ශ්‍රී ලාංකීය මැණික් අපනයනකරුවන් හඳුන්වාදීම සඳහා ඉන්දුනීසියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් සංවිධානය කරන ලද අතථ්‍ය ව්‍යාපාරික (B2B) හමුව

ශ්‍රී ලාංකීය මැණික් අපනයනකරුවන් හඳුන්වාදීම සඳහා ඉන්දුනීසියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් සංවිධානය කරන ලද අතථ්‍ය ව්‍යාපාරික (B2B) හමුව

ඉන්දුනීසියාවේ සුඛෝපභෝගී ආභරණ සන්නාමයක් වන ටුලෝලා ඩිසයින්ස් (Tulola Designs) ආයතනය වෙත ශ්‍රී ලංකාවේ මැණික් අපනයන සමාගම් හතරක් හඳුන්වා දීමේ අරමුණින් ජකර්තා හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) සමඟ එක්ව 2021 දෙසැම්බර් මස 17වන දින අතථ්‍ය ව්‍යාපාරික (B2B) හමුවක් සංවිධානය කළේය.

ටුලෝලා ඩිසයින්ස් ආයතනය 2007 වර්ෂයේ දී එහි නිර්මාතෘ ශ්‍රී ලූස්-රුස්නා මහත්මිය විසින් ඉන්දුනීසියාවේ ඓතිහාසික මෝස්තර පිළිබඳව අදහස් ලබා ගනිමින්  නවීන පන්නයේ ආභරණ කට්ටල නිර්මාණය කිරීමේ අරමුණින් ආරම්භ කරන ලදි. එහි දී ඔවුන්ගේ නවතම ආභරණ එකතුව සඳහා ශ්‍රී ලංකා නිල් මැණික්, පද්මරාග සහ රතු මැණික් යන මැණික් වර්ග මිලදී ගැනීමට ටුලෝලා ආයතනය උනන්දු විය.

ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ කර්මාන්ත නිෂ්පාදන අංශයේ අපනයන ප්‍රවර්ධන නිලධාරිනි දිල්ෂා ද සිල්වා මහත්මිය විසින් ශ්‍රී ලංකාවේ මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තය පිළිබඳ ඉදිරිපත් කිරීමක් සිදු කරනු ලැබූවාය. ඉන්දුනීසියාවේ ටුලෝලා ඩිසයින්ස් ආයතනයේ මිලදී ගැනුම් කණ්ඩායම සහ ශ්‍රී ලංකාවේ මැණික් අපනයනය කරන ප්‍රමුඛතම සමාගම් වන ජෙම් පැරඩයිස්, පුන්සිරි ජෙම්ස්, ප්‍රියන්ත ජෙම්ස්, සෑම් ජෙම්ස් යන ආයතන මෙම ව්‍යාපාරිකහමුව සඳහා සහභාගී වූවන් අතරට ඇතුළත් විය.

2021 වසරේ දී ශ්‍රී ලංකාව ඩොලර් මිලියන 0.12 ක් වටිනා මැණික් වර්ග ඉන්දුනීසියාව වෙත අපනයනය කර ඇත. මෙම ශ්‍රී ලංකා මැණික් අපනයනකරුවන් සම්බන්ධ කර ගැනීමට හැකිවීම පිළිබඳව තානාපති කාර්යාලය සතුටට පත්වන බවත් ශ්‍රී ලංකාව දුර්ලභ පාෂාණ වර්ග සඳහා හොඳම ගමනාන්තය ලෙස හඳුන්වාදීමට ලැබීම පිළිබඳව තමා ආඩම්බර වන බවත් ඉන්දුනීසියාවේ ශ්‍රී ලංකා තානාපතිනි  යසෝජා ගුණසේකර මහත්මිය සිය අදහස් දැක්වීමේ දී ප්‍රකාශ කළාය.ඉන්දුනීසියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ තෙවැනි ලේකම් (වාණිජ) හේෂානි ප්‍රේමතිලක මහත්මිය විසින් ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය සමඟ එක් ව මෙම හමුව සම්බන්ධීකරණය කරනු ලැබුවාය.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය

ජකර්තා

2021 දෙසැම්බර් 24 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close