2020 ජූලි 2 වන දින නිව්යෝර්ක් හි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ දී ජාත්‍යන්තර වෙසක් දිනය ප්‍රමාද වී සමරන අවස්ථාව සඳහා ශ්‍රී ලංකාවේ විදේශ සබඳතා අමාත්‍ය ගරු දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රකාශය

2020 ජූලි 2 වන දින නිව්යෝර්ක් හි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ දී ජාත්‍යන්තර වෙසක් දිනය ප්‍රමාද වී සමරන අවස්ථාව සඳහා ශ්‍රී ලංකාවේ විදේශ සබඳතා අමාත්‍ය ගරු දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රකාශය

ගෞරවනීය සංඝයාවහන්ස,

ගෞරවනීය ආගමික සම්භාවනීය අමුත්තනි,

එක්සත් ජාතීන්ගේ මහලේකම් අතිගරු ඇන්ටෝනියෝ ගුටරෙස් මැතිතුමනි,

මහා මණ්ඩලයේ සභාපති අතිගරු තිජ්ජානි මුහම්මද් - බන්ඩේ මැතිතුමනි,

තානාපතිතුමනි, නෝනාවරුනි, මහත්වරුනි,

ආයුබෝවන්! තෙවතාවක්  ආශීර්වාද ලත් වෙසක් දිනය සැමරීමටත්, එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් වෙසක් දිනය ජාත්‍යන්තරව පිළිගැනීමේ 20 වන සංවත්සරය සැමරීමටත් මම අද ශ්‍රී ලංකාවේ සිට ඔබ හා එක්වෙමි.

කොවිඩ්-19 ගෝලීය වසංගතයෙන් පීඩා විඳින ලෝකය අත්විඳින අවාසනාවන්ත කාලය සැලකිල්ලට ගනිමින්, තාක්‍ෂණයට ස්තූතිවන්ත වෙමින් වෙසක් දිනයට මාස දෙකකට පමණ පසු මෙම ඉතා වැදගත් අවස්ථාව සැමරීමට අපි වාසනාවන්ත වෙමු.

මේ සඳහා පහසුකම් සැලසීම හා අවශ්‍ය කටයුතු සම්බන්ධීකරණය කිරීම වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයට සහ සම සත්කාරක ආයතනවලට එනම්, නිව්යෝර්ක්හි පිහිටි තායිලන්ත හා ශ්‍රී ලංකා නිත්‍ය දූතමණ්ඩලවලට ද, අතිමහත් වැදගත්කමක් හා අදාළත්වයක් ඇති මෙම සැමරුමට එක්වීම වෙනුවෙන් ගෞරවනීය මහාසංඝයාට, තානාපතිවරුන්ට, නෝනාවරුන්ට හා මහත්වරුන්ට ද මම ස්තූතිවන්ත වෙමි.

ලොව පුරා වෙසෙන ලෝක ජනගහනයෙන් පහෙන් පංගුවකට වඩාත්ම පූජනීය යැයි සැලකෙන වෙසක් පුර පසළොස්වක දිනය, ගෞතම බුදුරජාණන් වහන්සේගේ උත්පත්තිය, බුද්ධත්වය සහ පිරිනිවන් පෑම සනිටුහන් කරන දිනයයි.

එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ සහ අනෙකුත් එක්සත් ජාතීන්ගේ කාර්යාලවල දී වෙසක් දිනයට ජාත්‍යන්තර පිළිගැනීමක් ලබා දීමේදී  ප්‍රමුඛ කාර්යභාරයක් ඉටුකිරීම වෙනුවෙන් එවකට ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යවරයා ව සිටි දිවංගත ගරු ලක්ෂ්මන් කදිර්ගාමර් මැතිතුමාට මාගේ ප්‍රණාමය පුද කිරීමට මම මෙය අවස්ථාවක් කර ගනිමි. ශ්‍රී ලංකාව, 1999 දී එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 54 වන සැසිවාරයේදී මෙම පියවර ගත් අතර එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් වෙසක් දිනය විශේෂ දිනයක් ලෙස ප්‍රකාශයට පත්කරනු ලබමින් බුදුන් වහන්සේට ගෞරව දක්වන මෙන් මහා මණ්ඩලයට යෝජනා කළාය.

බුදුන් සමයේ රෝග හා සාගතයෙන් විනාශ වූ ඉන්දියාවේ විසාලා මහ නුවර මෙන්ම, කොවිඩ්-19 වසංගතය ද ඒ සමඟ තවත් අවාසනාවන්ත තත්ත්වයන් රාශියක් උදාකර තිබේ. මානුෂීය අර්බුදයට තුඩුදෙන ව්‍යසනකාරී සෞඛ්‍ය බලපෑම් ආර්ථික පරිහානිය සහ සමාජීය හා මානසික ආතති මේ අතර වෙයි.

මේ කාලයේ දී, බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම් මගින් අපට මඟ පෙන්විය හැකිය. සතර බ්‍රහ්ම විහරණ වන"මෙත්තා"-මෛත්‍රිය මෙනෙහි කිරීම, "මුදිතා"-අනුකම්පා දැක්වීම, "කරුණා"-කරුණාව දැක්වීම සහ "උපෙක්ඛා"-මධ්‍යස්ථභාවයෙන් කටයුතු කිරීම මගින් මනුෂ්‍ය වර්ගයාගේ දුක් වේදනා සමනය කළ හැකි අතර විශ්වාසය හා අවබෝධය ජනිත කිරීමෙන් මනුෂ්‍ය වර්ගයා ශක්තිමත් කළ හැකිය.

“බුද්ධ ධර්මයේ” උපත වූයේ, සමකාලීනව පැවති විශ්වාසයන් පිළිබඳ පසුබිමට එරෙහිව, සියලු සත්වයින්ගේ දුක් වේදනා සඳහා විසඳුමක් පැහැදිලි කරන බුදුන් වහන්සේගේ ඉගැන්වීම්ය. ධර්මය යනු ආගමක් හෝ විශ්වාස පද්ධතියක් පමණක් නොව, ලොව පුරා සිටින සියලුම ජීවීන්ට සෑම දෙයකම යථා ස්වභාවය අවබෝධ කර ගැනීම සඳහා වන දර්ශනයක් සහ ජීවන මාර්ගයකි. එය දැනුමේ මාවතක් වන අතර, එහි ඉලක්කය කරා ළඟා වන්නේ අවිද්‍යාව එනම්, සැබෑ ස්වභාවය සහ පැවැත්මේ යථාර්ථය නොදැන සිටීම නිසා වෙනත් අය අතර විදහා දක්වන නිෂ්ඵල අහංකාර ස්වභාවය, විනාශ කිරීමත් සමඟය.

වසර 2600 කට පසුව ද, එහි අඩංගු නෛසර්ගික ප්‍රඥාව සහ සාරධර්ම හේතුවෙන් තවමත් එය සොයා යනු ලැබේ. එය අපගේ කරදරකාරී නූතන ලෝකයේ බොහෝ දෙනෙකුට සැනසිල්ල, සැනසීම සහ සන්සුන් භාවය ලබා දෙන අතර මනසේ සාමය සහතික කරයි. බුදුන් වහන්සේ අවධාරණය කරන්නේ, මිනිසෙකුගේ ඉරණම පිළිබඳ අධිපතියා තමාම වන බැවින්, සදාචාරාත්මකව හා අධ්‍යාත්මිකව දියුණු වීමට මිනිසෙකුට ඇති හැකියාව පිළිබඳව වන අතර, මිදීම, විමුක්තිය, ගැලවීම හෝ මෝක්ෂය පිළිබඳ අවසාන ඉලක්කය පවා ස්වයං-වර්ධනය කිරීමේ ප්‍රගතිශීලී මාවතක් හරහා ලබා ගත යුතුය

බුදුරජාණන් වහන්සේ අවස්ථා තුනකදී ශ්‍රී ලංකාවේ විවිධ පූජනීය ස්ථාන දාසයකට වැඩි සේක.

මීට වසර 2300 කට පෙර අරහත් මහින්ද මහා තෙර විසින් ඔහුගේ පියා වන අශෝක අධිරාජ්‍යයාගේ මඟ පෙන්වීම මත බුද්ධසානය හෝ සස්න ශ්‍රී ලංකාවේ ස්ථාපිත කරන ලද අතර ශ්‍රී ලංකාව මේ දක්වා බුදුන්ගේ ඉගැන්වීම් මුල් තත්ත්වයෙන්ම තබා ආරක්ෂා කරයි.

එක්සත් ජාතීන්ගේ යෝජනාවලිය 2000 දී සම්මත වූ දා සිට වාර්ෂිකව එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ සහ ලොව පුරා ඇති එහි කාර්යාලවල වෙසක් දිනය සමරනු ලැබීම සතුටට කරුණකි. මේ වසරේ පවා,  පෙර පරිදිම ගෞරව දක්වමින් හා සවිඥානකව මෙම සැමරීම් සිදු කිරීම තුළින් මෙම සම්ප්‍රදාය නොකඩවා පවත්වාගෙන යයි.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වෙසක් දිනය සැමරීම යථාර්ථයක් බවට පත් කළ සාමාජික රටවල නියෝජිත කණ්ඩායම්වලට  ශ්‍රී ලංකා රජය වෙනුවෙන් මාගේ බලවත් කෘතඥතාව පළ කරමි.

ඔබ සියලුදෙනාට සෞඛ්‍ය සම්පන්න, ප්‍රීතිමත් ජීවිතයක් හා සියලුම වර්ගයා පිළිබඳව හා ඔවුන්ගේ ජීවන තත්ත්වය පිළිබඳ සවිඥානක භාවයක් හා ස්වභාවධර්මයාට තත්ත්වාකාරයෙන් සැලකීමත් ප්‍රාර්ථනා කරමි.

බුදු වදන් උපුටා දක්වමින් මාගේ ප්‍රකාශය අවසන් කරමි,

“සියලු සත්වයෝ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා”.

සියලු  සත්ත්වයෝ සුරක්ෂිත වේවා,

සියලු සත්ත්වයෝ දුකින් මිදෙත්වා,

සියලු සත්ත්වයෝ සතුටින් හා ප්‍රීතියෙන් සිටිත්වා!

,

'சியலு சத்வயோ நிதுக் வெத்வாநீரோகி வெத்வாசுவபத் வெத்வா'.

 

எல்லா உயிரினங்களும் பாதுகாப்பாக இருக்கட்டும்,

எல்லா மனிதர்களும் துன்பத்திலிருந்து விடுபடட்டும்,

எல்லா மனிதர்களும் நன்றாகவும் மகிழ்ச்சியாகவும் இருக்கட்டும்!

Print Friendly, PDF & Email
Please follow and like us:

Close