සමුද්‍රීය ආරක්ෂාව සහ සුරක්ෂිතභාවය පිළිබඳ ඉන්දියානු සාගර වටද්දර රටවල සංගමයේ  ක්‍රියාකාරී කණ්ඩායමේ තුන්වැනි රැස්වීමට ශ්‍රී ලංකාව සත්කාරකත්වය ලබා දෙයි

සමුද්‍රීය ආරක්ෂාව සහ සුරක්ෂිතභාවය පිළිබඳ ඉන්දියානු සාගර වටද්දර රටවල සංගමයේ  ක්‍රියාකාරී කණ්ඩායමේ තුන්වැනි රැස්වීමට ශ්‍රී ලංකාව සත්කාරකත්වය ලබා දෙයි

 ඉන්දියානු සාගර වටද්දර රටවල සංගමයේ (IORA) සමුද්‍රීය ආරක්ෂාව සහ සුරක්ෂිතභාවය පිළිබඳ ක්‍රියාකාරී කණ්ඩායමේ (WGMSS) තුන්වැනි රැස්වීම ශ්‍රී ලංකාවේ ප්‍රධානත්වයෙන් සහ සාමාජික රටවල් 23ක සහභාගීත්වයෙන් 2023 මාර්තු 20 වැනි දින කොළඹ දී පැවැත්විණි. IORA මහලේකම් කාර්යාලයේ මහලේකම් සල්මාන් අල් ෆරිසි මහතා සහ මහලේකම් කාර්යාලයේ නියෝජිතයෝ මොරිෂස්හි හි පිහිටි IORA මහලේකම් කාර්යාලයේ සිට අතථ්‍ය අයුරින් මෙම රැස්වීමට සහභාගී වූහ.

රැස්වීම ආරම්භ කළ විදේශ කටයුතු ලේකම් අරුණි විජේවර්ධන මහත්මිය, ඉන්දියානු සාගර කලාපයේ සමුද්‍රීය සහයෝගීතාව ඉහළ නැංවීම සඳහා වූ සංසදයක් වන IORA හි වැදගත්කම පිළිබඳව අවධාරණය කළා ය.

කොළඹ පැවති මෙම ක්‍රියාකාරී කණ්ඩායම අතරතුර සාකච්ඡාවට බඳුන් වූ ප්‍රධාන මාතෘකාව වන  සමුද්‍රීය ආරක්ෂාව සහ සුරක්ෂිතභාවය යන ක්ෂේත්‍රය කෙරෙහි අවධානය යොමු කළ විදේශ කටයුතු ලේකම් විජේවර්ධන මහත්මිය, ඉන්දියානු සාගරයට අදාළව වර්ධනය වෙමින් පවතින වැදගත්කම ගත් කල, IORA සාමාජික රටවල් ඉන්දියානු සාගරය හා සබැඳි ගැටළු පිළිබඳව මෙන්ම සිය එකඟත්වය පළ කර ඇති මූලධර්ම සහ නියාමන රාමු පිළිබඳව  දැනුම්වත් විය යුතු බව සඳහන් කළා ය.

මුහුදු කොල්ලකෑම්, මුහුද තුළ සිදුවන සන්නද්ධ මංකොල්ලකෑම්, මිනිස් ජාවාරම්, මත්ද්‍රව්‍ය ජාවාරම් වැනි අන්තර්ජාතික සංවිධානාත්මක අපරාධ මෙන්ම නීති විරෝධී ලෙස සිදුවන වනජීවී ජාවාරම, නීති විරෝධී-වාර්තා  නොවන- නියාමනය නොවන මසුන් ඇල්ලීම (IUU fishing), සමුද්‍ර දූෂණය, සමුද්‍ර සම්පත් අධික ලෙස සූරාකෑම සහ අන්තරායකර ද්‍රව්‍ය නීති විරෝධී ලෙස ප්‍රවාහනය කිරීම ඇතුළුව ආරක්ෂාව සහ සුරක්ෂිතභාවය පිළිබඳ සම්ප්‍රදායික හා සම්ප්‍රදායික නොවන අභියෝග රැසකට ඉන්දියානු සාගර කලාපය වටද්දර කලාපය මුහුණ දෙයි. දේශගුණික විපර්යාස සහ සාගර ජෛව විවිධත්වය විනාශ කිරීම යනාදිය හේතුවෙන් ද ඉන්දියානු සාගරයේ ආරක්ෂාව සහ සුරක්ෂිතභාවයට අභියෝග එල්ල කෙරේ. භෞතික, ඩිජිටල් සහ පාරිසරික වශයෙන් අවදානමට ලක්විය හැකි, සාගරයට සම්බන්ධ කර ඇති සුවිශේෂී යටිතල පහසුකම් ද ආරක්ෂා කළ යුතු ය.

ශ්‍රී ලංකාව 2023 - 2025 දක්වා කාලය සඳහා IORA හි සභාපතිත්වය මේ වසරේ අග භාගයේ දී භාර ගන්නා බව විදේශ කටයුතු ලේකම් විජේවර්ධන මහත්මිය අවධාරණය කළා ය. වත්මන් සභාපතිත්වය දරන බංග්ලාදේශය සහ ඊට පෙර සභාපතිත්වය දැරූ එක්සත් අරාබි එමීර් රාජ්‍යය සිදු කළ සුවිශේෂී කාර්යයන් සැලකිල්ලට ගනිමින් ඉදිරි කටයුතු කිරීම සඳහා ශ්‍රී ලංකාව මෙහිදී කටයුතු කරනු ඇත. IORA සාමාජික රටවල් අතර වර්ධනය වන සහයෝගීතාව, එහි සාමාජික රටවල් අතර සහ ඉන් ඔබ්බට ද විහිදී යන සමෘද්ධිමත්භාවයක් සාක්ෂාත් කරගැනීම සඳහා ආරක්ෂිත, සුරක්ෂිත, සමෘද්ධිමත් සහ තිරසාර ඉන්දියානු සාගරයක් නිර්මාණය කරගැනීමට ඉවහල් වන බව ශ්‍රී ලංකාවේ විශ්වාසය වේ.

සමුද්‍රීය ආරක්‍ෂාව සහ සුරක්ෂිතභාවය මෙම කලාපයේ ප්‍රධාන සංවර්ධන ගැටළුවක් වන බැවින් කලාපයේ ආරක්ෂාව සහ සුරක්ෂිතභාවය හා සබැඳි පොදු අභියෝගවලට විසඳුම් සෙවීම සඳහා සාමාජික රටවල් සිය සංවාද සහ ප්‍රයත්නයන් අඛණ්ඩව ශක්තිමත් කළ යුතු බව, මෙම රැස්වීමට අතථ්‍ය අයුරින් සහභාගී වූ IORA මහලේකම් සල්මාන් අල් ෆරිසි මහතා ප්‍රකාශ කළේ ය.

IORA සාමාජික රටවල දූත මණ්ඩල ප්‍රධානීන් සහ කොළඹ සිටින හවුල්කාර සංවාද රටවල්, ශ්‍රී ලංකා නාවික හමුදාපති, ධීවර අමාත්‍යංශය ඇතුළු අදාළ රේඛීය අමාත්‍යංශවල සහ රාජ්‍ය ආයතනවල ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකා වෙරළාරක්ෂක බලකාය, ශ්‍රී ලංකා වරාය අධිකාරිය, වෙළඳ නාවික ලේකම් කාර්යාලය, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සහ සමුද්‍ර පරිසර ආරක්ෂණ අධිකාරිය, මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ එක්සත් ජාතීන්ගේ කාර්යාලයේ ගෝලීය සමුද්‍රීය අපරාධ වැඩසටහන (GMCP) නියෝජනය කළ නිලධාරීන් සහ මැක්ස් ප්ලාන්ක් පදනමේ නිලධාරීන් මෙන්ම GIZ හි නියෝජිතයින් ද සමාරම්භක උත්සවයට සහභාගී වූහ. ඕස්ට්‍රේලියාව, බංග්ලාදේශය, කොමරෝස්, ප්‍රංශය, ඉන්දියාව, ඉන්දුනීසියාව, ඉරානය, කෙන්යාව, මැඩගස්කරය, මැලේසියාව, මාලදිවයින, මොරිෂස්, මොසැම්බික්, ඕමානය, සීෂෙල්ස්, සිංගප්පූරුව, සෝමාලියාව, දකුණු අප්‍රිකාව, ශ්‍රී ලංකාව, ටැන්සානියාව, තායිලන්තය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ යේමනය යන IORA සාමාජික රටවල නියෝජිතයන් ද මෙම අවස්ථාවට සහභාගී වූහ.

ඉන්දියානු සාගර වටද්දර රටවල සංගමයේ සමුද්‍රීය ආරක්ෂාව සහ සුරක්ෂිතභාවය පිළිබඳ ක්‍රියාකාරී කණ්ඩායමේ රැස්වීමට සමගාමීව “සමුද්‍රීය ආරක්ෂාව සඳහා සහයෝගීතාව” නමැති තෙදින වැඩමුළුවක් විදේශ කටයුතු අමාත්‍යංශය සහ ජාත්‍යන්තර සාමය සහ නීතිය පිළිබඳ මැක්ස් ප්ලාන්ක් පදනම විසින් මාර්තු 21 සිට 23 දක්වා පැවැත්වීමට නියමිත ය.

විදේශ කටයුතු අමාත්‍යංශය

කොළඹ

2023 මාර්තු 21 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close