ස්වීඩනයේ ප්‍රමුඛ පෙළේ සංචාරක අවස්ථාව-  සංචාරක ප්‍රවෘත්ති වෙළඳපොළේ දී ශ්‍රී ලංකා ගමනාන්ත ඉදිරිපත් කෙරේ

ස්වීඩනයේ ප්‍රමුඛ පෙළේ සංචාරක අවස්ථාව-  සංචාරක ප්‍රවෘත්ති වෙළඳපොළේ දී ශ්‍රී ලංකා ගමනාන්ත ඉදිරිපත් කෙරේ

ශ්‍රී ලංකා සංචාරක ආයතනය සහ ස්ටොක්හෝම්  හි ශ්‍රී ලංකා  තානාපති කාර්යාලය විසින් ශ්‍රී ලංකා සංචාරක ගමනාන්ත (Destination Sri Lanka) ස්වීඩනයේ ප්‍රමුඛ පෙළේ සංචාරක අවස්ථාව වන සංචාරක ප්‍රවෘත්ති වෙළඳපොළේ දී (TNM) නොවැම්බර් 11වන බ්‍රහස්පතින්දා දින ස්ටොක්හෝම් හි වෝටෆ්‍රන්ට් කොංග්‍රස් මධ්‍යස්ථානයේ දී ඉදිරිපත් කරනු ලැබීය.

2022 වර්ෂය සඳහා ශ්‍රී ලංකාව ප්‍රමුඛතම සංචාරක ගමනාන්තයක් ලෙස ලෝක සංචාරකයින් සඳහා වෙරළ තීරය අවම සීමාවන් සමඟ විවෘත කරමින්- විශේෂයෙන් ම පූර්ණ එන්නත්කරණයට ලද අය සඳහා - රට තුළ සංචාරය කිරීමේ පහසුව සහ උණුසුම් පිළිගැනීමේ සත්කාර අවධාරණය කරමින් ශ්‍රී ලංකාවේ සුවිශේෂී සහ විවිධ සංචාරක අත්දැකීම 'SO SRI LANKA' ප්‍රදර්ශන කුටියේ දී ප්‍රදර්ශනය කරන ලදි. සිලෝන් තේ සහ මැණික් වර්ග ද මෙහි දී විශේෂ අවධානයට ලක් වුණි. ශ්‍රී ලංකා ප්‍රදර්ශන කුටියේ දී බොහෝ සංචාරක සමාගම්, සංචාරක නියෝජිතයින්, ස්වාධීන මාධ්‍යයන් සහ වෙබ් අඩවි බ්ලොගර්වරුන් මෙන් ම සංචාරක පාසල් සමඟ ඉහළ පෙළේ නිලධාරීන්ගේ අවධානය සහ ඔවුන් විසින් පැවැත්වූ අන්තර්සබඳතා ශ්‍රී ලංකා ගමනාන්ත පිළිබඳ නැවත උනන්දුවක් ඇතිකළ බවට පෙන්නුම් කළේය. වාර්ෂික ව පැවැත්වෙන මෙම සංචාරක ප්‍රවෘත්ති වෙළඳපොළේ දී ශ්‍රී ලංකා සංචාරක සමාගම් 14ක් විසින් සිය සමාගම් සහ ඔවුන් විසින් පිරිනමනු ලබන පැකේජ ප්‍රදර්ශනය කිරීම සඳහා ශ්‍රී ලංකා ප්‍රදර්ශන කුටිය භාවිතයට ගනු ලැබීය.

ස්වීඩනයේ සහ ඩෙන්මාර්කයේ ශ්‍රී ලංකා තානාපති දර්ශන එම්. පෙරේරා, TNMහි ජ්‍යෙෂ්ඨ විධායක නිලධාරී නිල්ස් නොර්බේ, පැසිෆික් ආසියා සංචාරක සංගමයේ ස්වීඩන සභාපති රොබර්ට් හාලින්, ස්වීඩන් ශ්‍රී ලංකා ව්‍යාපාර කවුන්සිලයේ මහලේකම් ලෙයිෆ් ඔල්සන් සහ ගුටෙන්බර්ග් හි ශ්‍රී ලංකා නිර්වේතනික කොන්සල් මාර්කස් පීටර්සන් යන මහත්වරු එක් ව 'SO SRI LANKA' ප්‍රදර්ශන කුටිය ආරම්භ කළහ.

ස්වීඩන් ශ්‍රී ලංකා ව්‍යාපාර කවුන්සිලය සහ එහි මහලේකම් ලෙයිෆ් ඔල්සන් මහතා මෙන් ම ස්වීඩනයේ පිහිටි ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් හි සාමාන්‍ය විකුණුම් නියෝජිතවරයා ද මෙම අවස්ථාවට සහභාගි වූහ.

වර්තමානයේ දී ස්කැන්ඩිනේවියානු කලාපය විසින් ශ්‍රී ලංකාව සංචාරක ව්‍යාපාරය සඳහා නැගී එන ප්‍රමුඛ වෙළඳපොළක් ලෙස හඳුනාගෙන ඇත. ස්වීඩනයේ සහ ඩෙන්මාර්කයේ සංචාරක ව්‍යාපාරය ආශ්‍රිත වෙළඳ ප්‍රදර්ශන එම රටවල සංචාරක කර්මාන්ත වෙනුවෙන් පැවැත්වෙන ප්‍රධාන අවස්ථාවන් වේ. B2B ව්‍යාපාර අවස්ථාවක් ලෙස සැළකෙන මෙම වාර්ෂික සංචාරක ප්‍රවෘත්ති වෙළඳපොළ 2022 නොවැම්බර් මස 22 වන බ්‍රහස්පතින්දා දින ස්ටොක්හෝම් හි දී නැවත රැස්වීමට නියමිතය.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය

ස්ටොක්හෝම්

2021 නොවැම්බර් මස 15 වැනි දින

 

Print Friendly, PDF & Email
Please follow and like us:

Close