මියන්මාරයේ මියවඩි ප්‍රදේශයේ සයිබර් අපරාධ මධ්‍යස්ථානවලින්  ශ්‍රී ලාංකිකයන් දාහතර දෙනකු මුදා ගැනේ.

මියන්මාරයේ මියවඩි ප්‍රදේශයේ සයිබර් අපරාධ මධ්‍යස්ථානවලින්  ශ්‍රී ලාංකිකයන් දාහතර දෙනකු මුදා ගැනේ.

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය විසින් මියන්මාරයේ සහ තායිලන්තයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාල සමඟ සම්බන්ධීකරණයෙන් සහ මියන්මාර සහ තායිලන්ත රජයන්හි සහය සහිතව, මියන්මාරයේ මියවඩි ප්‍රදේශයෙහි සයිබර් අපරාධ මධ්‍යස්ථාන විසින් මානව ජාවාරමට ලක්කොට බලහත්කාරයෙන් සේවයේ යොදවා සිටි ශ්‍රී ලාංකිකයන් 14 දෙනකු මුදා ගනු ලැබීමට සාර්ථකව පහසුකම් සලසන ලදී. මෙම ශ්‍රී ලාංකිකයන් 14 දෙනා 2025 මාර්තු 18 වැනි දින මෙරටට ගෙන්වා ගැනීමට නියමිතය.

2024 පෙබරවාරි 3 වැනි දින මියන්මාරයේ නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ මධ්‍යම රජයේ විදේශ කටයුතු අමාත්‍ය යූ තාන් ස්වේ මහතා සමඟ සහ 2025 පෙබරවාරි 13 වැනි දින තායිලන්තයේ විදේශ කටයුතු අමාත්‍ය මෙරිස් සංගියම්පොන්සා මහතා සමඟ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා විසින් පවත්වන ලද දුරකථන සංවාද ඇතුළුව ශ්‍රී ලංකාව විසින් සිදු කරන ලද අඛණ්ඩ රාජ්‍යතාන්ත්‍රික ප්‍රයත්නයන්ගේ ප්‍රතිඵලයක් වශයෙන් මෙම මුදා ගැනීම සාර්ථකව කළ හැකි විය. මෙකී දුරකථන සංවාද දෙකෙහිදීම මානව ජාවාරමට ලක් වූ ශ්‍රී ලාංකිකයන් මුදා ගැනීම සහ මෙරටට ගෙන්වා ගැනීම සඳහා කඩිනම් සහය අවශ්‍ය බව අමාත්‍ය විජිත හේරත් මහතා විසින් අවධාරණය කරන ලදී.

මානව ජාවාරමට ලක් වූ ශ්‍රී ලාංකිකයන් මුදා ගනු ලැබීමට සහ ආරක්ෂිතව මෙරටට ගෙන්වා ගැනීමට ලබා දුන් මහඟු සහය සඳහා විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය, මියන්මාර සහ තායිලන්ත රජයන් වෙත සිය හෘදයාංගම කෘතඥතාව පළ කරයි. මෙකී කාරයභාරයේදී, ජාත්‍යන්තර ගුවන් ගමන් පහසුකම් මෙන්ම අභ්‍යන්තර ප්‍රවාහන පහසුකම් සම්පාදනය කර දීම වෙනුවෙන් ජාත්‍යන්තර සංක්‍රමණ සංවිධානය වෙත මෙන්ම සුභසාධනීය වශයෙන් ලබා දුන් සහයෝගය සඳහා මියන්මාරයේ පිහිටා ඇති අනෙකුත් රාජ්‍ය නොවන සංවිධාන වෙතද කෘතඥතාව පළ කෙරේ.

මියන්මාර සහ තායිලන්ත බලධාරීන්ගේ අඛණ්ඩ සහයෝගය සහ තායිලන්තයේ සහ මියන්මාරයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාල සමඟ සහයෝගයෙන් යුක්තව, ඉතිරිව සිටින මානව ජාවාරමට හසු වූ ශ්‍රී ලාංකිකයන් මුදා ගැනීම සහ සියරට ගෙන්වා ගැනීම සහතික කිරීම සඳහා අමාත්‍යාංශය කැපවී සිටියි.

විදේශ රැකියා සඳහා අයැදුම් කරන විට මානව ජාවාරම් පිළිබඳව විශේෂයෙන් සුපරීක්ෂාකාරී වන ලෙස අමාත්‍යාංශය මහජනතාවගෙන් තරයේ ඉල්ලා සිටියි. විදේශ රැකියා අවස්ථා පිළිගැනීමට පෙර රජය විසින් අනුමත කරන ලද ක්‍රියා පරිපාටි දැඩි ලෙස පිළිපැදීමටත්, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සමඟ රැකියා අවස්ථා සත්‍යාපනය කර ගැනීමටත් ශ්‍රී ලාංකිකයින්ට උපදෙස් දෙනු ලැබේ.

විදේශ කටයුතුවිදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය

කොළඹ

 2025 මාර්තු 17 වැනි දින

Please follow and like us:

Close