2022 නව වසර සඳහා උත්සවාකාරයෙන් රාජකාරි ඇරඹීම ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය - ජෙඩා, සෞදි අරාබිය

2022 නව වසර සඳහා උත්සවාකාරයෙන් රාජකාරි ඇරඹීම ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය – ජෙඩා, සෞදි අරාබිය

ජෙඩා හි පිහිටි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය 2022 නව වසර සඳහා උත්සවාකාරයෙන් සිය රාජකාරි ආරම්භ කළේ ය. ජාතික ධජය ඔසවා ජාතික ගීය ගායනා කිරීමෙන් අනතුරුව වැඩ බලන කොන්සල් ජනරාල් ටී. එෆ්. එම්. ආශික් මහතා සහ කාර්ය මණ්ඩලය විසින් සිය රාජකාරි ආරම්භ කරන ලදී. මාතෘභූමිය වෙනුවෙන් දිවි පිදූ රණවිරුවන් ඇතුළු අනෙකුත් විරුවන් සිහිකරමින් විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක් ද පැවැත්විණි.

වසර පුරා ස්ථිර අධිෂ්ඨානයෙන්, උපරිම කැපවීමෙන්, අවංක බවින් සහ පක්ෂපාතීත්වයෙන් ජනතාවට කාර්යක්ෂමව සහ ඵලදායී ලෙස සේවය කිරීමට කැපවන බවට ප්‍රතිඥා දෙමින් කොන්සල් ජනරාල් කාර්යාලයේ  කාර්ය මණ්ඩලය “රාජ්‍ය සේවයේ ප්‍රතිඥාව/දිවුරුම” ලබා දුන්හ.

වැඩ බලන කොන්සල් ජනරාල් ටී. එෆ්. එම්. ආශික්  මහතා සිය කාර්ය මණ්ඩලය අමතා සිදු කළ දේශනය අතරතුර දී, පසුගිය වසරේ සිදු වූ  සිදුවීම් සිහිපත් කළ අතර, කොවිඩ්-19 හේතුවෙන් හටගත් දුෂ්කර කාලවලදී සෞදි අරාබියේ බටහිර කලාපයේ සිටින ශ්‍රී ලාංකිකයන්ගේ යහ පැවැත්ම වෙනුවෙන් කරන ලද කැපකිරීම් මෙන්ම, විපතට පත් වූ ශ්‍රී ලාංකිකයන් සියරට පැමිණවීම සඳහා ගත් උත්සාහයන් පිළිබඳව කාර්ය මණ්ඩලය වෙත සිය ස්තුතිය පුද කළේ ය. තවද, ප්‍රධාන වශයෙන් වෙළෙඳාම, සංචරණය සහ සංචාරක ව්‍යාපාරය යන ක්ෂේත්‍ර කෙරෙහි අවධානය යොමු කරන අතරතුර, රටට අවශ්‍ය විදේශ ආදායම් උත්පාදනය කරමින් පුහුණු ශ්‍රමිකයන් ප්‍රවර්ධනය කොට රටේ සංවර්ධනය සඳහා ඉටු කළ යුතු කාර්යභාරයේ වැදගත්කම ද වැඩ බලන කොන්සල් ජනරාල්වරයා මෙහිදී පෙන්වා දුන්නේ ය. එපමණක් නොව, "සෞභාග්‍යයේ දැක්ම " නමැති රාජ්‍ය ප්‍රතිපත්ති ප්‍රකාශයේ අඩංගු අරමුණු ඉදිරි වසර තුළදී  සාක්ෂාත් කර ගැනීමේ දී විශිෂ්ට රාජ්‍ය සේවයක් සැපයීම සඳහා දූත මෙහෙවර දූෂණයෙන් තොරව සහ විනිවිදභාවයෙන් යුතුව කණ්ඩායමක් ලෙස කටයුතු කළ යුතු බවද එතුමා පැවසී ය.

වැඩ බලන කොන්සල් ජනරාල්වරයාගේ ආරාධනාවකට අනුව, ජෙඩා හි අබීර් වෛද්‍ය සමූහයේ උප සභාපති වෛද්‍ය ජෙම්ෂිත් අහමඩ් මහතා  කොවිඩ්- 19 වසංගතය පැතිරීම වැළැක්වීමේ වැදගත්කම පිළිබඳව කෙටි දේශනයක් පැවැත්වූ අතර, එහිදී ආරක්ෂිත සේවා පරිසරයක් නිර්මාණය කිරීම, පූර්වාරක්ෂණ ක්‍රම සහ සමාජය සතු වගකීම යනාදිය පිළිබඳව අවධානය යොමු කළේ ය.

සාම්ප්‍රදායික ශ්‍රී ලාංකික ආහාර ඇතුළත් උදෑසන ආහාර වේලක් පිරිනැමීමෙන් අනතුරුව මෙම උත්සවය සමාප්ත කෙරිණි.

ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය

ජෙඩා

2022 ජනවාරි 04 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close