිතුමා මීට පෙර ද, පොදුරාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුවට සමගාමීව ඉන්දියාවේ විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මැතිතුමා සහ නවසීලන්තයේ විදේශ කටයුතු සහ පළාත් පාලන අමාත්‍ය නනායා මාහූටා මැතිනිය සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වී ය.

විදේශ කටයුතු අමාත්‍යාංශය

කොළඹ

2022 ජූනි 28 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close