සෞදි අරාබියේ රියාද් නුවරදී පැවැත්වීමට නියමිත සංවර්ධනය සඳහා වන ගෝලීය සහයෝගීතාව, වර්ධනය සහ බලශක්තිය පිළිබඳ ලෝක ආර්ථික සංසදයේ විශේෂ රැස්වීමට විදේශ කටයුතු අමාත්‍යවරයා සහභාගී වේ

සෞදි අරාබියේ රියාද් නුවරදී පැවැත්වීමට නියමිත සංවර්ධනය සඳහා වන ගෝලීය සහයෝගීතාව, වර්ධනය සහ බලශක්තිය පිළිබඳ ලෝක ආර්ථික සංසදයේ විශේෂ රැස්වීමට විදේශ කටයුතු අමාත්‍යවරයා සහභාගී වේ

2024 අප්‍රේල් 28 වැනි දින සිට 29 වැනි දා දක්වා සෞදි අරාබියේ රියාද් නුවරදී පැවැත්වෙන සංවර්ධනය සඳහා වන ගෝලීය සහයෝගීතාව, වර්ධනය සහ බලශක්තිය පිළිබඳ ලෝක ආර්ථික සංසදයේ විශේෂ රැස්වීමට සහභාගී වීම පිණිස විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා සෞදි අරාබියේ රියාද් නුවර බලා පිටත්ව යෑමට නියමිතව ඇත.

ලෝක ආර්ථික සංසදය විසින් කැඳවන ලදුව, රියාද් නුවරදී පැවැත්වෙන මෙම විශේෂ රැස්වීමෙන්, අද්‍යතන හදිසි සහ සංකීර්ණ ගැටලු පිළිබඳව පුළුල් සංවාදයක් ඇති කිරීම උදෙසා විවිධ අංශ සහ කර්මාන්තවල නායකයින් එක්රැස් කිරීම අපේක්ෂිතය.

මෙම සංචාරය අතරතුරදී, “නාගරික අනාගතය ගොඩනැඟීම” සහ “උතුරේ සිට දකුණට, නැගෙනහිර සිට බටහිරට: විශ්වාසය යළි ගොඩනැංවීම” යන මැයෙන් පැවැත්වීමට නියමිත සැසිවාර දෙකෙහි විද්වත් මණ්ඩල සාමාජිකයකු ලෙස විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා ක්‍රියා කරනු ඇත.

මීට සමගාමීව, විදේශ කටයුතු අමාත්‍යවරයා රැස්වීමේ සත්කාරක රට වන සෞදි අරාබිය ඇතුළු රටවල් ගණනාවක නියෝජිතයන් සමඟ ද්විපාර්ශ්වික රැස්වීම් පැවැත්වීමට අපේක්ෂා කරයි. අමාත්‍යවරයා රියාද් නුවර වසන ශ්‍රී ලාංකික ප්‍රජාව හමුවීමටද එනුවර පිහිටි ශ්‍රී ලංකා ජාත්‍යන්තර පාසල නැරඹීමට යෑමටද නියමිතය.

 විදේශ කටයුතු අමාත්‍යාංශය

කොළඹ

 2024 අප්‍රේල් 25 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close