සිංගප්පූරුවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය තෛපොංගල් උත්සවය සමරයි

සිංගප්පූරුවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය තෛපොංගල් උත්සවය සමරයි

 සිංගප්පූරුවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය, ලොව පුරා දෙමළ ප්‍රජාව විසින් සමරනු ලබන ප්‍රමුඛතම ආගමික හා සංස්කෘතික උත්සවයක් වන තෛපොංගල් උත්සවය 2021 ජනවාරි 26 වැනි අඟහරුවාදා දින මහ කොමසාරිස් කාර්යාලයේ දී සැමරීය.

ශ්‍රී සෙන්පග විනායගර් කෝවිලේ උප සභාපති කේ. ජෙයසීලන් මහතා සහ සිංගප්පූරු ලංකා දෙමළ සංගමයේ මහ ලේකම් එම්. ලක්සුමායි මහතා විශේෂ අමුත්තන් ලෙස මෙම අවස්ථාවට සහභාගී වූහ.

මෙම අවස්ථාවට එක්වෙමින්, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ තෛපොංගල් පණිවිඩයේ කොටසක් උපුටා දක්වමින් මහ කොමසාරිස් ශෂිකලා ප්‍රේමවර්ධන මැතිනිය පවසා සිටියේ වාර්ගික හෝ ආගමික වෙනස්කම් නොසලකා සියලු ශ්‍රී ලාංකිකයන්ට සමෘද්ධිය ලබා දීම රජයේ එකම පරමාර්ථය වන බවයි. කෘතඥතාව දැක්වීම ශ්‍රී ලංකා සමාජයේ විශේෂ ලක්‍ෂණයක් බවත්, පළමු අස්වැන්න සූර්යයා වෙනුවෙන් කැප කරන තෛපොංගල් උත්සවය මඟින් සංකේතවත් කරන්නේ දුරාතීතයේ පටන්ම අපේ සමාජය අගය කරන සාරධර්ම වන බවත්, එබැවින් තෛපොංගල් උත්සවය ජාතික සංස්කෘතියේ අනිවාර්ය අංගයක් වී ඇති බවත් ජනාධිපතිතුමාගේ පණිවුඩයේ තවදුරටත් සඳහන් විය.

ස්වාධීන සිංගප්පූරුවේ වර්ධනය සඳහා ශ්‍රී ලාංකික දෙමළ ප්‍රජාව විශාල වශයෙන් දායක වී ඇති බවත් ඔවුන් මේ රටේ දී ශ්‍රී ලංකාවේ ආදර්ශවත් නියෝජිතයන් වී ඇති බවත් වැඩිදුරටත් පැවසූ මහ කොමසාරිස්වරිය, එම ප්‍රජාවගේ දායකත්වය වෙනුවෙන් උපහාර දැක්වීම සඳහා ද අවස්ථාව සලසා ගත්තාය.

ශ්‍රී සෙන්පග විනායගර් කෝවිලේ ප්‍රධාන පූජක සබේසන් කුරුක්කල්තුමා සාම්ප්‍රදායික හින්දු ආගමික වතාවත් පවත්වා, ශ්‍රී ලංකාවේ ජනාධිපතිතුමාට, අග්‍රාමාත්‍යතුමාට, රජයට හා ජනතාවට මෙන්ම, මහ කොමසාරිස් කාර්යාලයේ කාර්යය මණ්ඩලයට ද ආශිර්වාද කළේය.

උත්සවය අවසානයේ දී පොංගල් ඇතුළු සාම්ප්‍රදායික රසකැවිලි පිරිනමන ලදී.

ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය
සිංගප්පූරුව

 

2021 ජනවාරි 28 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close