​Swedish and Sri Lankan Foreign Ministers agree to strengthen bilateral engagement in all spheres

​Swedish and Sri Lankan Foreign Ministers agree to strengthen bilateral engagement in all spheres

සියලුම ක්ෂේත්‍ර හා සබැඳි ද්විපාර්ශ්වික කටයුතු ශක්තිමත් කිරීම සඳහා ස්වීඩනයේ සහ ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යවරු සිය එකඟත්වය පළ කරති

දෙවැනි වරට පැවැත්වෙන යුරෝපා සංගම් - ඉන්දු පැසිෆික් සංසදයට සහභාගී වීම සඳහා ස්ටොක්හෝම් නුවර බලා පිටත්ව ගිය විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මැතිතුමා, ස්වීඩනයේ විදේශ කටයුතු අමාත්‍ය ටොබියාස් බිල්ස්ට්‍රෝම් මැතිතුමා සමඟ සුහද ද්විපාර්ශ්වික සාකච්ඡාවක් පැවැත්වී ය. දෙරටේ ද්විපාර්ශ්වික සබඳතාවට අදාළ සෑම ක්ෂේත්‍රයකම කටයුතු ශක්තිමත් කිරීම සඳහා ඔවුහු මෙහිදී සිය එකඟත්වය පළ කළ හ.

දෙරට සහ ජනතාව අතර දශක ගණනාවක් මුළුල්ලේ පවත්නා ඉපැරණි සහ බහුවිධ හවුල්කාරිත්වය පිළිබඳව සිහිපත් කළ ඔවුන් දෙපළ, 1949 වසරේ දී දෙරට අතර පිහිටුවන ලද රාජ්‍යතාන්ත්‍රික සබඳතාවලට වසර 75 ක් සපිරීමේ සංවත්සරය 2024 වසරේ දී සැමරීම සඳහා සිය එකඟත්වය පළ කළ හ.

දේශපාලන, ආර්ථික සහ සංවර්ධන ක්ෂේත්‍ර පිළිබඳව මෙන්ම දෙරටේ දිගුකාලීන සබඳතාවලට බාධා එල්ල කරන සියලුම ක්ෂේත්‍ර පිළිබඳව ද අමාත්‍ය සබ්රි මැතිතුමා සහ අමාත්‍ය බිල්ස්ට්‍රෝම් මැතිතුමා මෙහිදී සාකච්ඡා කළ හ.

දෙරට අතර පවත්නා ආර්ථික සහයෝගීතාව කෙරෙහි දැඩි අවධානයක් යොමු කළ අමාත්‍යවරු දෙපළ ආයෝජන, වෙළඳාම, තොරතුරු තාක්ෂණය, දේශගුණය සහ පරිසරය ඇතුළු ක්ෂේත්‍ර කිහිපයක් සම්බන්ධයෙන් එක්ව කටයුතු කිරීම සඳහා සිය එකඟත්වය පළ කළ හ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ මූල්‍ය පහසුකම යටතේ ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීමෙහිලා ශ්‍රී ලංකාව අනුගමනය කරන ක්‍රියා පිළිවෙත පිළිබඳව ද අමාත්‍ය සබ්රි මැතිතුමා මෙහිදී සිය මිත්‍ර පාර්ශ්වය දැනුම්වත් කළේ ය. ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා පැවැත්වූ අතරවාරයේ දී ස්වීඩනය පැරිස් සමාජය හරහා මෙරටට පළ කළ සහයෝගය අමාත්‍යවරයාගේ ඇගයුමට ලක් විය.

ආර්ථික සබඳතා පිළිබඳව පවත්වන ලද සාකච්ඡා ප්‍රධාන වශයෙන් වෙළඳාම වැඩිදියුණු කිරීම, ස්වීඩනයේ සැපයුම් දාම සඳහා වන නිෂ්පාදන පදනම විවිධාංගීකරණය කිරීම, තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රය ආශ්‍රිත ව්‍යාපාරික සම්බන්ධතා තවදුරටත් වැඩිදියුණු කිරීම, නිෂ්පාදන, සංචාරක ව්‍යාපාරය සහ ආයෝජන යන අංශ කෙරෙහි යොමු වූ අතර, මෙහිදී ශ්‍රී ලංකාවේ උපායමාර්ගික පිහිටීම සහ කොළඹ වරාය නගරය තුළ නැගී එන මූල්‍ය කේන්ද්‍රස්ථානය පිළිබඳව විශේෂ අවධානය යොමු කෙරිණි. ස්වීඩනයේ සහ ගෝලීය සැපයුම් දාම සඳහා සැපයුම් ප්‍රභවයන් විවිධාංගීකරණය කිරීම සඳහා පවතින අවස්ථා පිළිබඳව ද එතුමා මෙහිදී අදහස් දැක්වී ය.

අධිකරණ හා ව්‍යවස්ථාමය ප්‍රතිසංස්කරණ, ඉඩම් නිදහස් කිරීම සහ ප්‍රතිසන්ධාන කටයුතු සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ලබා ඇති ප්‍රගතිය පිළිබඳව සිය මිත්‍ර පාර්ශ්වය දැනුම්වත් කළ අමාත්‍ය සබ්රි මැතිතුමා, මෙම ක්‍රියාවලිය හමුවේ ආර්ථික ප්‍රගමනය සතු වැදගත්කම සහ ජනතාවගේ ජීවනෝපාය සුරක්ෂිත කිරීම සඳහා ගෙන ඇති වැදගත් පියවර පිළිබඳව ද විස්තර කළේ ය. දෙරට අතර ද්විපාර්ශ්වික දේශපාලන උපදේශන කඩිනමින් පැවැත්වීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරිණි.

ජාත්‍යන්තර තලයේ දැකගත හැකි වත්මන් ප්‍රවණතා පිළිබඳව අදහස් හුවමාරු කර ගත් අමාත්‍යවරු දෙපළ, ලෝකයේ විවිධ කලාපවල ආර්ථික ස්ථාවරත්වයට සහ ප්‍රගතියට එමඟින් එල්ල වන බලපෑම පිළිබඳව ද සාකච්ඡා පැවැත්වූ හ.

අමාත්‍ය සබ්රි මැතිතුමා දෙවැනි වරට පැවැත්වෙන යුරෝපා සංගම්- ඉන්දු පැසිෆික් අමාත්‍ය සංසදයේ දී ‘වඩාත් තිරසාර සහ අන්තර්ග්‍රහණීය සමෘද්ධිමත්භාවය එක්ව ගොඩනැංවීම’ යන මාතෘකාව යටතේ පැවති 1 වැනි වටමේස සාකච්ඡාව මෙහෙයවීම සඳහා සම දායකත්වය ලබා දුන්නේ ය. තවද එතුමා ප්‍රධාන සංසදයට සමගාමීව යුරෝපා සහ ආසියානු රටවල් කිහිපයක මිත්‍ර පාර්ශ්ව සමඟ සිය ද්විපාර්ශ්වික උපදේශන පවත්වනු ඇත.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය

ස්ටොක්හෝම්

2023 මැයි 14 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close