සිංගප්පූරු අග්‍රාමාත්‍ය ලී සියෙන් ලූන්ග් මහතාගේ ශ්‍රී ලංකා නිල සංචාරය (2018 ජනවාරි 22-24) නිමිත්තෙන් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය සහ සිංගප්පූරු ජනරජය විසින් නිකුත් කරන ලද ඒකාබද්ධ නිවේදනය

සිංගප්පූරු අග්‍රාමාත්‍ය ලී සියෙන් ලූන්ග් මහතාගේ ශ්‍රී ලංකා නිල සංචාරය (2018 ජනවාරි 22-24) නිමිත්තෙන් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය සහ සිංගප්පූරු ජනරජය විසින් නිකුත් කරන ලද ඒකාබද්ධ නිවේදනය

Singapore

 

 

ශ්‍රි ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ආරාධනය පරිදි සිංගප්පූරු ජනරජයේ අග්‍රාමාත්‍ය ලී සියෙන් ලූන්ග් මහතා  2018 ජනවාරි මස 22 වැනිදා සිට 24 වැනිදා දක්වා ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නිල සංචාරයක නිරත විය.

2018 ජනවාරි 23 වැනිදා පැවති නිල හමුවේදී ශ්‍රී ලංකාව සහ සිංගප්පූරුව අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීම පිළිබඳව සාකච්ඡා පැවැත්වූ ජනාධිපති සිරිසේන මහතා සහ අග්‍රාමාත්‍ය ලී මහතා, වැදගත් කලාපීය සහ අන්තර්ජාතික ප්‍රවණතා සම්බන්ධයෙන් අදහස් හුවමාරු කරගත්හ. සමීප ඓතිහාසික සහ සංස්කෘතික සබඳතාද ඇතුළත්, දෙරට අතර ඇති උණුසුම් මිත්‍රත්වය සැලකිල්ලට ගත් ඔවුහු වඩාත් ශක්තිමත් පුද්ගලාන්තර සබඳතා ගොඩනගාගැනීම දිරිමත් කළහ. තාක්ෂණික හා වෘත්තිය අධ්‍යාපන පුහුණුව සහ රාජ්‍ය අංශයේ ශක්නුතා ගොඩනැංවීම යන ක්ෂේත්‍රවල සහයෝගිතාව වර්ධනය කරගැනීමේ මාර්ගද ඔවුන්ගේ සාකච්ඡාවට බඳුන් විය. ආසියාන් සංවිධානය සහ ආසියාන් කලාපීය සංසදය සමග සිය අන්තර් ක්‍රියාකාරීත්වය වර්ධනය කරගන්නා ලෙස අග්‍රාමාත්‍ය ලී මහතා ශ්‍රී ලංකාව දිරිගැන්වීය.

මෙම හමුවෙන් අනතුරුව, ජනාධිපති සිරිසේන සහ අග්‍රාමාත්‍ය ලී යන මහත්වරු , ශ්‍රී ලංකාව සහ සිංගප්පූරුව යන දෙරටටම අන්‍යොන්‍ය වශයෙන් ප්‍රතිලාභ හිමිවන, දෙරටටම අර්ථසම්පන්න වගකීම් පැවරෙන, විස්තීර්ණ හා ඉදිරි දැක්මකින් යුත් නිදහස් වෙළෙඳ ගිවිසුමක් වන ශ්‍රී ලංකා සිංගප්පූරු නිදහස් වෙළෙඳ ගිවිසුමට අත්සන් තැබීම නිරීක්ෂණය කළහ. වෙළෙඳ සහ ආයෝජන සහයෝගිතාව වර්ධනය කිරීමේ වැදගත්කම අවධාරණය කළ නායක දෙපළ, මෙම නිදහස් වෙළෙඳ ගිවිසුමත්, ව්‍යාපාරිකයන් අතර කෙරෙන සංවාදයේ දියුණුවත් නිසා ද්විපාර්ශ්වික ආර්ථික සබඳතා තවදුරටත් තරවන බවට සිය විශ්වාසය පළ කළහ.

වෙළෙඳාම සහ ආයෝජන ප්‍රවර්ධනය කිරීම මගිනුත්, ප්‍රධාන සංවර්ධන අංශවල දැනට පවතින සහයෝගය පුළුල්කිරීම මගිනුත් ශ්‍රී ලංකාවට සහ සිංගප්පූරුවට සිය සහයෝගිතාව වර්ධනය කරගත හැක්කේ කෙසේද යන්න ගැන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ අග්‍රාමාත්‍ය ලී යන මහත්වරු ඵලදායී සාකච්ඡාවල නිරත වූහ. 2018 ජූලි මාසයේ පැවැත්වෙන සිංගප්පූරු අන්තර්ජාතික ජල සතිය, ජගත් නගර සමුළුව සහ සිංගප්පූරු ‘ක්ලීන්එන්වයිරෝ’ සමුළුව අමතා ප්‍රධාන දේශනය පැවැත්වීමට අග්‍රාමාත්‍ය ලී මහතා විසින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට කරන ලද ඇරයුම ඒ මහතා පිළිගත්තේය.

මෙම නිල සංචාරය අතරතුරදී තමාටත් තම නියෝජිත පිරිසටත් දක්වන ලද උණුසුම් සහ ත්‍යාගශීලී ආගන්තුක සත්කාර වෙනුවෙන් ජනාධිපති සිරිසේන මහතාට සිය ස්තූතිය පිරිනැමූ අග්‍රාමාත්‍ය ලී මහතා සිංගප්පූරුවේ රාජ්‍ය සංචාරයක නියැළෙන ලෙස ඒ මහතාට ඇරයුම් කළේය.

 

2018 ජනවාරි 23 වැනිදා
කොළඹ
——————————–

 

Print Friendly, PDF & Email
Please follow and like us:

Close