2019 විසර්ජන පනත් කෙටුම්පත සලකා බැලීම විදේශ කටයුතු අමාත්‍යාංශය 2019 මාර්තු 26 වැනිදා

2019 විසර්ජන පනත් කෙටුම්පත සලකා බැලීම විදේශ කටයුතු අමාත්‍යාංශය 2019 මාර්තු 26 වැනිදා

2019 විසර්ජන පනත් කෙටුම්පත සලකා බැලීම
විදේශ කටයුතු අමාත්‍යාංශය
2019 මාර්තු 26 වැනිදා

 

විදේශ කටයුතු අමාත්‍ය ගරු තිලක් මාරපන මහතා (ජ.නී, පා.ම) විසින් පවත්වනු ලබන කථාව

 

ගරු කතානායකතුමනි,

වර්තමාන දේශීය සහ විදේශීය ප්‍රවණතා ගත් කල, ශ්‍රී ලංකා රාජ්‍යයේ අභිලාෂයන්ද, මෙරට සහ පිටරට වාසය කරන රටේ ජනතාවගේ සුබසාධනය හා අභිවෘද්ධියද ආරක්ෂා කොට ප්‍රවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකාවේ විදේශ සබඳතා ඵලදායි ලෙස කළමනාකරණය කිරීම අතිශයින් වැදගත් වෙනවා.

වාර්තාවලට ඇතුළත් කිරීම පිණිස මා මගේ සම්පූර්ණ කතාව සභාගත කරන අතර, ද්විපාර්ශ්වික, කලාපීය, බහුපාර්ශ්වික සහ ක්‍රියාකාරී ක්ෂේත්‍රවල විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් අත්පත් කරගෙන ඇති ප්‍රගතිය පිළිබඳව කරුණු දැක්වීමට අදහස් කරනවා. එමෙන්ම, ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තියේ දිශානතිය නව දෙසකට යොමුකිරීම ක්‍රියාවට නැංවීම සඳහා ගත් නව පියවර සම්බන්ධයෙන් විස්තර කිරීමටද මා කැමැතියි.

  1. විදේශ කටයුතු අමාත්‍යාංශය සහ විදේශයන්හි පිහිටි දූත මණ්ඩල ප්‍රති ව්‍යුහගත කිරීම

රටේ විදේශ ප්‍රතිපත්තියේ වර්තමාන අවශ්‍යතා පිළිබිඹු කිරීම සඳහාත් සේවා ලබා දීම අනුකූලනය කිරීම සඳහාත් 2019 වසරේදී අමාත්‍යාංශයේ පරිපාලන ව්‍යුහය අධ්‍යක්ෂ ජනරාල් කාර්යාල 15 යටතේ ප්‍රතිසංස්කරණයකට ලක් කිරීමට අපේක්ෂා කෙරෙනවා.  විදේශ දූත මණ්ඩල පාලන අංශය, මානව සම්පත් හා දූත මණ්ඩල කළමනාකරණ සහ විදේශ වත්කම් කළමනාකරණ හා සංවර්ධන යනුවෙන් අංශ දෙකකට බෙදූ බව විශේෂයෙන් සඳහන් කළ යුතුයි.

2018 දී සයිප්‍රසයේ නිකෝසියා නුවර කොන්සල් ජනරාල් කාර්යාලයක් විවෘත කරමින්, ශ්‍රී ලංකාවේ රාජ්‍ය තාන්ත්‍රික ජාලය පෘථුල කිරීමටද අමාත්‍යාංශය කටයුතු කළා. එය නිල වශයෙන් විවෘත කිරීමේ උත්සවයට මා 2019 මාර්තු මාසයේදී සහභාගී වුණා.

බඳවාගැනීම, පුහුණුව, තනතුරුවලට පත්කිරීම සහ උසස්වීම් ලබාදීමද  අප අවධානය යොමු කොට ඇති කාරණයක්. ශ්‍රී ලංකා විදේශ සේවයේ අනුමත නිලධාරී සංඛ්‍යාව 261 ක් වූවද වර්තමානයේදී අප සතුව සිටින්නේ නිලධාරීන් 188 දෙනකු පමණයි. විදේශ කටයුතු අමාත්‍යාංශයට ඵලදායී ලෙස කටයුතු කිරීම සඳහා විධිමත් සහ ක්‍රමානුකූල බඳවාගැනීම් කිරීම අවශ්‍යයි. ශ්‍රී ලංකා විදේශ සේවයේ 2018 කණ්ඩායම වශයෙන් බඳවා ගනු ලැබූ නිලධාරීන් 20 දෙනෙක් 2018 මැයි 02 වැනි දින වැඩ භාරගත්තා.

අමාත්‍යාංශය සිය සේවක පිරිස්වල, විශේෂයෙන්ම ශ්‍රී ලංකා විදේශ සේවයේ වෘත්තීමයභාවය වැඩිදියුණු කිරීම සඳහා ප්‍රයත්න දරන අතරම,  විදේශයන්හි පිහිටි ශ්‍රී ලංකා දූත මණ්ඩලවලට කෙරෙන පත්වීම්වලදී වෘත්තීමය ශ්‍රී ලංකා විදේශ සේවයේ නිලධාරීන් හට ප්‍රමුඛතාව ලබාදීමට වගබලා ගැනීමත් වැදගත් . මෙම සන්දර්භය තුළ , වෘත්තීමය විදේශ සේවා නිලධාරීන් සහ විදේශයන්හි පිහිටි ශ්‍රී ලංකා දූත මණ්ඩලවලට දේශපාලන වශයෙන් පත් කරනු ලබන්නන් අතර ඇති විසමතාවට පිළියම් යෙදීමට කටයුතු කෙරෙමින් තිබෙනවා.

විදේශ කටයුතු අමාත්‍යාංශයේ සහ විදේශයන්හි පිහිටි දූත මණ්ඩල 53 ක හා කොන්සල් ජනරාල් කාර්යාල/ නියෝජිත කාර්යාල 14 කසමස්ත කාර්ය සාධනය ඇගයීම 2018 වසරේදී හඳුන්වා දෙනු ලැබුවා. 2019 වසරේදී විදේශයන්හි පිහිටි දූත මණ්ඩල සහ අමාත්‍යාංශය තුළ ඇති අංශ වඩාත් විවේචනාත්මක ලෙස ඇගයීමට ලක් කෙරෙනු ඇති. ඒවායෙන් ලබා දෙන සේවය අපට සාධාරණීකරණය කිරීමට හැකි වනු පිණිස, ඉලක්ක සහ ප්‍රධාන කාර්ය සාධන දර්ශක සහිත ප්‍රමුඛතා ඔවුන් වෙත ලබා දෙනු ඇති .  අපගේ උපායමාර්ගික අරමුණු ඉෂ්ට කරගැනීමේ අරමුණෙන්, අපගේ නියෝජනය වඩාත් අවශ්‍ය කරන්නේ කවර ස්ථානවලටද යන්න ගැන අප ඉතා ගැඹුරු විශ්ලේෂණයක නිරත වී සිටිනවා.

  1. කොන්සියුලර් කටයුතු

මහ ජනතාව සමඟ කටයුතු කිරීමේදී විදේශ කටයුතු අමාත්‍යාංශයේ වැදගත්ම අතුරුමුහුණතක් වන්නේ කොන්සියුලර් කටයුතු අංශය හෙවත් ප්‍රදූත අංශයයි. වඩාත් යහපත් සහ කාර්යක්ෂම කොන්සියුලර් සේවා අමාත්‍යාංශයෙන් ලබාදීම පිණිස, පූර්ණ වශයෙන් ස්වයංක්‍රීය, කඩිනම් සහ කාර්යක්ෂම මෙන්ම අන්තර් ක්‍රියාකාරී සේවාවන් මහජනතාවට දෙන නව ඩිජිටල් ක්‍රමයක් 2017 මුල් භාගයේදී හඳුන්වා දෙනු ලැබුවා. විදේශයන්හි පිහිටි ශ්‍රී ලංකා දූත මණ්ඩලවලින් ලබාදෙන කොන්සියුලර් සේවා, විශේෂයෙන්ම සංක්‍රමණික සේවකයන් සහ ඔවුන්ගේ පවුල් වෙත ලබා දෙන සේවාවල ගුණාත්මකභාවය ඉහළ නැංවීම අරමුණු කරගත් වැඩසටහන්ද අමාත්‍යාංශය ක්‍රියාත්මක කළා. අමාත්‍යාංශය සිය දෙවැනි ප්‍රාදේශීය කොන්සියුලර් කාර්යාලය 2019 පෙබරවාරි මාසයේදී මාතරදී විවෘත කළා. 2017 වසරේදී එවැනිම කාර්යාලයක් යාපනයේදී ස්ථාපනය කරනු ලැබුවා.

සමෝධානික කොන්සියුලර් ජංගම සේවාවන් කිලිනොච්චියේදී සහ මන්නාරමේදී පවත්වා තිබෙනවා. 2018 අගෝස්තු 16 වැනි දින ස්වදේශ කටයුතු අමාත්‍යාංශයත් සමඟ අත්සන් තබනු ලැබූ අවබෝධතා ගිවිසුමක් මඟින් ලේඛන සත්‍යාපන සේවාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලින් ලබාගත හැකි වන පරිද්දෙන් විමධ්‍යගත කෙරුණා.

විදේශ ගමන් බලපත්‍ර ආදී ලියකියැවිලි ලැබීම ප්‍රමාද වීමෙන් විදේශගත ශ්‍රී ලාංකිකයන්ට රැකියා සහ වෙනත් අවස්ථා අහිමිවීම පිළිබඳව සැලකිල්ල යොමු කරමින් පණිවිඩකරු සේවාවක් ඔස්සේ නව විදේශ ගමන් බලපත්‍ර ලබා දීමේ කටයුත්තට පහසුකම් සැපයීමේ කඩිනම් ක්‍රමවේදයක් අපගේ දූත මණ්ඩල මඟින් ආරම්භ කිරීමට සූදානම් වෙනවා. දැනට එය නියමු ව්‍යාපෘතියක් වශයෙන් ඩුබායි නුවර පිහිටි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය හරහා ක්‍රියාත්මක වෙනවා.

  1. එක්සත් ජාතීන්ගේ සංවිධානය හා වෙනත් බහුපාර්ශ්වික හා කලාපීය සංවිධාන සමඟ සබඳතා

එක්සත් ජාතීන්ගේ සංවිධානය තුළ දී ප්‍රබල සහායක රටක් ලෙස මෙන්ම, නොබැඳි ව්‍යාපාරය (NAM), පොදුරාජ්‍ය මණ්ඩලය, 77 කණ්ඩායම හා වෙනත් බහුපාර්ශ්වික සංසදවල දී ක්‍රියාකාරී සාමාජිකයෙකු ලෙස ශ්‍රී ලංකාව බහුපාර්ශ්විකභාවය පිළිබඳ දිගටම කටයුතු කරනවා. යුරෝපා සංගමය, පොදුරාජ්‍ය මණ්ඩලය, සාර්ක් සංවිධානය, බිම්ස්ටෙක් සංවිධානය, ආසියාන් සංවිධානය, ඉන්දියානු සාගර කලාපීය සංවිධානය, බාලි ක්‍රියාදාමය, ආසියා සහයෝගිතා සංවාදය සහ ෂැංහයි සහයෝගිතා සංවිධානය ආදී කලාපීය සංවිධාන සමඟ අප පවත්වන සක්‍රීය සහසම්බන්ධතාව, සියලුම මට්ටමවලින් සිය විදේශ සබඳතා පැවැත්වීමෙහිලා රජය තුළ ඇති විනිවිදභාවය සහ ඵලදායිබව ප්‍රදර්ශනය කරනවා. ශ්‍රී ලංකාව දැනට බිම්ස්ටෙක් සංවිධානයේ සභාපතිත්වය දරන අතර ඉන්දියානු සාගර කලාපීය සංවිධානයේ සාමුද්‍රීය ආරක්ෂාව හා සුරක්ෂිතබව පිළිබඳ ස්තම්භයේ ප්‍රධාන සම්බන්ධීකාරක රාජ්‍යය වෙනවා. එමෙන්ම ශ්‍රී ලංකාව ආසියාවේ අන්තර්ක්‍රියාකාරීත්වය හා විශ්වාසය ගොඩනැංවීමේ පියවර පිළිබඳ සමුළුවේ (CICA)පූර්ණ සාමාජිකත්වය 2018 අගෝස්තු මාසයේදී ලබා ගත්තා. ආසියාන් සංවිධානයේ ආංශික සංවාදකාර තත්ත්වය ලබා ගැනීමටද ප්‍රයත්න දැරෙනවා.

නිරායුධකරණයට ඇති දිර්ඝ කාලීන කැපවීම ප්‍රදර්ශනය කරමින්, ශ්‍රී ලංකාවේ සභාපතිත්වය යටතේ,  වසර 22 ක් තිස්සේ එක් තැනක රැඳී පැවතීම අවසන් කරමින් නිරායුධකරණ සමුළුවේ ප්‍රධාන ගැටලුවලට අදාළ වන උපආයතන පහක් ස්ථාපිත කිරීම සඳහා සම්මුතිමය තීරණයක් (CD 2119) ගැනීමට 2018 ජනවාරි/ පෙබරවාරි මාසවලදී නිරායුධකරණ සමුළුවට හැකිවුණා. 2018 මාර්තු මාසයේදී පැවති පොකුරු යුධ අවි පිළිබඳ සම්මුතියේ  රාජ්‍ය පාර්ශ්වයන්ගේ රැස්වීමේ සභාපතිත්වයටද  ශ්‍රී ලංකාව පොදු එකඟතාවෙන් තෝරා පත් කරගැණුනා.

විද්‍යා හා තාක්ෂණ ක්ෂේත්‍රවල ප්‍රවර්ධනය සම්බන්ධයෙන් ගත්කල, ලෝක බුද්ධිමය දේපළ සංවිධානය (WIPO)සහ න්‍යෂ්ටික පර්යේෂණ පිළිබඳ යුරෝපීය සංවිධානය (CERN) සමඟ සම්බන්ධීකරණ කටයුතු කිරීම සඳහා අමාත්‍යාංශය වැදගත් භූමිකාවක් නිරූපණය කර තිබෙනවා.

අපගේ සංක්‍රමණික සේවකයන් ශ්‍රී ලංකාවේ ජාතික අයවැයට ලබා දෙන දායකත්වය සැළකිල්ලට ගනිමින්, සංක්‍රමණ කළමනාකරණය සඳහා ස්වේච්ඡා පාලන රාමුවක් සැපයීම මඟින්, 2018 දෙසැම්බර් මස සම්මත කරගත්සංක්‍රමණය පිළිබඳ ගෝලීය සංයුක්තය පිළිබඳ ක්‍රියාවලියට ජිනීවාහි හා නිව්යෝක් හි පිහිටි නිත්‍ය නියෝජිත කාර්යාල හරහා විදේශ කටයුතු අමාත්‍යාංශයක්‍රියාකාරීව සහභාගී වුණා.

එක්සත් ජාතීන්ගේ සාම සාධකප්‍රයත්නවලට ශ්‍රී ලංකාව දශක පහක් තිස්සේ ප්‍රමාණවත් දායකත්වයක් සපයා තිබෙනවා. මාලි රාජ්‍යයේ සාම සාධක මෙහෙයුම්වලට ශ්‍රී ලංකාවේ සාම සාධක භටයන් සහභාගී වීම ඒ අතරින් විශේෂයි. ගෝලිය සාමය හා ආරක්ෂාව වෙනුවෙන් එහිදී අපගේ සමහර භටයන් සිය ජීවිතය පවා පූජා කළා.

2018 - 2022 කාල සීමාව සඳහා යුනෙස්කෝ සංවිධානයේ අස්පෘශ්‍ය සංස්කෘතික උරුමය ආරක්ෂා කිරීම පිළිබඳ අන්තර් රාජ්‍ය කමිටුවට (ICH)තේරී පත්වීමට ශ්‍රී ලංකාවටහැකියාව ලැබුණා. එහිදී ශ්‍රී ලංකාව ඊට තේරී පත් වූයේ ඡන්ද 122ක් ලබා ගනිමින්.

ලොව සියලු බෞද්ධ රටවල සහයෝගය ඇතිව, යුනෙස්කෝ සංවිධානයේ ලෝක ස්මෘති ලේඛනයේ ථෙරවාදී ත්‍රිපිටකය ලියාපදිංචි කිරීමෙන් එය ලෝක උරුමයක් බවට පත්කිරීම සඳහා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකාව වැදගත් රාජ්‍ය තාන්ත්‍රික ප්‍රයත්නයක යෙදී සිටිනවා. ඒ සිය බෞද්ධ රාජ්‍යතාන්ත්‍රිකභාවයේ කොටසක් වශයෙන්. 2019 මාර්තු 23 වැනි දින මහනුවර ශ්‍රී දළදා මාලිගාවේදී පැවැති ගම්භීර උත්සවයකදී ථෙරවාද ත්‍රිපිටකය ලෝක උරුමයක් ලෙස ප්‍රකාශයට පත්කිරීමේ යෝජනාව අතිගරු ජනාධිපතිතුමා විසින් ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ නේවාසික නියෝජිත හනා සිංගර් මහත්මිය අතට භාරදීමෙන්මෙම රාජ්‍ය තාන්ත්‍රික ප්‍රයත්නය ඇරඹුණා. මේ ඓතිහාසික අවස්ථාව උදා වූයේ ජාතික වශයෙන්ද, විදේශයන්හි පිහිටි ශ්‍රී ලංකා දූත මණ්ඩල ජාලය හරහාද සැමරුණු ක්‍රියාකාරකම් අඩංගු සතියකට පසුවයි. මෙම වැදගත් කර්තව්‍ය සම්බන්ධයෙන් ජාත්‍යන්තර වශයෙන් දැනුම්වත් කිරීම මෙම ක්‍රියාකාරකම්වලින් සිදු කෙරුණා.

ත්‍රස්තවාදය, දේශ සීමා ඉක්මවමින් සිදු කරනු ලබන වෙනත් අපරාධ හා ප්‍රචණ්ඩකාරී අන්තවාදයේ හිස එසවීම මැඬලීමකෙරෙහි සිය සහයෝගීතාව හුවා දැක්වීමේ අරමුණින්, ත්‍රස්තවාදය සහ අපරාධ මැඩපැවැත්වීමේ පියවර, ආරක්ෂක හා නීතිය බලාත්මක කිරීමේ බලධාරීන්, වෙනත් අදාළ නියෝජිතායතන හා විදේශ රටවල පිහිටි අපගේ දූත මණ්ඩල සමඟ වඩාත් සමීපව සම්බන්ධීකරණය කිරීමට හැකිවනු සඳහා මෙම අමාත්‍යාංශයේ ත්‍රස්තවාදය මැඩපැවැත්වීම පිළිබඳ ඒකකයයළි පණගන්වා තිබෙනවා. ඉතාම වැදගත් කාරණාවක් වන්නේ, විදේශීය ආණ්ඩු මඟින් එල්ටීටීඊ සංවිධානයට ත්‍රස්ත සංවිධානයක් ලෙස පනවා ඇති තහනම දිගටම පවත්වා ගැනීමට අවශ්‍ය වූ සම්බන්ධීකරණ ප්‍රයත්නද මීට ඇතුළත් වීමයි.මෙම සන්දර්භය තුළ, තහනම් කළ ත්‍රස්ත සංවිධාන සමාලෝචනය කිරීමේ යුරෝපා සංගම් ක්‍රියාවලියට අවශ්‍ය තොරතුරු ලබා දීමද ඇතුළුව ත්‍රස්තවාදය මැඩපැවැත්වීමේ පියවර පිළිබඳව යුරෝපා සංගමය සමඟ මෙම අමාත්‍යාංශය අඛණ්ඩ සංවාද පවත්වලා තිබෙනවා.

දේශගුණික විපර්යාස ක්ෂේත්‍රය සම්බන්ධයෙන් ගත් කල, දේශගුණික විපර්යාස පිළිබඳ පැරිස් ගිවිසුමෙහි සඳහන්අරමුණු සාක්ෂාත් කර ගැනීමටත් 2030 තිරසර සංවර්ධන න්‍යායපත්‍රය ක්‍රියාත්මක කිරීමටත් ශ්‍රී ලංකාව කැපවී සිටිනවා. මෑතක දී ලන්ඩනයේ පැවැති පොදු රාජ්‍ය මණ්ඩලයීය ආණ්ඩු ප්‍රධානීන්ගේ රැස්වීමේදී, පොදුරාජ්‍ය මණ්ඩලයීය නීල ප්‍රඥප්තිය යටතේ කඩොලාන ප්‍රතිෂ්ඨාපනය කිරීම සඳහා වූ ක්‍රියාකාරී කණ්ඩායමට නායකත්වයදෙන්නට ශ්‍රී ලංකාව ප්‍රතිඥා දුන්නා. වඳවී යනසත්ත්ව හා ශාක විශේෂවල ජාත්‍යන්තර වෙළෙඳාම පිළිබඳ සම්මුතියේ(CITES) රාජ්‍ය පාර්ශ්වවල 18 වැනි රැස්වීමට මෙම වසරේදී ශ්‍රී ලංකාව සත්කාරකත්වය ලබා දෙනවා. එම රැස්වීමේ දීර්ඝ පෙර සූදානම් කටයුතු සම්බන්ධයෙන් අප අමාත්‍යාංශය අදාළ දේශීය පාර්ශ්වකරුවන් හා සයිටිස් ලේකම් කාර්යාලය සමඟ අවශ්‍ය සම්බන්ධීකරණ කටයුතු අඛණ්ඩව සිදු කරනවා.

ආසියානු ආර්ථිකයන්ගේ නැඟීම  මත පදනම්ව ගෝලීය බලය අපරදිග සිට පෙරදිගට සංක්‍රමණය වෙමින් තිබෙන අතර එම සංක්‍රමණය අනුව ආසියාව යළි නිර්මාණය වෙමින් තිබෙනවා. මෙම සංක්‍රාන්තියේ මුඛ්‍යතම වේදිකාව වන්නේ, ලෝකයේ කාර්යබහුලම මෙන්ම ඉතාම වැදගත් වෙළෙඳ මාර්ගයක් ලෙස මතු වී ඇති ඉන්දියානු සාගරයයි.විදේශ කටයුතු අමාත්‍යාංශයේ සාගර කටයුතු, පරිසර හා දේශගුණ විපර්යාස අංශය පිහිටුවා ඇත්තේමේ ක්ෂේත්‍ර කෙරෙහි විශේෂිත විදේශ ප්‍රතිපත්තිමය අවධානයක් වැඩිපුර යොමු කිරීම පිණිසයි. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ නායකත්වය යටතේ, “ඉන්දියානු සාගරය;  අපගේ අනාගතය නිර්වචනය කිරීම” යන මැයෙන් වූ සංවාදය ඉන්දියානු සාගරය ආශ්‍රිත රටවල් හා එම සාගරය භාවිතා කරන රටවල් 40 ක 300 කට අධික නියෝජිතයන්ගේ සහභාගීත්වයෙන් 2018 ඔක්තෝබර් මාසයේදී පැවැත්වීමට අමාත්‍යාංශය මුල් වුණා. 2019 මැද භාගයේදී අමාත්‍ය සමුළුවක් පැවැත්වීම සඳහා අප අමාත්‍යාංශය කටයුතු කරන්නේ මීට පෙර පැවැති සාකච්ඡාවලදී එකඟ වූ ඇතැම් සම්මුති විධිමත්භාවයට පත් කිරීමේ අරමුණෙනුයි . මෙම ප්‍රයත්න ඉන්දියානු සාගර කලාපයේ සාමය හා ආරක්ෂාවට දායක වනවා පමණක් නොව අන්‍යොන්‍ය වශයෙන් වැදගත්වන කරුණු සම්බන්ධයෙන් නායකත්වය දීමේ හැකියාව ඇති, සම්මුති ගොඩනඟන කොටස්කරුවකු හැටියට ශ්‍රී ලංකාවේ තත්ත්වයද යළි තහවුරු කරනවා.

2018 වසරේ දී මෙන්ම, 2019 වසරේ මුල් මාස කිහිපය තුළ දී ද  යුරෝපා  සංගමය සමඟ ශ්‍රී ලංකාවේ සබඳතාවය ඉහළ යමින් පවතිනවා. 2018 ජනවාරියේ දී හා 2019 පෙබරවාරියේ දී, වෙළෙඳ, සංස්කෘතික, අධ්‍යාපනික, සංක්‍රමණික, ත්‍රස්තවිරෝධී,මානව හිමිකම්, යහපාලනය යනාදී සබඳතාවලට අදාළ වන කරුණු ගණනාවක් පිළිබඳව යුරෝපා සංගම්-ශ්‍රී ලංකා ඒකාබද්ධ කොමිසම යටතේ නිරන්තර සංවාදයන් පැවතුණා. ජී.එස්.පී.ප්ලස් පහසුකමෙන් සෑම මට්ටමකම අපනයන කරුවන් සඳහා ප්‍රතිලාභ ලබා දෙමින් රටේ ආර්ථික වර්ධනයට දායක වීම සඳහා ජී.එස්.පී.ප්ලස් සහන භාවිතය ඉහළ නංවා ගැනීම පිළිබඳ සංවාදයක් ශ්‍රී ලංකාව යුරෝපා සංගමය සමඟ ආරම්භ කොට තිබෙනවා.

2018 අප්‍රේල් මස ලන්ඩනයේ පැවති පොදු රාජ්‍ය මණ්ඩලයීය ආණ්ඩු ප්‍රධානීන්ගේ රැස්වීම (CHOGM) සඳහා අතිගරු ජනාධිපතිතුමාගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා නියෝජිත පිරිස සහභාගී වුණා. පොදු රාජ්‍ය මණ්ඩලයීය මහ ලේකම්වරිය 2016 වසරේ සිය ධුරයේ රාජකාරි භාරගැනීමෙන් අනතුරුව, 2018 අගෝස්තු 01-04 දිනවල දී ප්‍රථමවරට ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වුණා. ගැටුම් හා නියඟ වැනි ස්වභාවික ආපදා හේතුවෙන් විනාශයට පත්වූ හෙක්ටෙයාර 10 ක කැළෑ ප්‍රදේශයක් නැවත වගා කිරීම සඳහා “රැජිණගේ පොදු රාජ්‍ය මණ්ඩලයීය හරිත වියන“ (QCC) යටතේ ශ්‍රී ලංකාව පියවර ගෙන තිබීම පිළිබඳව පොදු රාජ්‍ය මණ්ඩලයීය මහ ලේකම්වරිය ප්‍රශංසාව පුද කර තිබෙනවා.

  1. ද්විපාර්ශ්වික සබඳතා

 

පසුගිය වසර කිහිපය තිස්සේ වැදගත් ද්විපාර්ශ්වික හා කලාපීය සබඳතා ශක්තිමත් කරගැනීමට අප දැවැන්ත ප්‍රයත්නයක් දියත් කර තිබෙනවා. දැනට පවතින සබඳතා තවත් තහවුරු කරගන්නා අතරමවඩාත් ප්‍රත්‍යක්ෂ ප්‍රතිඵල ලබාගැනීමේ අටියෙන්ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය සකස්කිරීමේ කටයුත්තේදී මීට පෙර අවධානය යොමු නොවූ රටවල් සහ කලාප සමඟ වඩාත් සහයෝගී ලෙස රාජ්‍යතාන්ත්‍රික සහසම්බන්ධතා පැවැත්වීම කෙරෙහි අවධානය යොමු කරන්නටත්එම ක්‍රියා පිළිවෙළ සාධාරණීකරණය කරන්නටත් අමත්‍යාංශය දැන් ප්‍රධාන වශයෙන් අවධානය යොමු කොට තිබෙනවා. මේ සම්බන්ධයෙන් ගත් කල, 2019වසරේදීඅප්‍රිකානු මෙන්ම ලතින් අමෙරිකානු සහ කැරීබියානු කලාප සමඟ ශ්‍රී ලංකාවේ සබඳතා පුළුල් කොට ශක්තිමත් කර ගැනීමට  අමාත්‍යංශය කටයුතු කරනවා ඇති.

  1. ආර්ථික කටයුතු

වෙළෙඳාම, ආයෝජනය, සංචාරක කටයුතු හා විදේශ රැකියාවල වගකීම දරන ප්‍රධාන පෙළේ රාජ්‍ය ආයතන හා පෞද්ගලික අංශය සහ විදේශයන්හි පිහිටි ශ්‍රී ලංකා දූත මණ්ඩල අතර සම්බන්ධතා ප්‍රවර්ධනය කරන උත්ප්‍රේරකයක් වශයෙන් 2018 මැද භාගයේදී විදේශ කටයුතු අමාත්‍යාංශයේ ආර්ථික කටයුතු අංශය ආර්ථික රාජ්‍යතාන්ත්‍රිකභාවය පිළිබඳ වැඩසටහන දියත් කළා. ඔබ ඉදිරිපිට ඇති ප්‍රකාශනයේ සඳහන් වී ඇති ආකාරයට, ආර්ථික රාජ්‍යතාන්ත්‍රිකභාවය පිළිබඳ වැඩසටහනේ මෙම සංඝටක අඩංගු වෙනවා:තෝරාගත් වෙළෙඳෙපොළවල ආර්ථික ප්‍රවර්ධනය කිරීම සඳහා දූත මණ්ඩලවලට ආර්ථික දර්ශක සහ කාර්ය සාධන ඉලක්ක ලබාදීම;තෝරාගත් රටවලින් පැමිණි මධ්‍යම මට්ටමේ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් සඳහා වූ ශ්‍රී ලංකා විදේශ සබඳතා සහ ආර්ථික රාජ්‍යතාන්ත්‍රිකභාවය පිළිබඳ සංවාදය; සහ බහුවිධ ක්ෂේත්‍ර පුරා විහිදෙන නියමු ව්‍යාපෘති රැසක් ආරම්භ කිරීම. එම සංඝටකයි.

  1. මහජන රාජ්‍යතාන්ත්‍රිකභාවය

විදේශ කටයුතු අමාත්‍යාංශය මහජනතාව වෙත ළඟාවීමේ මං වැඩි දියුණු කිරීම සඳහා පියවර රැසක් ගෙන තිබෙනවා. මෙහිලා මුල් පියවරක් ලෙස, වර්තමාන ප්‍රවණතාවලට ප්‍රතිචාර දැක්වීම පහසු කරලීම සඳහා අමාත්‍යාංශයේ මහජන රාජ්‍යතාන්ත්‍රිකභාවය පිළිබඳ අංශය ප්‍රතිසංවිධානය කෙරෙමින් තිබෙන අතර අමතර සම්පත් හා කාර්ය මණ්ඩලය ලබාදීමෙන් එම අංශය ශක්තිමත් කොට තිබෙනවා.සිය නිලධාරී පිරිස්වල කුසලතාවන්, විශේෂයෙන්ම ශ්‍රී ලංකා විදේශ සේවයට මෑතකදී බඳවා ගනු ලැබූ නිලධාරීන් 19 දෙනාගේ කුසලතාවන් වැඩිදියුණු කිරීමේ අරමුණෙන් ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය හා එක්ව 2018 දෙසැම්බර්/ 2019 ජනවාරි මාසවලදී මහජන රාජ්‍යතාන්ත්‍රිකභාවය පිළිබඳ සති දෙකක පුහුණු වැඩසටහනක් සංවිධානය කෙරුණා. මහජන රාජ්‍යතාන්ත්‍රිකභාවය පිළිබඳ පූර්ණ ප්‍රතිපත්තියක්, විශේෂයෙන්ම ඵලදායි මහජන සන්නිවේදනය හා සමාජ මාධ්‍ය මෙවලම් භාවිතා කිරීම සම්බන්ධයෙන්අමාත්‍යාංශය මෙන්ම විදේශයන්හි පිහිටි දූත මණ්ඩල විසින් ප්‍රයෝජනයට ගත හැකි අත්පොතක් වශයෙන් නිර්මාණය කිරීමේ කටයුත්තේ අමාත්‍යාංශය නියැලී සිටිනවා. පාරසමුද්‍රීය ශ්‍රී ලාංකිකයන් සමඟ වඩාත් හොඳින් සහසම්බන්ධවීමේ මෙවලමක් වශයෙනුත්, හදිසි අවස්ථාවන්හිදී භාවිතා කළ හැකි වටිනා සන්නිවේදන මෙවලමක් වශයෙනුත් මහජන රාජ්‍යතාන්ත්‍රිකභාවය යොදා ගැනීමට අප අපේක්ෂා කරනවා.

  1. ප්‍රතිපත්ති සැලසුම් සහ පර්යේෂණ

පර්යේෂණ පදනම් කරගෙන විදේශ ප්‍රතිපත්තිය සැකසීමේ ක්‍රියාවලියේ සුවිසල් රික්තකයක් හඳුනා ගනිමින්, 2019 වසරේදී අමාත්‍යාංශය ප්‍රතිපත්ති සැලසුම් හා පර්යේෂණ අංශය ස්ථාපිත කළා. මෙම අංශය පිහිටුවීමේ අරමුණ වන්නේ පර්යේෂණ පැවැත්වීම, අද්‍යතන ගෝලීය වශයෙන් වැදගත් කරුණු සම්බන්ධයෙන් විශ්ලේෂණය කිරීම, ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තියේ විශේෂිත සාධක සම්බන්ධයෙන් ප්‍රතිපත්ති පත්‍රිකා සකස් කිරීම සහ විදේශ කටයුතු අමාත්‍යාංශයේ දීර්ඝ කාලීන උපාය මාර්ගික සැලසුම්කරණයට දායක වන දැනට පවත්නා ප්‍රතිපත්ති සම්බන්ධයෙන් තක්සේරුවකට එළැඹීම ආදියයි. කෙටි හා මධ්‍ය කාලීන වශයෙන්, විදේශ ප්‍රතිපත්ති ධවල පත්‍රිකාවක් සකස් කිරීම සඳහා ප්‍රතිපත්ති සැලසුම් හා පර්යේෂණ අංශය කටයුතු කරනු ඇති. එය ක්‍රියාත්මක කළ හැකි කාල සටහනකින් සමන්විත, සියල්ල කැටිකොට ගත් ප්‍රතිපත්ති ප්‍රකාශනයක් වෙතැයි අපේක්ෂා කෙරෙනවා. විදේශ ප්‍රතිපත්තිය සම්බන්ධ සියලු කොටස්කරුවන් එහිලා එකට එක්වන අතර, ජාත්‍යන්තර ක්ෂේත්‍රයේදී ශ්‍රී ලංකාවේ ජනතාවට උපරිම ප්‍රතිලාභ ලබා දෙන සුපැහැදිලි කාර්ය සැලසුමක් එහිදී සකස් කෙරෙනු ඇති.

විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රතිපත්ති සැලසුම් හා පර්යේෂණ අංශය, ජාත්‍යන්තර සබඳතා හා ක්‍රමෝපාය අධ්‍යයනය පිළිබඳ ලක්ෂ්මන් කදිර්ගාමර් ආයතනය සහ බණ්ඩාරනායක ජාත්‍යන්තර රාජ්‍ය තාන්ත්‍රික පුහුණු ආයතනය සමඟ සමීප සහයෝගයෙන් කටයුතු කරනවා.

  1. මානව හිමිකම්

අවසාන වශයෙන්, මානව හිමිකම් විෂයෙහි අපගේ අඛණ්ඩ සහසම්බන්ධවීම ගත් කල, මානව හිමිකම් කවුන්සිලයේ 40 වැනි සැසිවාරයට සහභාගීවීමෙන් අනතුරුව මා ජිනීවා නුවර සිට පෙරළා පැමිණියේ ඊයේ දිනයේ බැවින් එහිදී අප පැවැත්වූ සාකච්ඡාවල ප්‍රතිඵලය කුමක් වීදැයි දැනගැනීමේ අවශ්‍යතාව ඔබ තුළ තිබෙන බව මා දන්නවා. ඔබ දන්නා පරිදි ගරු ආචාර්ය සරත් අමුණුගම මහතා, උතුරු පළාතේ ආණ්ඩුකාර ගරු ආචාර්ය සුරේන් රාඝවන් මහතා මෙන්ම විදේශ කටයුතු ලේකම් රවිනාථ ආර්යසිංහ, නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් නෙරින් පුල්ලේ සහ එක්සත් ජාතීන් සඳහා වූ නිත්‍ය නියෝජිත තානාපති ඒ.එල්.ඒ. අසීස් යන මහත්වරුන් මෙන්ම නියෝජ්‍ය නිත්‍ය නියෝජිත සමන්තා ජයසූරිය මහත්මිය ඇතුළු රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් මා සමඟ එම සැසියට සහභාගී වුණා.මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් මිෂෙල් බැෂෙලෙට් මහත්මිය, ජිනීවා නුවර එක්සත් ජාතීන්ගේ කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල් මයිකල් මොලර් මහතා වගේම ජිනීවා නුවර සිටින විදේශ තානාපතිවරුන් සහ එක්සත් ජාතීන්ගේ නියෝජිතායතනවල නියෝජිතයන් ද්විපාර්ශ්වික වශයෙන් හමුවී සාකච්ඡා කිරීම අවස්ථාව මට ලැබුණා.

මානව හිමිකම් මහකොමාසරිස් කාර්යාලය විසින් කවුන්සිලයට ඉදිරිපත් කරනු ලැබූ වාර්තාවට ප්‍රතිචාර දැක්වීමට අදාළ රට වශයෙන් ශ්‍රී ලංකාවටත් අවස්ථාව ලැබුණා. 2017 සිට මානව හිමිකම් පිළිබඳ සහතික වෙමින් ශ්‍රී ලංකාව ලබා ඇති සැලකියයුතු තරමේ ප්‍රගතිය පිළිබඳව මා කරුණු දැක්වූවා. මහකොමසාරිස්වරියගේ අංක A/HRC/40/23 දරන වාර්තාවෙන් ශ්‍රී ලංකාවේ සාමාන්‍ය මානව හිමිකම් තත්ත්වය සම්බන්ධයෙන් ඇති වී ඇති දියුණුව ප්‍රශංසාවට ලක් කෙරුණා වගේම සාකච්ඡාවට එක්වූ සාමාජික රටවල් විසින්ද ප්‍රශංසාවට ලක් කෙරුණා.  සංහිඳියාව උදා කර ගැනීමට ශ්‍රී ලංකාව තුළ ඇති කැපවීමත්, සත්‍යය, යුක්තිය, හානිපූරණය සහ නැවත ඇති නොවීමේ සහතික සම්බන්ධයෙන් ගෙන ඇති පියවරත් මා යළිත් ප්‍රකාශ කළා.

මානව හිමිකම් කවුන්සිලය අමතා මා කළ කතාවේදීත්, ඉන් අනතුරුව අප මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් මිෂෙල් බැෂෙලෙට් මහත්මිය සමඟ පැවැත්වූ හමුවකදීත්, මන්නාරමේ සමූහ මිනීවළ සම්බන්ධයෙන් හා  උතුරු හා නැගෙනහිර පළාත්වල ආරක්ෂක හමුදා විසින් රඳවාගෙන ඇති ඉඩම් සම්බන්ධයෙන් ඇගේ වාර්තාවේ සඳහන් ඇතැම් වැරදි තොරතුරු සම්බන්ධයෙන් අපගේ කනස්සල්ල මා පළ කළා. බිම් මට්ටමේ ඇති කරුණු තහවුරු කරගැනීමෙහිලා අදාළ දේශීය ආයතනත්, ජාතික මානව හිමිකම් කොමිසම ඇතුළු ස්වාධීන ආයතනත් සමඟ සමීප සහසම්බන්ධතාවක් පැවැත්වීමේ වැදගත්කම මා ඇයට තරයේ කියා සිටියා.

ජාත්‍යන්තර ප්‍රජාවේ වගකිවයුතු සාමාජිකයකු වශයෙන්, සංහිඳියාව උදාකර ගැනීමටත් මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීමටත් කවුන්සිලයේදී ශ්‍රී ලංකාව දැනටමත් ලබාදී ඇති තිර ප්‍රතිඥාව ඉටු කරන බව යළි තහවුරු කරන අතරම,  මානව හිමිකම් මහකොමසාරිස් කාර්යාල වාර්තාවට අප ලබාදුන් ප්‍රතිචාරය මඟිනුත්, මේ වසරේ යෝජනා සම්මතයට සම අනුග්‍රාහකත්වය දැක්වීම මඟිනුත්, අපගේ සහසම්බන්ධතාවේ ගතිකයන් යළි ක්‍රමාංකණය කරන්නටත් සංක්‍රාන්තික යුක්ති ක්‍රියාදාම මගේ කතාවේ සඳහන් පරාමිතීන්වලින් මාර්ගෝපදේශනය ලබනු ඇති බව හා එය ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සහ දේශීය නෛතික රාමුවේ තිර ලෙස පිහිටා සිටිනු ඇති බව අවධාරණය කරන්නටත් අපට පුළුවන් වුණා.

30/1 යෝජනා සම්මතයේ අඩංගු ප්‍රතිඥා ක්‍රියාත්මක කිරීම සඳහා 2021 මාර්තු මාසය තෙක් වසර දෙකක කාල දිගුවක් ලබා දෙන 40/L.1 යෝජනා සම්මතයට මෙම සැසිවාරයේදී ශ්‍රී ලංකාව සම අනුග්‍රාහකත්වය ලබා දුන්නා. එම 40/L.1 යෝජනා සම්මතයට ශ්‍රී ලංකාව පූර්ණ ලෙස හිමිකම් කීමේ වැදගත්කම මා මගේ කතාවේදී අවධාරණය කළා.  මීට පෙර දෙවතාවක් කළාක් මෙන් මේ වසරේද යෝජනා සම්මතයට ශ්‍රි ලංකාව සම අනුග්‍රහය දැක්වීමේදී එය සතු වූ චේතනාව මා පැහැදිලි කර දුන්නා. අප විසින් තරණය කළ යුතු දේශපාලනමය, නෛතික හා සමාජයීය බාධක සම්බන්ධයෙන් අප තුළ මුළාවක් නෑ. මෙම ගැටලුව ක්‍රමික අවසානයක් කරා රැගෙන ඒම සහතිකවීම පිණිස, කලින් කියන ලද පරාමිතීන් තුළ අප අඛණ්ඩව ඉදිරියට ගමන් කරන බව මේ වසරේ යෝජනා සම්මතයට සම අනුග්‍රහය දැක්වීම මඟින් ශ්‍රී ලංකාව සියලු කොටස්කරුවන්ටත්, පෘථුල ශ්‍රී ලාංකික සමාජයටත්, රටෙන් පිට සිටින අපගේ සංවාදකයන්ටත් සහතික වෙනවා.

ගරු කතානායකතුමනි,

“සියල්ලන් සමඟ මිතුරුබව; කිසිවකු කෙරෙහි නැත සතුරුබව” යන අපගේ විදේශ ප්‍රතිපත්තියේ මුඛ්‍ය ශික්ෂාව මත තිර ලෙස පදනම් වෙමින්, ඉහත කී අභිලාෂයන් පෙරදිග සිට අපරදිගට විහිදෙන සබඳතාවල ගෝලීය ජාලයක් මඟිනුත්, එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළු බහුපාර්ශ්වීය ආයතන සමඟ පවත්වන සහසම්බන්ධතාව මඟිනුත් අභිවර්ධනය කරන්නට ඉකුත් වසර කිහිපය තිස්සේ මගේ අමාත්‍යාංශය ඉතා හොඳින් සිතා මතා ප්‍රයත්න දරා තිබෙනවා.

අවසාන වශයෙන්, ශ්‍රී ලංකාවේ අභිලාෂයන් විදේශයන්හි ප්‍රවර්ධනය කොට ආරක්ෂා කරන්නටත්, ශ්‍රී ලංකාවේ ජාතික අභිලාෂය, ස්වාධිපත්‍යය සහ අනන්‍යතාව ආරක්ෂා කරන්නටත් ස්වාධීන, ඍජු සහ නොබැඳි ආකාරයකින් අමාත්‍යාංශය අඛණ්ඩවම සිය විදේශ සම්බන්ධතා පවත්වනු ඇති . මේ මූලික මෙන්ම අතිශය වැදගත් මූලිකාංග රටේ සහ ශ්‍රී ලංකාවේ ජනතාවගේ වැඩිතර සෞභාග්‍යය කරා කටයුතු කිරීමේ අරමුණට අනුපූරකයක් සපයනවා.

ස්තූතියි.

Print Friendly, PDF & Email
Please follow and like us:

Close