2021 සැප්තැම්බර් 22 වැනි දින ඇමරිකා එක්සත් ජනපදයේ නිව්යෝර්ක් හිදී පැවති එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරය අතරතුර දී විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මැතිතුමා ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය එස්. ජයිශංකර් මැතිතුමා හමුවිය

2021 සැප්තැම්බර් 22 වැනි දින ඇමරිකා එක්සත් ජනපදයේ නිව්යෝර්ක් හිදී පැවති එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරය අතරතුර දී විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මැතිතුමා ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය එස්. ජයිශංකර් මැතිතුමා හමුවිය

මහාචාර්ය පීරිස් මැතිතුමා කොවිඩ්-19 වසංගතය සම්බන්ධයෙන් පවතින තත්ත්වය සහ වෛරස ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ශ්‍රී ලංකා රජය විසින් ක්‍රියාත්මක කරන සාර්ථක පියවර පිළිබඳව ඉන්දීය විදේශ අමාත්‍යවරයා දැනුවත් කළේය.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත නැවත සලකා බැලීම, එල්ටීටීඊ සිරකරුවන් නිදහස් කිරීම සහ අතුරුදන් වූවන්ගේ කාර්යාලය, වන්දි ගෙවීමේ කාර්යාලය, ජාතික සමගිය හා  ප්‍රතිසන්ධානය  පිළිබඳ කාර්යාලය, ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කොමිසම සහ තිරසාර සංවර්ධන ඉලක්ක පිළිබඳ කවුන්සිලය වැනි ස්වාධීන ආයතන බල ගැන්වීම වැනි ප්‍රධාන කරුණු විසඳීම සඳහා විදේශ අමාත්‍යාංශය, ආරක්ෂක අමාත්‍යාංශය සහ අධිකරණ අමාත්‍යාංශය සහයෝගයෙන් කටයුතු කරන බව උපුටා දක්වමින්, 2009 මැයි මාසයේ දී ගැටුම අවසන් වීමෙන් පසු ඉතිරි වී ඇති ගැටලු විසඳීම සඳහා රජය ගත් ප්‍රායෝගික හා ස්පෘෂ්‍ය ක්‍රියාමාර්ගය පිළිබඳව අමාත්‍ය පීරිස් මැතිතුමා තවදුරටත් විදේශ අමාත්‍යවරයාට පැහැදිලි කළේය. අමාත්‍ය පීරිස් මැතිතුමා පෙන්වා දුන්නේ බොහෝ අංශවලින් සැලකිය යුතු ප්‍රගතියක් ලබා ඇති බවත් එම ප්‍රයත්න අඛණ්ඩව සිදු වෙමින් පවතින බවත් ය.

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතාවල විවිධ ක්ෂේත්‍රයන් සම්බන්ධයෙන් ඉදිරියට යාම සඳහා දැඩි දේශපාලන කැමැත්තක් ඇති බව විදේශ අමාත්‍ය පීරිස් මැතිතුමා වැඩිදුරටත් පැවසීය.

ශක්තිමත් දේශීය යාන්ත්‍රණයන් ක්‍රියාශීලීව ඉදිරියට ගමන් කරන විට, කිසිදු බාහිර යාන්ත්‍රණයක් භූමිය තුළ ක්‍රියාත්මක වීම ශ්‍රී ලංකාවට පිළිගත නොහැකි බව අවධාරණය කළ විදේශ අමාත්‍යවරයා, ඒ රටවල අනුමැතියකින් තොරව රටවල්වලට විරුද්ධව යෝජනා ගෙන ඒම ක්‍රියාත්මක කළ නොහැකි බවට ශ්‍රී ලංකාව ගත් ප්‍රතිපත්තිමය ස්ථාවරය සමඟ බොහෝ රටවල් ස්ථාවරව සිටීම තුළින් ශ්‍රී ලංකාව බෙහෙවින් දිරිමත් වූ බව සඳහන් කළේය. දෙරට අතර පවතින ද්විපාර්ශ්වික සබඳතා ඉතා වැදගත් බවට අමාත්‍යවරු දෙදෙනාම එකඟ වූහ.

ජනවාර්ගික ගැටලුවලින් පසු ඇති වන අවශේෂ ගැටලු පිළිබඳ සාධාරණ හා යුක්ති සහගත විසඳුමක් සඳහා වූ අවශ්‍යතාවය, දෙරටේම යහපත සඳහා බව අමාත්‍ය ජයිශංකර් මැතිතුමා පැවසීය. අපගේ සබඳතා එක් ගැටලුවක් සඳහා පමණක් සීමා නොවිය යුතු බව ඉන්දීය විදේශ අමාත්‍යවරයා සඳහන් කළේය. සබඳතා වැඩිදියුණු කිරීමේ දී නවදිල්ලියට වැඩි විශ්වාසයක් ලබා දිය හැකි වන පරිදි, ක්‍රියාත්මක කිරීමට නියමිතව ඇති ව්‍යාපෘති සංඛ්‍යාව ප්‍රායෝගිකව අවසන් කිරීමේ අවශ්‍යතාවය ඔහු තවදුරටත් අවධාරණය කළේය. පුද්ගලාන්තර සම්බන්ධතා වැඩි දියුණු කිරීම ඇතුළුව ශ්‍රී ලංකාව සමඟ විවිධ ආකාරයෙන් කටයුතු කිරීමට ඉන්දියාව කැමති බව අමාත්‍ය ජයිශංකර් මැතිතුමා තහවුරු කළේය. විවිධ දේශපාලන පක්ෂ ඇතුළු සියළුම පාර්ශ්වකරුවන් සමඟ සම්බන්ධ වීමේ අවශ්‍යතාවය ද අමාත්‍යවරයා අවධාරණය කළේය.

දෙරට අතර සබඳතා කඩිනම් කිරීම සඳහා අපේක්ෂිත ගිවිසුම්වලට එළඹීමේ අවශ්‍යතාව පිළිබඳව අමාත්‍යවරුන් දෙදෙනාම එකඟ වූහ.

විදේශ අමාත්‍යාංශය

කොළඹ

2021 සැප්තැම්බර් 23 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close