සයිනොෆාම් මඟින් තවදුරටත් එන්නත් ලබා දෙන අතර ශ්‍රී ලංකාවේ එන්නත් කම්හලක් පිහිටුවීම පිළිබඳව ද සලකා බලයි

සයිනොෆාම් මඟින් තවදුරටත් එන්නත් ලබා දෙන අතර ශ්‍රී ලංකාවේ එන්නත් කම්හලක් පිහිටුවීම පිළිබඳව ද සලකා බලයි

චීනයේ ශ්‍රී ලංකා තානාපති ආචාර්ය පාලිත කොහොන මැතිතුමා, 2021 සැප්තැම්බර් 07 දින සයිනොෆාම් සමූහයේ සභාපති ලියු ජින්ග්සන් මහතා සහ ජ්‍යේෂ්ඨ කළමනාකරණ කණ්ඩායම හමු විය. සයිනොෆාම් එන්නත ශ්‍රී ලංකාවට අඛණ්ඩව ලබා දීම පිළිබඳව ප්‍රශංසාව පළ කරන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ පුද්ගලික ලිපියක් තානාපතිවරයා සභාපතිවරයා වෙත භාර දුන්නේය.

සභාපතිවරයා පැවසුවේ සයිනොෆාම් ආයතනය තවදුරටත් ශ්‍රී ලංකාව සමඟ සහයෝගයෙන් කටයුතු කරමින් එන්නත් ලබා දෙන බවයි. කලාපයේ සහ ඉන් ඔබ්බට ශ්‍රී ලංකාවේ වාසිදායක වෙළඳ ප්‍රවේශයේ වාසිය ලබා ගැනීම සඳහා එන්නත් නැවත පිරවීමේ කම්හලක් ශ්‍රී ලංකාවේ පිහිටුවීම පිළිබඳව ඔහු මහත් උනන්දුවක් දැක්වීය. සයිනොෆාම් එන්නත රටවල් 100 කට අධික සංඛ්‍යාවක් විසින් භාවිත කරන අතර රාජ්‍ය නායකයින් 50 කට අධික සංඛ්‍යාවකට සහ අනෙකුත් ඉහළ නිලධාරීන්ට මෙම එන්නත ලබා දී ඇති බව ඔහු පැවසීය. තවද, සයිනොෆාම් එන්නත ලබා ගත් පුද්ගලයින් සඳහා අහිතකර බලපෑම් ඇති වූ බවට වාර්තා වී නොමැති බව ඔහු පැවසීය.

එන්නත් සැපයීම පිළිබඳව තානාපති ආචාර්ය කොහොන මැතිතුමා ජනාධිපතිතුමා සහ ශ්‍රී ලාංකික ජනතාව වෙනුවෙන් චීන රජයට සිය ස්තූතිය පළ කළේය. ශ්‍රී ලංකාවේ මිලියන 10 කට අධික ජනතාවකට සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව ලබා දී ඇතැයි ද තානාපතිවරයා පැවසීය.

ශ්‍රී ලංකාව සහ චීනය අතර පවතින ඓතිහාසික ද්විපාර්ශ්වික සහයෝගීතාව සිහිපත් කළ තානාපති ආචාර්ය කොහොන මැතිතුමා, මෙම වසංගතය ජය ගැනීම සඳහා රටවල් දෙකම එක්ව කටයුතු කළ යුතු බව පැවසීය.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය

බීජිං

2021 සැප්තැම්බර් 09 වැනි දින

Please follow and like us:

Close