හිතකර දේශයක් කරා ශ්‍රී ලංකා ආරම්භක ව්‍යාපාර ප්‍රවේශය - ශ්‍රී ලංකා තානාපති කාර්යාලය 2021 ඒෂියාබර්ලින් සමුළුවේ දී

හිතකර දේශයක් කරා ශ්‍රී ලංකා ආරම්භක ව්‍යාපාර ප්‍රවේශය – ශ්‍රී ලංකා තානාපති කාර්යාලය 2021 ඒෂියාබර්ලින් සමුළුවේ දී

ජර්මනියේ බර්ලින් හිදී පැවති 2021 ඒෂියාබර්ලින් සමුළුවේ තානාපති කාර්යාල දිනයේදී ජර්මනියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ජර්මනියේ එන්පැක්ට් ආයතනය, ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) හා හච් ආයතනය සමඟ එක්ව ‘හිතකර දේශයක් කරා ශ්‍රී ලංකා ආරම්භක ව්‍යාපාර ප්‍රවේශය ’ යන තේමාව යටතේ පැවති වැඩසටහන් මාලාවක් සඳහා සත්කාරකත්වය ලබා දුන්නේ ය.

බර්ලින් සෙනෙට් දෙපාර්තමේන්තුවෙන් බල ගැන්වෙන ඒෂියාබර්ලින් සමුළුව මඟින් ආසියාව සහ බර්ලිනය පුරා ඇති ආරම්භක ව්‍යාපාර පද්ධති තුළ සිටින ප්‍රජාවන් එකට එකතු කරන සාමූහික වේදිකාවක් නිර්මාණය කෙරේ. වසර පුරා පැවැත්වෙන ඒෂියාබර්ලින් ක්‍රියාකාරකම් සමඟ නවතම තාක්ෂණික ප්‍රවණතා සහ ආසියාව සහ බර්ලිනය අතර දේශසීමා හරහා පවතින සහයෝගීතාව පිළිබඳව සාකච්ඡා කිරීමට ප්‍රතිපත්ති සම්පාදකයන්, ආරම්භක ව්‍යාපාරිකයන් සහ ආයෝජකයන් හමුවන වාර්ෂික ඒෂියාබර්ලින් උළෙලේ ප්‍රමුඛතම උත්සවය ‘ඒෂියාබර්ලින් සමුළුව’ වේ.

ජර්මනිය වෙත ශ්‍රී ලංකා ආරම්භක ව්‍යාපාරික ප්‍රවේශය සඳහා වූ ඩිජිටල්  මෘදු ප්‍රවේශය සඳහා වූ තරඟය, ඩිජිටල් සංචාරක තානාපති වැඩසටහන- NOMAD4LK සහ සමාජ ව්‍යවසායකත්ව සම්මේලනය යන ඛණ්ඩ තුන ශ්‍රී ලංකාවේ වැඩසටහන තුළ අන්තර්ගත විය.

තාක්ෂණ හුවමාරුව සහ ප්‍රවීණතාවය තුළින් රටක ආර්ථිකයට දායක වන ඩිජිටල් සංචාරකයන් ප්‍රවර්ධනය කිරීමේ වැදගත්කම සහ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමේ වැදගත්කම හඳුනා ගත් ඩිජිටල් සංචාරක තානාපති වැඩසටහන - #NOMAD4LK තරගකාරී ස්වරූපයකින් ආරම්භ කරන ලදි. තරඟයේ ජයග්‍රාහකයා වන ‘ඩිජිටල් සංචාරක තානාපති’ තෝරා ගැනීම සඳහා ප්‍රවීණ විනිසුරු මඩුල්ලක් විසින් අයදුම්පත් ඇගයීමට ලක් කරන ලදි. තානාපති දිනයේ දී ඩිජිටල් සංචාරක තානාපති ලෙස ප්‍රකාශයට පත්වූ මැට් ඩි කොසින් මහතාට ආපසු පැමිණීමේ ගුවන් ටිකට් පත ඇතුළු අංග සම්පූර්ණ පැකේජයක් ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ අනුග්‍රහයෙන් පිරිනැමුණු අතර ශ්‍රී ලංකා හෝටල් සංගමයේ (THASL) සහ ශ්‍රී ලංකා අභ්‍යන්තර සංචාරක ක්‍රියාකරුවන්ගේ සංගමයේ (SLAITO) අනුග්‍රහයෙන් සම-කාර්ය අවකාශ, අඛණ්ඩ සම්බන්ධකතාවය සහ නවාතැන් පහසුකම් සහිතව ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ සංචාරක ගමනාන්ත රැසක සති 12ක් ගත කිරීමේ අවස්ථාව හිමි වූ අතර, ශ්‍රී ලංකාවේ ආරම්භ කරන ලද නව ව්‍යවසායකත්ව වීසා බලපත්‍ර කාණ්ඩය යටතේ මෙරට රැඳී සිටින සම්පූර්ණ කාලය පුරාවට වීසා පහසුකම් ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ අනුග්‍රහයෙන් හිමි විය. ඩිජිටල් සංචාරක තානාපතිවරයා ශ්‍රී ලංකාවේ රැඳී සිටින කාලය තුළදී ශ්‍රී ලංකාවේ ආරම්භක ව්‍යාපාර සමඟ කටයුතු කිරීමට සහ ශ්‍රී ලංකාව තුළින් ඔහු ලබන අත්දැකීම අනෙකුත් වියහැකි ඩිජිටල් සංචාරකයන් සහ ආරම්භක ව්‍යාපාර කණ්ඩායම් අතර ප්‍රචලිත කිරීමට අපේක්ෂිතය.

ආරම්භක දේශනය සිදු කළ ජර්මනියේ එන්පැක්ට් ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂ ජෑන් ලෙචන්මේයර් මහතා, බර්ලිනයේ සහ ජර්මනියේ නැගී එන ආරම්භක ව්‍යාපාරික ප්‍රජාවන් සඳහා කැපී පෙනෙන ප්‍රතිලාභ ලබා දීමට ශ්‍රී ලංකාව සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට එන්පැක්ට් ආයතනය සූදානම් බවත්  තානාපති කාර්යාල වැඩසටහන නවෝත්පාදනයේ හා ව්‍යවසායකත්වයේ වැදගත්කම ඉස්මතු කිරීම සඳහා වූ සියල්ල ඇතුළත් ප්‍රවේශයක් බවත් අවධාරණය කළේය.

පැමිණ සිටි පිරිස ඇමතූ ජර්මනියේ ශ්‍රී ලංකා තානාපති මනෝරි උණම්බුවේ මැතිණිය, යුරෝපයේ ආරම්භක ව්‍යාපාරික අගනුවර වන බර්ලිනය අතර ශක්තිමත් සබඳතාවයක් ඇති කිරීම සඳහා 2021 අප්‍රේල් මාසයේ දී අත්සන් තබන ලද අවබෝධතා ගිවිසුම පදනම් කරගත් ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන නියෝජිතායතනය (ICTA) සහ එන්පැක්ට් ආයතනය අතර පවතින සහයෝගීතාව අගය කළාය. ශ්‍රී ලංකාවේ ආරම්භක ව්‍යාපාරිකයන්ට ජර්මානු වෙළෙඳපොළට පිවිසීම සහ ජර්මානු ආයෝජකයන්ට තාක්ෂණික කර්මාන්තය තුළ ශ්‍රී ලංකාවේ ශක්‍යතා ගවේෂණය කිරීම සඳහා හැකියාව ලබා දීම පිණිස අඛණ්ඩ සහයෝගීතාවයේ අවශ්‍යතාවය පිළිබඳව ද ඇය තවදුරටත් අවධාරණය කළාය.

ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ (ICTA) සභාපති ඕෂධ සේනානායක මහතා, ශ්‍රී ලංකාව සතුව විශාල ශක්‍යතාවක් සහ නවීන ආරම්භක ව්‍යාපාර සංස්කෘතියක් පවතින බවත් සුමට ප්‍රවේශය සඳහා වූ තරඟය මඟින් ශ්‍රී ලාංකික ආරම්භක ව්‍යාපාරකයන්ට ජර්මනිය තුළ ව්‍යාපාර ආරම්භ කිරීම සඳහා කදිම අවස්ථාවක් සැපයූ බවත් සිය දේශනයේ දී සඳහන් කළේය.

ඒෂියාබර්ලින් හි තානාපති අරවින්ත් පාන්ච් මහතා විසින් මෙහෙයවනු ලැබූ සමාජ ව්‍යවසායකත්ව සමුළුව ඩ්‍රීම්ස්පේස් ඇකඩමිය, ග්‍රීන් එනර්ජි චැම්පියන්, අයි.සී.ටී.ඒ. ඇග්ටෙක් ඉනොවේෂන් සහ ගුඩ් ලයිෆ් එක්ස් තුළින්  සනාථ කරන ලද සිද්ධි අධ්‍යයන සමඟ ශ්‍රී ලංකාවේ සමාජ නවෝත්පාදන දායකත්වය සහ එවැනි නවෝත්පාදනයන් සඳහා ඇති ගෝලීය හැකියාවන් විදහා දැක්වීය. මෙම දෙමුහුන් වැඩසටහනට 60 දෙනෙකු පමණ සහභාගී වී සිටි අතර එහි සාර්ථකත්වය සහ අන්තර්ගතය ප්‍රශංසාවට ලක් විය.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය
බර්ලින්

2021 ඔක්තෝබර් 12 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close